Saturday, January 18, 2025

වල් ධර්මේ මරා ළිදකට දැම්මාට බිරියයි, අනියම් සැමියයි ඇතුලු තුනක් එල්ලුම්ගහට.

Must read

mawatagama_dharme_ murder

තම සැමියා ඝාතනය කර මළ සිරුර ළිදකට දැමුවේ යැයි කියන මාවතගම ප්‍රදේශයේ කාන්තාවකට සහ ඇගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකුත්, එම ඝාතනයට සහය දුන් බව කියන තවත් පුද්ගලයෙකුටත් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් පසුගිය 26 වැනිදා මරණ දඩුවම් නියම කළාය.

මෙලෙස මරණ දඩුවම් නියම කෙරුණේ ඩී. උදයකුමාරි රාජමුණි සහ ඇගේ අනියම් සැමියා බව කියන එම්. එච්. ඩී. නිශාන්ත කුමාර වංසක්කාර සහ ඝාතනයට අනුබල දුන් බව කියන ඒ. බී. පී. ඩබ්ලිව්. එම්. රවීන්ද්‍ර කුමාර යන අයවලුන්ටය.

2006 ඔක්තෝම්බර් 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මාවතගම, දෙල්ගොල්ල වත්තේ පදිංචි වී සිටි ඒ. ඒ. ධර්මරත්න නොහොත් වල් ධර්මේ නැමැති අයට පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කළ බවටත්, ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ මළසිරුර ළිදකට ඇද දැමූ බවටත් චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබිණි.

වසර 11 ක පමණ දීර්ඝ කාලයක් තිස්සේ කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර විත්තිකරුවන් ඇමැතූ මහාධිකරණ විනිසුරුවරිය ඔවුන්ට එරෙහිව නගා ඇති චෝදනා එකින් එක කියවා තේරුම් කර දුන්නාය. විත්තිකරුවන් විසින් 2006 ඔක්තෝම්බර් 20 වැනිදා හෝ ඊට ආසන්න දිනක රාත්‍රි කාලයේදී මෙම ඝාතනය සිදුකළ බවට ඇසින් දුටු සාක්ෂිවලින් ඔප්පු වී ඇති බැවින් විත්තිකරුවන් තිදෙනාම මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත් වී ඇතැයි විනිසුරුවරිය එහිදී කීවාය. ඒ අනුව විත්තිකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබා ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයකදී හුස්ම සිරවන තෙක් එල්ලා තබා මරණයට පත්කරන ලෙසට නියෝග කළාය. මරණ දඩුවම ප්‍රකාශයට පත්වකිරීමත් සමග මෙම නඩුවේ පළමු විත්තිකාරිය වූ උදයකුමාරි රාජමුණි නැමැත්තිය අධිකරණ ශාලාව තුළ මහ හඩින් හඩා වැළපෙන්නට වූවාය.

ඝාතනයට ලක් වූ ඒ. ඒ. ධර්මරත්න නොහොත් වල් ධර්මේ නැමැත්තාද ප්‍රදේශයේ නම ගිය අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවත්, ඔහුට එරෙහිව අධිකරණය හමුවේ නඩු හයක් විභාගවෙමින් පවතින බවද මෙම නඩු විභාගයේදී අනාවරණය විය. රජයේ නීතිඥ අකිල අමුණුගම මහතා විසින් පැමිණිල්ල මෙහෙය වූ අතර මෙම නඩුවේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රවී ජයවර්ධන මහතා පෙනී සිටියේය.

ආරියපාල වංශතිලක

උපුටාගැනීම –  දිනමිණ පුවත්පත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article