සාලින්ද දිසානායක ගැන කියවෙන දේට එහා කිව යුතු දෙයකුත් ඇත
අභාවප්ප්‍රාප්ත සාලින්ද දිසානායක හිටපු ඇමතිවරයා ගැන විවිධ අයකියූ විවිධ කතා කීපයක්ම.දුටුවෙමි. මළ ගෙදරට ගොඩවැදී පැමිණි පසු විවිධාකාරයට ඔහු පිළිබද විග්‍රහ කළ අයගේ දැන ගැනීම පිණිස මෙය ලියමි
මෙම ලිවීම මගින් සාලින්ද දිසානායක විසින් මෑතකාලීනව දැරූ දේශපාලන මතවාද හෝ දේශපාලනයට එකග වීමක් ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීමක් නොවන බව මුලින්ම කිව යුතුයි .
එහෙත් මා මේ කියන්නට යන්නේ ඔහුගේ අතීත දේශපාලනය , සමාජ ක්‍රියාකාරිත්වය සහ පොදු ජන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මා දන්න දේයි.
මා ඔහු හදුනා ගන්නේ 1982 පමණ මා.පාසල් යන කාලයේදීම එකතු වූ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ක්‍රියාකාරිත්වයන් සමගිනි. දොරවේරුවේ ටී. බී විජේසූරිය සහෝදරයා ඇතුළු 71 කණ්ඩායම සමග ගොවි ජනයාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් වැඩකළ ඔහු දේවසරණයට නිතර පැමිණි තරුණ සමාජ ක්‍රියාකාරිකයෙකු විය. බොහෝ දෙනෙක් ඔහු හැදින් වූයේ පොල්පිතිගම දිසා යනුවෙනි. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු පොල්පිතිගම ප්‍රදේශය පදනම්ව සිය දේශපාලන ක්‍රියාකාරිත්වය ගොඩනා ගෙන සිටි ප්‍රියමනාප තරුණයෙකි. අපි බොහෝ දෙනෙකුට ඔහු සාලින්ද අයියා විය.
1984 දී පමණ බතලගොඩ සහ හක්වටුනා ඔය ව්‍යාපාරය ආශ්‍රිතව ගොඩනැගුනු ජලබදු විරෝධී මහා ගොවි සටනේදී මෙන්ම මොනරාගල උක්ගොවීන්ගේ අරගලයේ දී ක්‍රියාකාරී වැඩකොටසක් ඔහු අතින් සිදු විය. මොනරාගල පැවැති මහා ගොවි උපවාසයට චන්ද්‍රිකා බණ්ඩාරනායක සහභාගි කිරීමට මැදිහත්වී කටයුතු කළා පමණක් නොව කුරුණෑගල ප්‍රදේශයෙන් භික්ෂූන්වහන්සේලා සම්බන්ධ කිරීමටද වෙහෙස වී කටයුතු කළා මට මතකය. ජල බදු නොගෙවූ ගොවීන්ට එවකට බලයේ සිටි UNP ආණ්ඩුව නඩු දැමූ පසු අත්ඩංගුවට පත් ගොවීන් මහව උසාවියට ඉදිරිපත් කළ දින දහස් ගණන් ගොවි ජනයා එක්ව උසාවිය වැටලූ දින එම ගොවි ජනයාට සහය දීමට චන්ද්‍රිකා බණඩාරනායක මහත්මිය මහව උසාවියට සහභාගි කරවීමට ඔහු දැක්වූ උනන්දුව මට මතකය.
සරත් ප්‍රනාන්දු සහෝදරයාගේ මග පෙන්වීම මත සමස්ත ලංකා ගොවි සම්මේලනය සහ දේවසරණය විසින් අරම්භ කළ සුළු ගොවි අයිතිවාසිකම් ආරක්ෂා.කරගැනීමේ සියළුම සටන්වල සාලින්ද දිසානායක නම්.වූ තරුණයාද සිටි බව ඊට පසුව උපත ලැබූ හෝ එකල ළදරුවන් ව සිටි රවීන්ද්‍ර කාරියවසම්ලා, ප්‍රසන්න දේශප්‍රිය පතිරාජලා දන්නේ නැත.
එකල ඔහු කටුබැද්ද NDT හි අධ්‍යාපනය අවසන් කල අලුත ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ විජේ කුමාරතුංග කණඩායම මහජන පක්ෂය ලෙසින් කැඩී වෙනවන විට ඒ සමග එකතු වූ ඔහු චන්ද්‍රිකා සහ විජය ගේ නව දේශපාලන රැල්ලේ ප්‍රමුඛයකු විය. විජේ සමග යාපනයට ගිය කණ්ඩායමේ සාලින්ද ද සාමාජිකයෙකු වීය එම
යාපන ගමනේ අත්දැකීම් ද සමග ජනවාර්ගික සාමය සහ බලය බෙදීම සම්බන්ධයෙන් ඉතාමත් බලාපොරොත්තු සහගත කතා ඒ කාලේ ඔහු නිතර කීවා මතකය. විජයගේ මරණය ඔහු ඇතුලු මහජන පක්ෂය වටා රැස්ව සිටි සියලු දෙනාටම මරු පහරක් විය.
එම මරණයත් සමග කුරුණාගලම භීෂණයෙන් වෙලාගනිමින් ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය මෙන්ම UNP යේ අතිවිශාල මර්දනයට මුහුණ දෙමින් වාමාංශික කණ්ඩායම් විසින් ගෙනගිය සියළුම සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයන් හිදී පෙරමුණේ සිටි නායකයකු වූ ඔහු තම උසස් අධ්‍යාපනය මෙන්ම.රැකියාවක් කරගෙන( පවුලේ එකම දරුවා ලෙසින් වත්) පාඩුවේ සිටීමට අකමැති වූ සමාජ වෙනසක් අපේක්ෂාවෙන් කටයුතු කළ තරුණ දේශපාලන නායකයෙකු විය.
ටී.බී අයියා ඇතුළු තවත් සහෝදරයින් 3 දෙනෙක් JVP තුවක්කු විසින් බිලිගත් දින ඉඩම් නැති ගොවීන් විසින් ඇල්ලූ ඉඩම්වල පහන් පත්තු කිරීමට සාලින්ද අයියා යන්නේ තරමක් ප්‍රමාද වී අපේ රාජා මල්ලී සමග මෝටර් බයිසිකලයෙනි. රාජා යන්නේ ඔහුගේ ආරක්ෂාවටය. සාලින්ද එහි යනවිට ටී. බී අයියලා එතනින් නික්ම ගොවීන් රැස්වූ තවත් ස්ථානයකට යාමට පිටත් වී තිබීම නිසා මුල් ස්ථානයේ ගොවීන් සමග කතා කිරීමට මදක් නැවතීම හේතුවෙන් එදා සාලින්ද අයියා සහ රාජ මල්ලී JVP යේ තුවක්කුකාරයින්ගෙන් බේරෙන්නේ අනූනමයෙනි. ටී බී අයියලා ගිය ස්ථානයට යනගමනේදී මහපාරේ වෙඩි වැදී වැටී සිටි ටී. බී , සුමති, සිරිමෙවන් සහ විජේ සහෝදරයින්ගේ සිරුරු මොවුන්ට හමුවේ.
JVP යේ භීෂණය හමුවේ පැවැති පළමු පළාත් සභා මැතිවරණයට සාලින්ද ඇතුළු බොහෝ පිරිසක් තරග කරමින්.ඉදියට ආවේ එදා පැවැති යුදමය තත්වය හමුවේ මතවාදීමය වශයෙන් බලය බෙදීමේ දේශපාලන විසදුමකට / ක්‍රියාවලියට අත ඔසවමිනි.
බරපතල ලෙස මරණ තර්ජනයට මුහුණ දෙමින් සිටියදීත් JVP යට අභියෝග කරමින් ඔවුහු සටනට වැදුණි. පළාත් සභා දිනාගත් පසුවද බොහොමයක් මන්ත්‍රීවරුන් වල.පල්ලට යැවීමට ජවිප ය සමත් විය .
ජයම්පතිලා, සුනිල් ගරුසිංහලා, සුනිල්.කහගල්ල ලා මොනවා කීවද එදා ( 1988 හෝ 89 ) දේවසරණයට පහර දීමට ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායම් පැමිණ දේවසරණය වටකළ ද ජීවිත ආරක්ෂාව ට එහි පැමිණ සිටි පවුල්වල.සාමාජිකයින් 350 ක ගේ පමණ ජීවිත බේරා ගන්නට උදව් කළේ.සාලින්ද දිසානායක , රාජේන්ද්‍ර විජේතුංග යනාදී වශයෙන් වූ පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට UNP ආණ්ඩුවෙන් ලබා දී තිබූ ගිනි අවි කිහිපයකට පිංසිදු වන්නටය. එදා JVP මිනීමරුවන් දේවසරණය ඇතුලට ආවානම් අද එතැනද 350 කට වැඩි පිරිසක් සමූල ඝාතනයට ලක් වූ තැනක් ලෙස ඉතිහාසයට එක්වී හමාරය. එසේ නම් අද සුමිකා පෙරේරාද නැත, සදුන් තුඩුගලද නැත. මා හිතන විදියට සුනිල් ගරුසිංහද ඔහුහේ පවුලේ අයද නැත. රිචර්ඩ් පෙරේරාද නැත. තවත් බොහෝ අයද නැත. සරත් අයියාටද කලින්ම නික්ම යාමට සිදුවන්නට ඉඩ තිබුණි.
මා දන්නා තරමින් සාලින්ද ප්‍රා කාරයෙක් නොවේ. එහෙත් ප්‍රා කාරයින් යැයි කියමින් බනින එදා ඉපදිලාවත් නැතුව සිටි හෝ ළදරු වියේ සිටි පිරිස් ( කිසිම.හේතුවක් නිසා ඝාතනය මා අනුමත කරන්නේ නැත) ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය ගැන කිසිවක් නොදැන එයට මුහුණ දුන් මිනිසුන් හෝ මරණයට පත් වු.මිනිසුන් ගැන කිසිවක් නොදැන ද්වේශයෙන් කරන කතා ඇසෙන විට මා ඔවුන්ට කියන්නේ එදා පැවති තත්වයන් ගැන දන්නා කියන අයගෙන් හෝ යමක් අසා බලන ලෙසයි. එය තත්කාලීනව විග්‍රහ කරගන්න ලෙසයි එදා සෑම පැත්තෙන්ම සිදු වූ.මිනිස් ඝාතන ලෙහෙසියෙන් කාගේ හෝ ගොඩකට එකතු කිරීම සාධාරණ නැත. පැවතියේ එතරම්ම සංකීර්ණ තත්වයකි.
සාලින්ද දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමතිවරයෙක් වූ පසුව ඔහුගේ දේශපාලනය මා අනුමත නොකළා මෙන්ම ඔහුගේ දේශපාලනයෙන් කිසිම වාසි ප්‍රයෝජනයක් ඉල්ලාගෙන හෝ ලබාගෙන ද නැත. ( ඔහු ඇතුළු ඒ යුගයේ කැපවීමෙන් දේශපාලනයට පිවිසි බොහෝ තරුණ දේශපාලකයින්ට අවසානයේ නතර වෙන්නට තිබූ තැන්වල අන් අය සේම ඔහුද නතර වී තිබුණි . එය වෙනම විග්‍රහ කරගත යුතු කාරණයකි) එහෙත් එදා සිට ඔහුගේ මරණය දක්වාම ඔහු අපිට නම් දුටු තැනක නිහතමානීව කතා බහ කළ එදා මෙන්ම සුහදව සහෝදරයෙක්ව සිටි සාලින්ද අයියාම විය.
සොයුර ඔබට සුබ ගමන් !