Sunday, January 19, 2025

වයඹ සභාපතිකමට ටිකිරි නිතරගයෙන් ! සෝමසිරි සහ චින්තකත් තරගයක් නැතිවම තනතුරුවලට එති.

Must read

වයඹ පළාත් සභාවේ හත්වැනි සභාපතිවරයා වශයෙන් ටිකිරි අධිකාරී මහතා අද  ( 06 දා) පැවැති පළාත් සභා රැස්වීමේදී නිතරගයෙන් තේරී පත් විය.

වයඹ පළාත් සභාවේ සභාපති තනතුර හොබවමින් සිටි ධර්මසිරි දසනායක මහතා වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම හේතුවෙන් එම තනතුර මසකට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණි. මේ හේතුවෙන් වයඹ පළාත් සභාව අද  රැ‍ස්වූයේ ජ්‍යෙෂ්ඨ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී පියසිරි රාමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

සභාව ආරම්භවීමෙන් පසුව එහි පළමු අංගය ලෙස නව සභාපතිවරයෙකු තෝරාපත්කරගැනීමේ අවස්ථාව එළැඹී ඇති බව මුලසුන හෙබවූ පියසිරි රාමනායක මහතා විසින් සභාවට නිවේදනය කරනු ලැබීය. ඒ අනුව වයඹ පළාත් සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ටිකිරි අධිකාරී මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ වයඹ සමූපකාර හා ප‍්‍රවාහන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසිනි. එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා විසිනි. සභාපති තනතුර සදහා වෙනත් මන්ත‍්‍රීවරුන්ගේ නම් යෝජනා නොවීම නිසා නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ ටිකිරි අධිකාරි මහතා මූලාසනය හොබවමින් සිටි පියසිරි රාමනායක මහතා ඉදිරිපිට දිවුරුම්දීමෙන් අනතුරුව මුලාසනයෙහි අසුන් ගත්තේය.

ටිකිරි අධිකාරී මහතා නව සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය සභාපති තනතුර සදහා මන්ත‍්‍රීවරුන් අතුරින් අයෙකු තෝරාපත්කරගැනීමේ අවස්ථාවේදීවයඹ පළාත් සභා මන්ත‍්‍රී සෝමසිරි ගුණතිලක මහතාගේ නම එම තනතුරට යෝජනා කරනු ලැබුවේ වයඹ කෘෂිකර්ම සහ ධීවර අමාත්‍ය සුමල් තිසේරා මහතා විසිනි. වයඹ පළාත් සභාවේ තනතුරක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුගිය දිනවල කටයුතු කළ පළාත් සභා මන්ත‍්‍රීනි ඉන්ද්‍රානි දසනායක මහත්මිය විසින් එම යෝජනාව ස්ථීර කිරීම විශේෂත්වයක් විය. නියෝජ්‍ය සභාපති තනතුර සදහාද වෙනත් මන්ත‍්‍රීවරුන්ගේ නම් යෝජනා නොවීම නිසා සෝමසිරි ගුණතිලක මහතාද නියෝජ්‍ය සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් විය. සභාපති ටිකිරි අධිකාරි මහතා ඉදිරිපිට දිවුරුම්දීමෙන් අනතුරුව ඒ මහතා නියෝජ්‍ය සභාපතිවරයා වෙනුවෙන් වෙන්කර ඇති ආණ්ඩු පක්ෂ ඉදිරිපෙළ අසුනෙහි අසුන් ගනු ලැබීය.

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ ඒකමතික තීන්දුවකට අනුව වයඹ පළාත් සභා මන්ත‍්‍රී චින්තක අමල් මායාදුන්නේ මහතා වයඹ පළාත් සභාවේ නව සභානායකවරයා ලෙස තේරී පත් වී ඇති බවට සභාපති ටිකිරි අධිකාරී මහතා විසින් නිවේදනය කරනු ලැබීය.

ටිකිරි අධිකාරි මහතා වයඹ පළාත් සභාවේ නව සභාපතිවරයා ලෙස දිවුරුම්දුන් අවස්ථාව tikiri01
පියසිරි රාමනායක විසින් ටිකිරි අධිකාරි මහතා මහතාට සුබ පැතූ අයුරු.tikiri02
වයඹ පළාත් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ටිකිරි අධිකාරි මහතා සභාව විසින් මෙහෙය වූ අයුරුtikiri03

නියෝජ්‍ය සභාපතිවරයා ලෙස තේරී පත් වූ සෝමසිරි ගුණතිලක මහතා සභාපතිවරයා ඉදිරිපිට දිවුරැම් දුන් අයුරු tikiri4
සෝමසිරි ගුණතිලක මහතා සභාව අමතමින් tikiri5
වයඹ පළාත් සභාවේ නව සභානායකවරයා ලෙස තේරී පත් වූ චින්තක අමල් මායාදුන්නේ මහතා සභාව අමතමින්tikiri6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article