කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුරට සුදුස්සෙකු තෝරා පත්කරගැනීම වෙනුවෙන් හෙට (28 දා) දිනයේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සදහා එක්සත් ජාතික පක්ෂයෙන් විශාඛා අබේසිංහ මහත්මිය ඉදිරිපත් වනු ඇතැයි අතිශය විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.
අදාල ඡන්ද විමසීම සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වරුණ ප්‍රේමරත්න සහ විජයානන්ද වෙඩිසිංහ යන මන්ත්‍රීවරුන්ගෙන් අයෙකු හෙට දිනයේදී ඉදිරිපත්වීමට නියමිතව සිටි නමුත් අද පස්වරුවේ පැවැති එජාප නාගරික මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී එම තීරණය වෙනස් වී ඇති බව වාර්තා වෙයි.
එහිදී විජයානන්ද වෙඩිසිංහ මහතා නගරාධිපති ධූරයට තරගකිරීමෙන් ස්වේච්ඡාවෙන් ඉවත්වෙමින් විශාඛා අබේසිංහ මහත්මිය වෙත සහය පළකර ඇති බව වාර්තා වෙයි. උද්ගත වූ තත්වය හමුවේ නගරාධිපති අපේක්ෂකයා තෝරාගැනීම පිණිස එජාප මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අතර ඡන්ද විමසීමක් සිදුකර ඇති අතර එහිදී විශාඛා අබේසිංහ මහත්මිය වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කර ඇති බවද ආරංචි මාර්ග කියයි. බුද්ධික ඇල්ලේපොල මහතා අදාල ඡන්ද විමසීම වර්ජනය කර ඇති බවත් , රිස්වි මන්ත්‍රීවරයා රෝහල් ඇදක සිට දුරකථනය ඔස්සේ සිය ඡන්දය භාවිතා කළ බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම ඡන්ද විමසීම අවසන්වීමෙන් පසුව , අවසන් මොහොතේදී තමන් නගරාධිපති සටනින් ඉවත්කිරීමට සැලසුම් කළ බවට චෝදනා කරමින් වරුණ ප්‍රේමරත්න මහතා විසින් එහිදී ආවේගශීලිව සහ වේදනාත්මකව අදහස් දැක් වූ බවද කියැවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් හෙට දිනයේදී නගරාධිපති ධූරය සදහා තරග කරන්නේ තුෂාර සංජීව මහතාද, එසේත් නැතිනම් සහ ගාමිණී පෙරමුණගේ මහතාද යන්න පිළිබදව නිශ්චිත තොරතුරක් මේ දක්වා අනාවරණය කර ගත නොහැකි විය.