අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශයට පත්කෙරෙන දිනපතා සිංහල පුවත්පත් කිහිපයක මිල සියයට පනහකින් ඉහළ දමා තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් විස්සක්ව පැවැති ලංකාදීප, දිවයින, මව්බිම සහ රිවිර යන දිනපතා පුවත්පත්වල මිල සියයට පනහක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රුපියල් තිහක් දක්වා වැඩි කර තිබේ.මීට අමතරව මෙතෙක් රුපියල් දහයක්ව පැවැති අද පුවත්පත සියයට සියයක හෙවත් දෙගුණයක මිල වැඩි කිරීමක් සහිතව රුපියල් 20 ක් දක්වා වැඩි වී තිබේ.
සෙසු දිනපතා පුවත්පත්වල මිල ඉහළ දමා ඇති නමුත් රජයට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කෙරෙන දිනමිණ පුවත්පතෙහි සහ තිලංග සුමතිපාල මහතාට අයත් සුමති පුවත්පත් සමාගමෙන් නිකුත් කෙරෙන ලක්බිම පුවත්පතෙහි කිසිදු මිල වැඩිවීමක් සිදු වී නොමැති අතර ඒවා සුපුරුදු මිල වන රුපියල් විස්සක මුදලටම වෙළදපොළ වෙත නිකුත් කර තිබේ.
අද දිනයේදී මිල වැඩිකරනු ලැබ ඇත්තේ දිනපතා සිංහල පුවත්පත්වල පමණක් වන අතර ඉංග්‍රිසි සහ දෙමළ දිනපතා පුවත්පත්වලද මිලෙහි වෙනස්වීමක් සිදු වී නොමැත.
කෙසේවෙතත් ඉදිරි සතිවලදී ඉංග්‍රිසි පුවත්පත්වල සහ සතිඅන්ත සිංහල පුවත්පත්වල මිලද ඉහළයාමට ඉඩ ඇති බව වෙළදපොල ආරංචි මාර්ග කියයි.
දිනපතා පුවත්පත්වල මිල මෙතරම් ප්‍රතිශතයකින් ඉහළ ගියේ ඉතිහාසයේ පළමුවැනි වතාවට වන අතර මින් පෙර අවස්ථාවන්වලදී දිනපතා පුවත්පත්වල මිල වැඩි වූයේ රුපියල, රුපියල් දෙක හෝ උපරිමය පහක මුදලකිනි.
නිෂ්පාදන වියදම් අධිකවීම හේතුවෙන් පුවත්පත්වල මිල ඉහළදැමීමට සිදු වූ බව පුවත්පත් සමාගම් කියා සිටී.