Sunday, January 19, 2025

සැප ගන්න කෝටි ගණන් කාබාසිනියා කරන වයඹ පළාත් සභාව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ බත්පතටත් කෙළී !

Must read

alu_yata_gini_march_3ටිකිරි බණ්ඩා උදම් අනයි.

පසුගිය අගහරුවාදා පැවැති වයඹ පළාත් සභා රැස්වීම ඉතිහාසයට එකතුවන්නේ මාධ්‍යවේදීන් නොමැතිව පැවැත් වූ පළමු වයඹ පළාත් සභා රැස්වීම ලෙසටය. කුමන මත ගැටුම් පැවතියත් විසි අට වසරක් තිස්සේ වයඹ පළාත් සභාවේ තොරතුරු ජනතාව වෙත සැපයූ මාධ්‍යවේදීන් දොට්ට දමා මන්ත‍්‍රීවරුන්ට ‘පාඵ ගෙයි වළං බිදීමේ’අවස්ථාවක් උදාකරදීමේ සම්පූර්ණ ගෞරවය වයඹ පළාත් සභාවේ වත්මන් සභාපති ටිකිරි බණ්ඩා වෙත හිමිවෙයි. අගහරුවාදා පැවැති වයඹ පළාත් සභා රැස්වීම යළිත් වතාවක් සම්බන්ධයෙන් උණුසුම් වී ගියේ ජවිපෙ මන්ත‍්‍රී නාමල් කරුණාරත්න විසින් මාධ්‍යවේදීන් පළාත් සභාවෙන් දොට්ට දැමීමට ගත් තීරණයට එරෙහිව අදහස් දැක්වීම නිසාය. මෙම සිදුවීම වූ දිනයේදී තමන් සභාවේ නොසිටි බව කී නාමල් සභාපතිවරයාගේ තීරණය දැඩි ලෙස විවේචනය කළේය.කෙසේවෙතත් නාමල්ගේ ප‍්‍රකාශය නිමවීමත් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මන්ත‍්‍රී රංජිත් ගුණසේකර යළි නැගී සිටියේ සිය සුපුරුදු රාජකාරිය වෙනුවෙනි. මාධ්‍යවේදීන් පන්නා දැමීමට ගත් තීරණය යළි අගය කරමින් ටිකිරි බණ්ඩා තවත් වතාවක් මුරුංගා අත්තේ හිදුවීමට ගුණසේකර යස අගේට ක‍්‍රියා කළේය. සභාපති ටිකිරි බණ්ඩා කට ඇරියේ අන්තිමටය. ‘‘මට මේ සිද්ධියේදී කෝටියක් දීලාවත් ලබාගන්න බැරි ප‍්‍රචාරයක් හම්බ වුණා. මගේ ලොකු පින්තූරයකුත් පත්තරේ ගියා. ’’ටිකිරි බණ්ඩා සභාපති අසුනේ සිට උදම් අනන්නට විය. සභාපති ටිකිරි බණ්ඩා විසින් උපහාසාත්මකව එසේ කී නමුත් ඔහුගේ එම වචන තුළ සම්පූර්ණ සත්‍යයක් ගැබ් වී තිබූ බව සෙසු මන්ත‍්‍රීවරුන්ටද වැටහී ගියේ ටික වේලාවක් ගත වූ පසුවය. මක්නිසාද යත් ටිකිරි බණ්ඩාගේ දේශපාලන ජීවිතයේ මින් පෙර කිසිම දිනෙක ඔහුගේ නම සහිතව පුවත්පතක ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් පළ වී නොතිබූ බැවිනි. සත්‍ය වශයෙන්ම වයඹ පළාත් සභාව වාර්තාකරන මාධ්‍යවේදීන්ගේ පෑන්වලින් පවා ටිකිරි බණ්ඩාගේ නම ලියැවෙන්නට පටන්ගත්තේ ඔහු සභාපති පුටුවේ වාඩි වූ පසුවය. ටිකිරි බණ්ඩාට එවැනි අල්ප ප‍්‍රචාරයක් ලැබී තිබුණේ මාධ්‍යවල වරදකින් නොව ඔහු මන්ත‍්‍රීවරයෙකුව සිටි සමයේදී පළාත් සභාව තුළ වචනයක් හෝ කතා කළේ ඉතාමත් කලාතුරකින් වූ බැවිනි. පසුගිය වසර කිහිපය පුරා පළ වී ඇති වයඹ පළාත් සභාවේ හැන්සාඞ් වාර්තා පෙරළා බැලූවහොත් එහි ටිකිරි බණ්ඩා අධිකාරි යන නම පවා සදහන් වී ඇත්තේ කෙතරම් අඩු වාරයක්දැයි අපූරුවට දැකගත හැකි වනු ඇත. පළාත් සභාව තුළ නිහඩව සිටින මන්ත‍්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් එකල සකස් කළේ නම් එහි ඉහළින්ම ටිකිරි බණ්ඩාගේ නම අනිවාර්යෙන් සදහන්වීමට වැඩි ඉඩකඩක් තිබිණි. එමෙන්ම ටිකිරි බණ්ඩා නියෝජනය කරන පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශය සැලකිය හැකිවන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශවලින් වයඹ පළාත් සභාව තුළ අඩුවෙන්ම කතාබහට ලක් වූ ආසනයක් ලෙසටය. ගල්ගමුව, යාපහුව, කුලියාපිටිය, නිකවැරටිය, කුරුණෑගල වැනි මැතිවරණ කොට්ඨාශවල වෙසෙන ජනතාව මුහුණදෙන ගැටඵ පිළිබදව එම ජනතාව විසින් පත් කර එවූ ජනතා නියෝජිතයින් නගන හඩ සෑම පළාත් සභා රැස්වීමකම පාහේ රැව් පිළිරැව් දෙද්දී පොල්ගහවෙල ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්නයක් හෝ ගැටඵවක් පිළිබදව එක්වරක් හෝ හඩ නැගුණු අවස්ථාවක් පිළිබදව පසුගිය වසර කිහිපය පුරාම ලියුම්කරුගේ මතකයට නොඑයි. වයඹ පළාත් සභාව තුළ තමන් වෙනුවෙන් හඩක් නොනැගුණේ කිරියෙන් පැණියෙන් ඉතිරී යන තරමේ සංවර්ධනයක් පොල්ගහවෙලට ලැබී තිබීම නිසාදැයි , එසේත් නැතිනම් තමන් වෙනුවෙන් හඩ නගන්නට කියා කතිරය ගසා පළාත් සභාවට එවූ ටිකිරි බණ්ඩා ඇතුඵ මැති ඇමැතිවරුන් කටට ඉබියතුරුලාගෙන බකංනිලාගෙන සිටීම නිසාදැයි මෙම අනාවරණය හරහා තීරණය කිරීම දැන් පොල්ගහවෙල ජනතාව සතු කාරියකි.

අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදී කියැවුණු කරුණු කාරණා දෙස බලන විට මාධ්‍යවේදීන් පළාත් සභාවෙන් දොට්ට දැමීමට ගත් තීරණය පිළිබදව සභාපති ටිකිරි බණ්ඩා මෙන්ම ඊට එළි පිට මෙන්ම හැංගි හැංගි උඩගෙඩි දුන් මැති ඇමැතිවරුන්ද කණගාටු වන බවක් හෝ පෙනෙන්නට නොතිබිණි. එමෙන්ම එම තීරණය අකුලාගැනීමට පළාත් සභාව පැත්තෙන් සූදානම් නැති බවකුත් එහිදී කියැවුණු අදහස්වලින් ගම්‍ය විණි. වයඹ පළාත් සභාව නියෝජනය කරන බුද්ධිමත් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු හැරෙන්නට සෙසු බොහෝ මැති ඇමැතිවරුන් බලා ඉන්නේ මාධ්‍යවේදීන් තමන් ඉදිරියේ දණගසා පළාත් සභාව වාර්තා කරන්නට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලාගෙන එන තුරුබව දැන් දැන් සිදුවෙන දේ වලින් පෙනී යයි. එලෙස දවල් සිහින දකිමින් ඉන්නා මැති ඇමැතිවරුන්ට කණගාටුවෙන් වුවත් අපට කියන්නට ඇත්තේ ඔය චූන් එක ඔහොම දිගටම විදින ලෙසය. මන්ද මාධ්‍යවේදීන්ට පළාත් සභාව අහිමි කිරීමෙන් මාධ්‍යවේදීන්ට අමුතුවෙන් දෙයක් නැතිවන්නට නැති බවත්, ඔය චූන් එකට වැඩි ආයුෂ නැති බවත් මෙහිලා සටහන් කර තැබිය යුතුය. මක් නිසාද යත් මාධ්‍යට දොර වසා දැමූ පළාත් සභාවක වචනයක් කතාකිරීම පවා පාලූගෙයි වළං බිදීමක් ලෙස දකින පළාත් සභාව තුළ සක‍්‍රීය මට්ටමේ සිටින මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකු ඉදිරියේදී වාද විවාදවලට පමණක් නොව සභා රැස්වීම්වලටත් සහභාගී නොවීමේ තීරණයක් ගැනීමේ සූදානමක පසුවන බැවිනි. තමන් ජ්‍යෙෂ්ඨයින් යැයි මුරගානා ඇතැමුන්ගේ ටිකිරි, බොළද තීන්දු තීරණ දිගින් දිගටම මේ අයුරින් වයඹ පළාත් සභාව තුළ බලපවත්වන්නට ගියහොත් වයඹ පළාත් සභාවේ වාද විවාදවලදී කතා කරන්නට මෙන්ම සභාවේ ඝනපූරනය ඇතිකරගැනීම පිණිස උතුරු මැද, සබරගමුව හෝ බස්නාහිර පළාත් සභාවලින් මන්ත‍්‍රීවරුන් ආනයනය කරවාගැනීමට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇත.

ටිකිරි බණ්ඩාගේ සභාපති කාර්යාලයෙන් කැලෑ පත්තර බෙදයි.

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ කාරුණික අනුග‍්‍රහය මත පළාත් සභාවේ සභාපති පුටුව ඉල්ලා ගත් ටිකිරි බණ්ඩා අධිකාරි එහි අසුන්ගෙන තවමත් ගෙවී ගොස් ඇත්තේ මාස හතරක් පමණක් වුවත් එම මාස හතර තුළදී වයඹ පළාත් සභා ඉතිහාසයේ කිසිදිනෙක සිදු නොවූ අප‍්‍රසන්න සිදුවීම් ගණනාවක් සිදු වී අවසන්ය. පසුගිය සභාවාරයේදී මාධ්‍යවේදීන් දොට්ට දැමීමේ කීර්තිමත් වාර්තාවක් තම නම ඉදිරියේ ලියවා ගත් ටිකිරි බණ්ඩා කැලෑ පත්තර සභාගත කළ පළමු සභාපතිවරයා ලෙසද පසුගිය අගහරුවාදා ඉතිහාසගත විය. අගහරුවාදා පැවැති සභා රැස්වීමට පැමිණ අසුන් ගත් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට දැකගත හැකි වූයේ සිය මේස මත තබා තිබූ අපූරු ලියැවිල්ලකි. පළාත් සභාවෙන් මන්ත‍්‍රීවරුන් වෙත ලබාදෙන ලිපි ලේඛන අතරට ඇතුළත් තිබූ මෙම අපූරු ලියැවිල්ලෙහි සදහන් වූයේ සාරගම ජනාධිපති බාලිකා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනියට එරෙහිව ලියූ අවලාද වැළකි. පාසල් සුරැකීමේ සංවිධානය නැමැති නමක් එහි මුද්‍රණය වී තිබූ නමුත් එහි කිසිදු වගකිවයුත්තෙකුගේ නමක්, ගමක්, ලිපිනයක් හෝ දුරකථන අංකයක්වත් මුද්‍රණය කර නොතිබිණි. පළාත් සභාවේ ගරුත්වය පිළිබද ප‍්‍රශ්නයකදී හැමදාකම පෙරට එන මන්ත‍්‍රී පියුමාල් හේරත් එදිනද සුපුරුදු පරිදි අදාල ලියැවිල්ල ගැන ප‍්‍රශ්න කළේය. ‘‘මොකක්ද මේ ලියුම. නමක් නෑ. ගමක් නෑ. පළාත් සභාව යටතේ ඉන්න නිලධාරින් වැරදි කරලා තියෙනවා නම් සාක්ෂි ඇතිව ඒ ගැන කතාකරනවා මිසක් එක එක කැලෑ පත්තර ගෙනැල්ලා ටේබල් කරන එක වැරදියි. කවුද මේවා සභාවට ගෙනාවේ ? කවුද මේවා මන්ත‍්‍රීවරුන්ගේ මේස උඩ තිබ්බේ ? මේක බරපතල ප‍්‍රශ්නයක්. මේ විදිහට ගියොත් ප‍්‍රධාන ලේකම්තුමාට, මහ ඇමැතිතුමාට විතරක් නෙවෙයි ඔබතුමා ගැනත් කැලෑ පත්තර ගහලා මේ විදිහට බෙදයි. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ කැලෑ පත්තර සභාවට ගෙනාවේ කවුද කියලා හොයන්න වහාම පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.’’ පියුමාල් කීය. හොරාට කලින් කෙහෙල්කැණ වැට පැන්නා කිව්වා සේ ටිකිරිගේ කට ඉස්සර වුනේ මෙහිදීය. ‘‘මේක කැලෑ පත්තරයක් කියලා හදුන්වන එක සාධාරණ නෑ. මට නම් මේක කැලෑ පත්තරයක් විදිහට පේන්නේ නැහැ. ’’ ටිකිරි බණ්ඩා කීය. සභාපති ටිකිරි බණ්ඩාගේ උත්තරයත් සමග අදාල පත‍්‍රිකාව සභාවට පැමිණ තිබුණේ වයඹ පළාත් සභාවේ සභාපති කාර්යාලයේ අනුදැනුම සහ අනුග‍්‍රහය මත බව අනෙක් මන්ත‍්‍රීවරුන්ට වටහාගැනීම අපහසු නොවීය. ‘‘ඔබතුමාට මේක කැලෑ පත්තරයක් වගේ නොපෙනුනාට මට නම් මේක පේන්නේ මේක කැලෑ පත්තරයක් වගේ තමයි. ඒ නිසා මට නම් මේක එපා. කරුණාකරලා මේක මගේ මේසය උඩින් අයින් කරන්න. ’’පියුමාල් කීය. පියුමාල්ගේ විරෝධය පිළිගනු වෙනුවට සභාපති ටිකිරි බණ්ඩාගේ සිය ඒකාධිපතිත්වය යළි ප‍්‍රදර්ශණය කරන්නට විය. ‘‘වාඩිවෙන්න මන්ත‍්‍රීතුමා. වාඩිවෙන්න.’’ ටිකිරි බණ්ඩා යැයි කෑගසන්නට වූයේ නොරිස්සුම් ස්වභාවයෙනි. වයසින් අඩු වුවත් ජ්‍යෙෂ්ඨ හැසිරීමක් පෙන් වූ මන්ත‍්‍රී පියුමාල්ද පරාජය භාරගැනීමට සූදානම් නොවීය. ‘‘වාඩිවෙන්න කියන්න මගේ ප‍්‍රශ්නයට උත්තර ලැබුණේ නැහැනේ සභාපතිතුමා. මම කියන්නේ කැලෑ පත්තර මට එපා. ඒ නිසා කරුණාකරලා මේක මගේ මේසය උඩින් අයින් කරන්න. ’’ පියුමාල් සිය නොසැලෙන ස්ථාවරයේ දිගමට රැදී සිටියේය. පියුමාල්ගේ අඛණ්ඩ විරෝධය හමුවේ පියුමාල් වාඩි වී සිටි ස්ථානයට පැමිණි වෙත පැමිණි සභා සේවකයෙකු විසින් ඔහුගේ මේසය මත තිබූ අදාළ ලියැවිල්ල ඉවත්කරගෙන යාමත් සමග පියුමාල් නිහඩ විය.

තෑගි ගන්න හලාවත ගිය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ බඩගින්නේ ගෙදර එති.

මීට වසර කිහිපයකට පෙරදී ඉහළ තැනක වැජඹුණු වයඹ පළාතේ ක‍්‍රීඩාව දිනෙන් දින වළපල්ලට යමින් ඇති අයුරු ලුණු ඇඹුල් සහිතවම පසුගිය දෙසැම්බර් 01 වැනිදා මව්බිම පුවත්පත විසින් අනාවරණය කරන්නට යෙදුණු නමුත් ඒ හෙළිදරව්වෙන් පසුව හෝ වයඹ පළාත් සභාවේ ඇස් ඇරුණු බවක් නම් නොපෙනේ. විදෙස් සංචාර, පුහුණු වැඩමුඵ ආදී තම තමන්ගේ පුද්ගලික සුබසාධනය මිස ජනතා සුබසාධනයක් කරන බවක් නොපෙනෙන වයඹ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ මේ නිද්‍රාශීලී බව ගැන එක් අතකින් පුදුම විය යුතුද නොවෙයි. තමන්ට සැප ගැනීම පිණිස මහජන මුදලින් කෝටි ගණනක් වුවත් එකවර කාබාසිනියා කරන්නට දත මැදගෙන සිටින වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ උදවිය වයඹ නාමය බලවන්නට දහදිය මහන්සිය කැප කළ වයඹ පුතුන් ඇගයීම වැනි කාරියකදී කොතරම් අරපරිස්සම්දැයි පෙන්වන කදිම උදාහරණයක් පසුගිය සති අන්තයේදී හලාවතදී දැක ගත හැකි විය.

2015 වසරේදී පැවැති 41 වන ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී වයඹ පළාතට පදක්කම් දිනා දුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට උපහාර දැක්වීම වෙනුවෙන් උත්සවයක් එදින සංවිධානය කර තිබුණේ හලාවත පිහිටි වයඹ පළාත් ධීවර අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදීය. වයඹ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේ මුලසුන හොබවනු ලැබුවේ වයඹ ක‍්‍රීඩා ඇමති සන්ධ්‍යා රාජපක්ෂ විසිනි. මෙම උපහාර උත්සවයට පැමිණෙන ලෙස වයඹ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බොහෝ දෙනෙකුට ආරාධනා කර තිබුණේ පෙර දිනයේ දුරකතන ඇමැතුම් හරහා බව උත්සවයේදී කියැවිණි. එලෙස ඇරයුම් ලැබෙන විට ඇතැම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඒ වන විට සිටියේ සාග් පදක්කම් දිනූ ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් සහ පුහුණුකරුවන් ඇගයීම පිණිස ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැති උපහාර උත්සවයකට සහභාගීවෙමිනි. කෙසේවෙතත් වයඹ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආරධනාව මත දුර බැහැර ගෙවාගෙන හලාවතට පැමිණි මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඔවුන් විසින් දිනා තිබූ රන්, රිදී, ලෝකඩ පදක්කම අනුව මුදල් තිළිණ පිරිනැමිණි. මුදල් ත්‍යාගයක් යැයි කීවාට එහි වටිනාකම හෙළිකිරීම එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තවත් වරක් අවමන් කිරීමක් වන බැවින් එම මුදල හෙළිකිරීමෙන් අඵ යට ගිනි සිතාමතාම වැළැකී සිටී. නමුත් වයඹ පළාත් සභා මැති ඇමැතිවරුන් තායි, චීන, සිංගප්පූරු රටවල පිං සවාරි ගසද්දී පළාත් සභාවෙන් පොකට් මනි ලෙස එක් මන්ත‍්‍රීවරයෙකු අතට පත්කරන මුදලින් දහයෙන් එකක මුදලක්වත් එම ලියුම්කවරවල අඩංගු වී නොතබූ බව නම් අපට කිව හැකිය..අනෙක් අතට මෙම උපහාර උත්සවය සංවිධානය කිරීමේදී මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ජයග‍්‍රහණයන්ට මගපෙන්වූ ඔවුන්ගේ පුහුණුකරුවන් අමතක කර දමා තිබීම කාගේත් කතාබහට ලක් වී තිබිණි. මෙම උත්සවයේදී ඇමති සන්ධ්‍ය හැරෙන්නට වෙනත් කිසිදු මැති ඇමැති පුඵටක් හෝ දැකගත නොහැකි වූයේ උත්සවයේ ගෞරවය ගෙඩිය පිටින්ම සන්ධ්‍යගේ ගිණුමට බැරකරගැනීමේ චේතනාවෙන්ද නැතිනම් උත්සවය සංවිධානය කළ නිලධාරීන් අතින් සිදු වූ වරදකින්දැයි තවත් කසුකුසුවක් මතු වී තිබිණි. මුදල් ත්‍යාගයට අමතරව මලල ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් වෙත මෙහිදී පිරිනැමුනු පාවහන් තරගයකට පැළදිය හැකි මට්ටමේ ඒවා නොවන බවට ඇතැම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් ප‍්‍රසිද්ධියේම මැසිවිලි නගන්නටවීම නිසා එම පාවහන් මාරුකර ගෙනැවිත් දෙන බවට උත්සව සංවිධායකයින්ට පොරොන්දු ලබාදෙන්නටද සිදු විය. දුර බැහැර ගෙවා ගෙන හලාවත පැවැති මෙම උත්සවයට පැමිණි ක‍්‍රීඩකයින්ට දිවා ආහාරය පිණිස බත් පාර්සලයක් හෝ ලබාදීමට පළාත් සභාව කාරුණික වී නොතිබූ අතර බස් වියදමට සහ දිවා ආහාරයට වියදම් කළ පසු ත්‍යාග ලෙස ලැබුණු මුදලින් ගෙදර ගෙනියන්නට යමක් ඉතිරි නොවූ බවට ක‍්‍රීඩක ක‍්‍රීඩකාවන්ගෙන් කියැවෙනු ඇසිණි. ටී ෂර්ට් එකක්ද ක‍්‍රීඩක ක‍්‍රීඩකාවන් අතට පත් කර තිබූ අතර මහත් ආසාවෙන් එය දිගහැර බැලූ ඔවුන්ට තරු පෙණුනේ එයද පසුගිය වසරේ පැවැති 41 වන ජාතික ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් සකස් කළ එකක් වීම නිසාය. මෙම අපූරු උපහාර උළෙල ගැන ප‍්‍රශ්න කළ මාධ්‍යවේදියෙකුට ඇමැති සන්ධ්‍යගෙන් ලැබී තිබුණේද අපූරු උත්තරයකි. ‘‘අපට මධ්‍යම රජයෙන් අවුරුද්දකට දෙන්නේ රුපියල් ලක්ෂ හතලිහයි. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තරගයි, දිස්ත‍්‍රික් තරගයි, ජාතික තරගයි ඔය කියන ඔක්කොටම වියදම් කරන්න තියෙන්නේ ඒ මුදල විතරයි. එහෙම තියෙද්දී අපි කොහොමද ලොකුවට උපහාර උත්සවය කරන්නේ ? පුහුණුකරුවන්ට මොනවත් දෙන්න බැරිවුනෙත් ප‍්‍රතිපාදන නැති නිසා. ඊළග අවුරුද්දේදීවත් හොද උත්සවයක් තියන්න අපි බලමුකෝ. ’’සන්ධ්‍ය කීය.

නැති බැරිකම් කියමින් පළාත් සභාව විසින් මෙතෙක් ගෙන ආ වැඩපිළිවෙලවල් පවා කප්පාදු කරමින් සිටින වත්මන් මැති ඇමැතිවරුන්ගෙන් අපට අහන්නට වෙන්නේ කලින් හිටපු ඇමැතිවරුන් ඒවා කළේ කෙසේද යන්නයි. අශෝක වඩිගමංගාව වයඹ ක‍්‍රීඩා ඇමතිව සිටි සමයේදී ආරම්භ කෙරුණු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ වැඩපිලිවෙල සන්ධ්‍ය අමාත්‍යංශය භාරගන්නා දිනය දක්වාම අලංකාරව සහ උත්කර්ෂවත්ව පැවැති බව මෙහිදී සිහිකිරීම වටී. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් සහ සම්පත්දායකයින්ගේද සහභාගීත්වයෙන් වයඹ පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී වසරක් පාසා පැවැත්වුණු මෙම උපහාර උත්සවයේදී පදක්කම්ලාභී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පමණක් නොව ඔවුන්ගේ පුහුණුකරුවන්ද ඇගයීමට ලක්කෙරිණි. උත්සවය අවසන් කෙරෙන්නේ සම්මානලාභීන් වෙත පිරිනැමෙන ගෞරවාන්විත අයුරින් පිරිනැමෙන දිවා භෝජන සංග‍්‍රහයකිනි. වඩිගමංගාව ක‍්‍රීඩා අමාත්‍යධූරය උසුලමින් සිටියදී මෙම උපහාර උත්සවය කුරුණෑගල නම ගිය හෝටලයදී පවා පවත්වන්නට කටයුතු කළ බව ඇතැම් විට වත්මන් ඇමැති සන්ධ්‍ය නොදන්නවා විය හැකිය. සන්ධ්‍ය කියන තරමේ අහේනියකින් වයඹ ක‍්‍රීඩා අමාත්‍යංශය පෙළෙමින් සිටින්නේ නම් වඩිගමංගාව සහ ඞී. බී. හේරත් ඇමැතිධූර දැරූ කාලවලදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවය එතරම් පිරිපුන් සහ අලංකාරවත් ලෙස පැවැත්වූයේ කෙසේදැයි මතුවන්නේ සාධාරණ ගැටඵවකි.

ජයන්ත විජේරත්න ආපසු පළාත් සභාවට.

වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් තනතුර හොබවමින් සිටි ජයන්ත විජේරත්නට නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස උසස්වීමක් ලැබීමට නියමිත බවත්, ඒ අනුව වයඹ පළාත් සභාව තුළ පුටු මාරුවක් සිදුවීමට නියමිත බවත් පෙබරවාරි 18 වැනිදා ‘අඵ යට ගිනි ’පිටුවෙන් පළමුවරට හෙළිකෙරිණි. එම හෙළිදරව්ව සැබෑකරවමින් අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස වැඩ භාරගැනීම සදහා ජයන්ත විජේරත්න ඉකුත් සතියේදී වයඹ පළාත් සභාවට නිල වශයෙන් සමුදුන්නේය. ජයන්තගේ සමුගැනීමත් සමග වඩාත් කාර්ය බහුල වූයේ මහ ඇමැති ධර්මසිරි දසනායකය. පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නම් ලැයිස්තු ගෙන්වා ගත් මහ ඇමැති ධර්මසිරි, ප‍්‍රධාන අමාත්‍යංශ ලේකම් පී. බී. එම්. සිරිසේන ඇතුලු පිරිස එම නිලධාරීන්ගේ සුදුසුකම් පිළිබදව පරීක්ෂා කරන්නට වූයේ පුරප්පාඩු වී පවතින වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් තනතුර සදහා සුදුසු අයෙකු පත්කර ගැනීමේ අරමුණ ඇතිවය. මූද හත්ගව්වක් තියාගෙන අමුඩ ගසන්නා සේ මහ ඇමැති ධර්මසිරි විසින් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් වෙත දැනුම් දී තිබුණේ නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක කරවිය හැකි ජල ව්‍යාපෘති පිළිබද යෝජනා ලබාදෙන ලෙසටය. දැන් එතැන ඉන්නේ අපේ නිලධාරියෙක් නිසා එම යෝජනා පහසුවෙන් ක‍්‍රියාත්මක කරවිය හැකි බවද ධර්මසිරි ආඩම්බරයෙන් කියා තිබිණි. නමුත් පසුගිය සතිය ආරම්භ වන විට ධර්මසිරිට සිය ආසාව අත්හැරගන්නට සිදු වී තිබිණි. මක්නිසාද යත් නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාරගැනීමට ගිය ජයන්ත විජේරත්න ගිය පයින්ම ආපසු පළාත් සභාවට එන්නට සිදුවී තිබීම නිසාවෙනි. නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍ය ධූරය හොබවන ඇමැති රවුෆ් හකීම් විසින් ජයන්තගේ නව පත්වීමට හරහට හිට ඇති බවට කියැවෙන අතර ඒ කුමන හේතුවක් මත හෝ වයඹ පළාත් සභාව වෙත ආපසු එන්නට සිදු වූ ජයන්ත විජේරත්න දැන් යළිත් වතාවක් ප‍්‍රධාන ලේකම් පුටුවෙහි වාඩි වී සිය සුපුරුදු රාජකාරි ආරම්භ කර තිබේ.

මෛත‍්‍රී පිනට දුන් ධූරකාලයෙන් කුරුණෑගල නගර සභා මන්ත‍්‍රීවරු වැඩගනිති.

කල දුටු කළ වළ ඉහගන්නා අය ගැන මෙන්ම පරණ පිනක් ඉහේ කඩාගෙන වැටුණු අය ගැන අහන්නට දකින්නට ලැබෙන නමුත් මේ දිනවලදී ඒ සදහා අත දිගු කර පෙන්විය හැකි සජීවි උදාහරණය වන්නේ කුරුණෑගල නගර සභා මන්ත‍්‍රීවරුන්ය. මීට මාස කිහිපයකට පෙර කාලය සම්පූර්ණවීමෙන් පසුව අහෝසිවීමට නියමිතව තිබූ කුරුණෑගල නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රීධූර ජනපති මෛත‍්‍රී විසින් පිනට දුන් කාලය දීර්ඝ කිරීමත් සමග ලබන ජූනි මාසය දක්වා යළි බලාත්මක විය. කාලය දීර්ඝ කළ සෙසු පළාත් පාලන ආයතන මෙන් නොව ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් පක්ෂ විපක්ෂ කුරුණෑගල නාගරික මන්ත‍්‍රීවරු පසුගිය සතියේදී තායිලන්ත සහ මැලේසියානු සංචාරයක නිරත වූහ. ඒ අනුව නගරාධිපති ගාමිණී පෙරමුණගේ , විපක්ෂ නායක වරුණ පේ‍්‍රමරත්න, නාගරික මන්ත‍්‍රීවරුන් වන කමල් ගුණසිංහ, අබ්දුල් සත්තාර්, සුමිත් බණ්ඩාර, තුෂාර සංජීව, චූලා මෙන්ඩිස්, ත්‍යාගරාජා ක‍්‍රිෂ්ණපාල, ෆසිස්ඞීන් කිචිලාන් සහ බුද්ධික ඇල්ලේපොළ යන මන්ත‍්‍රීවරුන් මෙම සංචාරයට එක් වී සිටියහ. පළාත් සභාව තුළ පක්ෂ විපක්ෂ වශයෙන් බෙදී ගහ මරාගත් කාලය මෙන්ම මහින්ද – මෛත‍්‍රී පිල්බෙදීම්ද අමතක කළ නාගරික මන්ත‍්‍රීවරුන් පසුගිය 25 වැනිදා යළි මෙරටට පා තැබුවේ තායිලන්තයේ සහ මැලේසියාවේ සොදුරු තැන්වල ගත කළ සතියක මතකයන්ද සමගිනි. මෙම සංචාරයට එක්වීම ප‍්‍රතික්ෂේප කර තිබුණේ නියෝජ්‍ය නගරාධිපති නිමල් චන්ද්‍රසිරි සිල්වා සහ එජාප මන්ත‍්‍රී ඉසුරු ජයවර්ධන යන දෙපළ විසින් පමණි. අදාල සංචාරයේ යෙදුණු එක් මන්ත‍්‍රීවරයෙක් වෙනුවෙන් සංයුක්ත දීමනා ලෙස දළ වශයෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසකට වැඩි මුදලක් මෙන්ම පොකට් මනි ලෙස තවත් රුපියල් ලක්ෂයකට අධික මුදලක් නගර සභා අරමුදලෙන් වැය කර තිබේ. ඊට අමතරව ගුවන් ටිකට්පත් සහ වීසා ලබාගැනීම වෙනුවෙන්ද ඒ හා සමාන තවත් මුදලක් වැය කෙරී තිබේ. ඒ අනුව කුරුණෑගල මහනගර සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් දස දෙනෙකුගේ තායිලන්ත සහ මැලේසියානු සංචාරය වෙනුවෙන් නගර සභා අරමුදල යටතේ තිබූ රුපියල් ලක්ෂ හතලිහකට ආසන්න මුදලකට මේ වන විට වැඩකටයුතු සිදු වී හමාරය. කුරුණෑගල ජනතාව දැන් කියන්නේ ජනපති මෛත‍්‍රීගේ කරුණාව අන්තිමේදි අවසන් වූයේ මහ නගර සභා අරමුදලෙහි තිබූ රුපියල් ලක්ෂ හතලිහකට ආසන්න මුදලකටද තට්ටු කරමින් බවය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 මාර්තු 03 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article