මහව අධ්‍යාපන කලාපයට අයත් වලස්වැව ගුණපාල මළලසේකර විද්‍යාලයෙන් මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන්ගේ මව්පියන් වෙතින් එම ශ්‍රේණිය සදහා ඉගැන්වීම් කළ ගුරුවරුන් සෝෆා කට්ටල ඇතුලු රුපියල් ලක්ෂ ගණනක් වටිනා තෑගි බෝග ලබාගෙන ඇති බව වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.
ගුරුවරුන් වෙත තෑගි බෝග ලබාදීම සදහා එම විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවෙකුගේ මව්පියන්ගෙන් රුපියල් 1500 ක් බැගින් මුදල් එකතු කර ඇති අතර එලෙස එකතු කළ සම්පූර්ණ මුදල රුපියල් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න බව පැවසෙයි. එම මුදල්වලින් පහ වසර පන්ති භාර ගුරුවරුන් වෙත සෝෆා කට්ටල 02 ක් සහ සෙසු විෂයන් ඉගැන් වූ ගුරුවරුන් වෙත පිගන් කෝප්ප කට්ටල හයක්ද පිරිනමා තිබේ. දෙමව්පියන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වී ඇති මෙම කටයුත්ත සදහා බොහෝ මව්පියන් මුදල් ලබා දී ඇත්තේ දැඩි අකමැත්තෙන් බවත්, තම දරුවාට ගුරුවරුන්ගෙන් යම් බලපෑමක් සිදුවේය යන බියෙන් දෙමව්පියන් මුදල් ලබාදීමට පෙළඹී ඇති බවත් වාර්තා වෙයි.
මේ පිළිබදව වලස්වැව ගුණපාල මළලසේකර විද්‍යාලයේ විදුහල්පති ඒ. පී. පියදාස මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ ගුරුවරුන් වෙත එවැනි තෑගි බෝග ලබාදීමක් සිදු නොවූ බවය. එවැනි මුදල් එකතු කිරීමක් පිළිබදව තමන්ටද ආරංචි වූ බැවින් තෑගි බෝග ලබාදීමක් හෝ මුදල් එකතු කිරීමක් නොකරන ලෙසට දෙමව්පියන්ට උපදෙස් දුන් බව කී විදුහල්පතිවරයා ගුරුවරුන් වෙනුවෙන් සුඵ සංග්‍රහයක් සිදුකිරීම පමණක් ප්‍රමාණවත් බවට දෙමව්පියන් දැනුවත් කළ බවද පැවසීය.