කටේ කෙළ වේළෙන්නටත් පෙර පැත්ත මාරු කරපු ඉබ්බාගමුවේ මන්ත්‍රීවරු.
හිරියාල ආසන සංවිධායක තනතුරින් ඉවත් කෙරුණු මන්ත්‍රී සාලින්ද සමග ඉදිරියේදීත් දේශපාලන කටයුතුවල නියැලෙන බවටත්, නව ආසන සංවිධායකවරයා ලෙස පත්කළ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දිකගේ පත්වීම පිළිනොගන්නා බවටත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ තබාගෙන ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දෑත් ඔසවා දුන් ප්‍රතිඥාව සතියක් ගතවෙන්නටත් පෙර උපන්ගෙයිම මිය ගොස් තිබිණි. සාලින්ද මහින්ද හිරියාලට ගෙන්වා තමන්ට ඇති බලය පෙන්වද්දී කමල් ඉන්දිකත් වැඩි සද්ද බද්ද නැතිවම ගොඩ වැඩිකර ගැනීමට කටයුතු කර තිබිණි. ඒ අනුව මන්ත්‍රී කමල් ඉන්දිකගේ මූලිකත්වයෙන් පසුගිය 11 වැනිදා පස්වරුවේ ගනේවත්තේ පිහිටි හෝටලයකදී ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වෙනුවෙන් සුහද සාදයක් සූදානම් කෙරෙන්නේ ඒ අනුවය. තමන් සමග ගමනකට මුලපුරන්නට එදිනට ඇවිත් යන ලෙස කමල් ඉන්දික විසින් ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන්ට සියලු දෙනාටම පාහේ ආරාධනා කර තිබූ අතර ආරාධනාව පිළිගත් මන්ත්‍රීවරුන් කිහිපපොළක්ම ගනේවත්තේ හෝටලයට පැමිණ සිටියහ. ටී. එම්. වික්‍රමරත්න, ඉන්දික සේනාධිපති, චන්දන හේරත්, ගාමිණී දසනායක, අබ්දුල් වාජිබු, කුමාර රත්නායක, අනුර මුණසිංහ මෙන්ම හිටපු සභාපතිවරයෙකු වන අශෝක ගුණරත්න ඇතුලු පිරිසක්ද ඊට එක් වී සිටියහ. තමන් ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි කාලයේ සිටම මන්ත්‍රීවරුන් සමග සමීපව කටයුතු කළ අයුරු සිහිපත් කළ කමල් ඉන්දික නව ආසන සංවිධායකවරයා ලෙස තමන්ට සහයෝගය දක්වන ලෙසද පැමිණ සිටි පිරිසගෙන් ඉල්ලා සිටියේය. පැරණි මතක, කැපිලි, කෙටිලි, අසාධාරණකම් ගැන සිහිපත් කරමින් පැය කිහිපයක් තිස්සේ ඇදී ගිය සුහද හමුව අවසන් වූයේ කමල් ඉන්දික වෙතින් කෙරුණු ඉල්ලීමට හිටපු මන්ත්‍රීවරුන් විසින් එකගත්වය පළකිරීමත් සමගය. නව ආසන සංවිධායකවරයා ලෙස කමල් ඉන්දික සමග එක්ව කටයුතු කරන බවට සුහද හමුවට පැමිණ සිටි මන්ත්‍රීවරුන් සියලුදෙනාම කමල් ඉන්දිකට අතට අත දී එකගත්වය පළකරද්දී ඊට දින තුනකට පෙර ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් උඩුකුඹුර විසින් මහින්ද ඉදිරියේ තබාගෙන සාලින්දට දුන් ප්‍රතිඥාව දෙදරා ගියේය. ‘‘අපි සාලින්දව අතාරින්නේ නැහැ කියලා මහින්ද මහත්තයා ඉස්සරහා පොරොන්දුවෙලා කටේ කෙළ ටික වේලෙන්නත් කලින් මේ මිනිස්සු පැත්ත මාරු කළානේ. ’’ මන්ත්‍රීවරුන්ගේ පැති මාරුව ගැන ඇසූ හිතවතෙකුට සුමිත් උඩුකුඹුර කියා තිබුණේ එලෙසිනි.
ඊළග ඡන්දෙදී කුරුණෑගල නගරාධිපති විල්ගොඩ ලැයිමට ගිහිනුත් හමාරයි !
කුරුණෑගල, විල්ගොඩ පිහිටි නාගරික කම්කරු නිවාස ඉතා කුඩා වර්ෂාවකදී පවා ජලයෙන් යටවීම මේ වන විට සුලබ තත්වයක් බවට පත්ව තිබේ. මෙම නිවාසවල වාසය කරන අයගෙන් බහුතරයක් කුරුණෑගල මහ නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් ලෙස සේවය කරන අතර ජීවත්වීමට අවශ්‍ය කරන අවම පහසුකම් හෝ නොමැති පරිසරයක් තුළ වෙසෙන මෙම දමිළ ප්‍රජාව අතිශය පීඩාකාරී ජීවිතයක් ගෙවාදමමින් සිටින්නේ අදක ඊයෙක සිට නොවේ. මෙම ජනතාවගේ ප්‍රයෝජනය සදහා බව කියමින් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සදහා පසුගිය කාලයේදී මුල්ගල් තැබුණු නමුත් අද වන විට එම ව්‍යාපෘතියටද සිදු වූ දෙයක් නැත. පසුගිය දිනවල කුරුණෑගලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් විල්ගොඩ ලැයිම ලෙස හදුන්වන මෙම ප්‍රදේශය සුපුරුදු පරිදිම ජලයෙන් යට වී ගිය අතර ඒ හේතුවෙන් විල්ගොඩ තුළ ජීවත්වන පවුල් සියයකට පමණ අයත් පිරිස් අවතැන් වූහ. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය විල්ගොඩ ප්‍රදේශවාසීන් කුරුණෑගල – විල්ගොඩ මාර්ගය අවහිර කරමින් පසුගිය 15 වැනිදා දහවල් විරෝධතාවයක යෙදුණේ ලැයිම් නිවාස වෙනුවට තමන්ට ස්ථිර වාසස්ථානයක් ලබාදෙන ලෙස ඉල්ලමිනි. එහිදී එම මාර්ගයේ ගමනාගමන කටයුතුද අවහිර වී ගිය අතර විරෝධතාවය සංසිදවනු පිණිස පොලිසියේ මැදිහත්වීම මත එහි පැමිණියේ කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේය. නමුත් වෙනදා මෙන් නගරාධිපති ගාමිණී කියන දෙයට සවන්දෙන්නට විල්ගොඩ වැසියන් සූදානම් නොවූ අතර නගරාධිපතිවරයාට විල්ගොඩවාසීන් වෙතින් එල්ල වූයේ දැඩි විරෝධයකි. ඡන්දය ඉල්ලාගෙන නැවත වතාවක් විල්ගොඩ ලැයිමට නම් එන්නට එපා යැයි නගරාධිපතිවරයාගේ මූණටම කී විල්ගොඩ වැසියන් පළාතටම ඇසෙන සේ හූ හඩකින් නගරාධිපතිවරයාට සංග්‍රහ කරන්නටද අමතක නොකළහ. අන්තිමේදී කරකියා ගත හැකි දෙයක් නොවූ නගරාධිපති පෙරමුණගේ ආපසු හැරී යන්නට ගියේය.
අජිත් රෝහණ සංවර්ධන කමිටු සභාපති පුටුව අතාරින්නේ නැතිලු !
ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපති තනතුරු සංශෝධනය කරමින් ජනපති ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පසුගියදා නිකුත් කෙරුණු ලිපි මාලාව හරහා ඇතැමුන්ගේ තටු කැපුණු ආකාරයත්, ඇතැමුන්ට තටු ලැබුණු ආකාරයත් මැයි 12 වැනිදා අඵ යට ගිනි පිටුවෙන් හෙළිකෙරිණි. පොල්ගහවෙල එජාප සම සංවිධායකවරුන් වන අජිත් රෝහණ සහ එච්. එම්. ජයරත්න දෙපළ අතර ඇති නයි මුගටි විරසකය හේතුවෙන්දෝ පොල්ගහවෙල සහ වීරඹුගෙදර යන ප්‍රාදේශීය සංවර්ධන කමිටු දෙකෙහි සම සභාපති තනතුර සදහා එජාපය පැත්තෙන් කිසිවෙකුත් නම් කර නැති බවද එහිදී වැඩිදුරටත් හෙළිකෙරිණි. එම ලිපිය කියැවූ මන්ත්‍රී අජිත් රෝහණ එදින දහවල් දොළහ වෙන්නටත් පෙර අඵ යට ගිනි ඇමැතුවේය. ‘‘මාව පොල්ගහවෙල සහ වීරඹුගෙදර සංවර්ධන කමිටු දෙකේ සම සභාපති විදිහට නම් කරලා ජනාධිපතිතුමා මට එවලා තියෙන ලිපිය මේ වෙලාවෙත් මම ළග තියෙනවා. ඒ ලිපිය අවලංගු කළා කියලා මේ වෙකම් මට කිසිම දැනුම්දීමක් කරලා නැහැ. ඒ නිසා තවමත් පොල්ගහවෙල සහ වීරඹුගෙදර සංවර්ධන කමිටු දෙකේ සම සභාපති මමයි. ඒ නිසා ඒ දෙකට අලුතෙන් පත්කරලා ඉන්න අනුර යාපා ඇමැතිතුමා එක්ක එකතුවෙලා ඒ වැඩ කටයුතු ටික කරගෙන යන්න මම දැන් සූදානම් වෙනවා. හෙට අනිද්දාට තියෙන පොල්ගහවෙල සහ වීරඹුගෙදර සංවර්ධන කමිටු රැස්වීම් දෙකටම අනුර යාපා ඇමැතිතුමාත් , මමත් අනිවාර්යයයෙන්ම වාඩිවෙනවා. ’’අජිත් රෝහණ කීය. අජිත් රෝහණගේ තර්කය වන්නේ තමන්ගේ පෙර පත්වීම අවලංගු කිරීමක් කර නැති බැවින් තමන් තවමත් පොල්ගහවෙල සහ වීරඹුගෙදර ප්‍රාදේශීය සංවර්ධන කමිටු දෙකෙහි සම සභාපතිවරයා බවය. බැලූ බැල්මට අජිත් රෝහණගේ තර්කයෙහි වරදක් නැති බව පෙනී යන නමුත් අඵ යට ගිනි හි මතය වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ත දිවයිනේම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපති තනතුරු සංශෝධනය වී ඇති කලෙක පොල්ගහවෙලට පමණක් එය බලනොපාන්නට සාධාරණ හේතුවක් නැති බවය. කෙසේවෙතත් අජිත් රෝහණට ඇමැති අනුර යාපා සමග එක්ව සංවර්ධන කමිටු සම සභාපති අසුනෙහි උපද්‍රවයකින් තොරව වාඩි වීමට ලැබෙන්නේදැයි වැඩිකල් නොගොස් දැකගත හැකි වනු ඇත.
කොළ – නිල් පැරණි හබේ – ඉබ්බාගමුවේදි දිග හැරේ !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනපති මෛත්‍රීත් , එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස අගමැති රනිලුත් මුල්කරගනමින් පිහිට වූ සම්මුතිවාදී ආණ්ඩුවක් රට තුළ ක්රියාත්මකවෙමින් ඇති බවක් කියැවෙන නමුත් ජාතික දේශපාලනයේ සම්මුතිවාදය බිම් මට්ටම වෙත තවමත් කාන්දු වී නැති බව කියැවෙන අපූරු උදාහරණයක් පෙරේදා (24 දා ) දැකගත හැකි වූයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය. සම සභාපතිවරුන් ලෙස අලුතින් පත්වීම් ලැබූ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික සහ හිරියාල එජාප සංවිධායක ජගත් යාපාගේ ප්‍රධානත්වයෙන් ඉබ්බාගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුව 2016 වසර සදහා හාපුරා කියා රැස්වුණේ පෙරේදාය. ඊයේ පෙරේදා තමන්ගේ පිළට බා ගත් ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද රැස්වීමට කැදවාගෙන එන්නට මන්ත්‍රී කමල් ඉන්දික විසින් කටයුතු කර තිබිණි. මාස කිහිපයකට පෙර පළාත්පාලන ආයතන විසුරුවා හැරීමත් සමග මන්ත්‍රී ධූර අහෝසි වී ගොස් හිටපු මන්ත්‍රීවරුන් බවට පත් වී සිටින මෙම පිරිස සම සභාපති අසුන්වලට පසුපසින් තිබූ අසුන් පෙළක අනාරාධිතවම අසුන් ගත්හ. රැස්වීම කැදවීමේ ප්‍රධානම අරමුණක් වී තිබුණේ රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සදහා අනුමැතිය ලබාදීමය. ඒ අනුව ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සදහා දැනට අනුමත වී ඇති ව්‍යාපෘති නාමලේඛණය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් එකින් එක සභාවට ඉදිරිපත් කරන්නට වූ අතර ව්‍යාපෘති කිහිපයක නම් කියවෙද්දී කමල් ඉන්දික ඊට බාධා කළේය. ‘‘මෙහෙම හරියන්නේ නෑ. මේවා ඔක්කෝම එක්සත් ජාතික පක්ෂයට ඕනෑ විදිහට සකස් කරපුවා. ඒ නිසා මේ ව්‍යෘපෘතිවලට මට එකග වෙන්න බැහැ. මට මේවා අධ්‍යනය කරලා බලන්න දවස් දෙක තුනක් ඕනෑ. ’’ කමල් ඉන්දික කීය. ‘‘එහෙම දෙයක් වෙලා නෑ. අපේ නිලධාරින් ගම්වලට ගිහින් තමයි මේ ව්‍යාපෘති යෝජනා අරගෙන තියෙන්නේ. ඒ ගම්වල සමිති රැස්කරලා, ගමේ මිනිස්සුන්ගේ කැමැත්ත ඇතිව තමයි මේ යෝජනා සකස්කරලා තියෙන්නේ. අනික් අතට මේ ව්‍යාපෘති ටික අද අපේ සංවර්ධන කමිටුවේදී අනුමත කරලා මේ තිස්වෙනිදාට කලින් අපි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට යවන්න ඕනෑ. එහෙම කළොත් තමයි අපිට මේ ව්‍යාපෘතිවල වැඩ පටන්ගන්න වෙන්නේ. ’’ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමා මාරසිංහ විසින් පැහැදිලි කළාය. ‘‘එහෙම කරන්න බැහැ. මම නම් ඔය එකකටවත් අත්සන් කරන්නේ නැහැ. දැන් තියෙන්නේ ජාතික ආණ්ඩුවක් නම් ඒකේ ප්රතිලාභ අපිටත් සමානව ලැබෙන්න ඕනෑ. අපෙන් අහන්නේ බලන්නේ නැතිව, අපිට කියන්නෙත් නැතිව මේවා හදන එක වැරදියි. ජනාධිපතිතුමා මාව පත්කරලා තියෙන්නෙ ඒ ගැන හොයලා බලන්න තමයි. ’’යැයි කී කමල් ඉන්දික අසුනෙන් නැගිටීමට සූදානම් විය. ‘‘ඔහොම ඉන්න මල්ලි. ඔයා නැගිටලා ගියාම අතරමග නවතින්නේ අපේ ආසනේට ඇවිත් තියෙන සංවර්ධන ව්‍යාපෘති ටිකනේ. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා නම් කතාකරලා විසදගමු. ’’ජගත් යාපා කමල් ඉන්දික නවතමින් කීවේය. ජගත්ගේ ඉල්ලීමත් සමග නැවැත අසුනේ වාඩි වූ කමල් ඉන්දික නිලධාරින් රාජකාරි නිසිලෙස ඉටුනොකළ බවට චෝදනා කිරීම නිසා කමිටු රැස්වීම යළිත් වතාවත් උණුසුම් වී ගියේය. කමල් ඉන්දික වෙත ප්‍රතිචාර දැක් වූ නිලධාරින්ද කීවේ තම රාජකාරිය අපක්ෂපාතීව හා නිවැරදිව ඉටු කළ බවත්, එවැනි වරදක් සිදු කර ඇත්නම් කරුණු සහිතව ඉදිරිපත් කරන ලෙසටය. එවැනි උණුසුම් වාද විවාද මැද කමල් ඉන්දික යළිත් වරක් අසුනෙන් නැගිට යන්නට හැදුවත් එම උත්සාහයද වැළැක්විණි. කෙසේවෙතත් පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ වාද විවාද, වචන හුවමාරු සහ කල කෝලාහල මැද ඇදී ගිය ඉබ්බාගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුව අවසන් වූයේ කිසිවෙකුගේ හිතේ සතුටක් ඉතිරිකරමින් නොවන බව කාගේ කාගෙත් මුහුණුවලින් දැකගත හැකි විය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවටත් බාලගිරි දෝසේ !
පුටු මාරු ආරවුල් සහ කොළ – නිල් ආරවුල් පදනම් කරගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු බොහොමයක ඇති වී තිබෙන ගැටුම්වල රස්නය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ක්‍රියාකාරීත්වය පවා අඩපණ කරන්නට සමත් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මක්නිසාදයත් ඊයේ (25 දා) පැවැත්වීමට නියමිතව තිබූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම නිශ්චිත හේතු දැක්වීමකින් තොරව මේ වන විට දින නියමයක් නැතිවම කල් දමා ඇති බැවිනි. මැයි මාසය තුළ පවත්වන්නට සැලසුම් කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මෙලෙස කල්ගියේ දෙවැනි වතාවටය. පසුගිය 20 වැනිදා පවත්වන්නට සැලසුම්කර තිබූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කල්දැමුණේ එදින පාර්ලිමේන්තු දිනයක් ලෙස හදිසියේ නම් කිරීම නිසා මැති ඇමැතිවරුන්ට ඊට සහභාගි විය නොහැකි බව කියමිනි. එලෙස අවලංගු කෙරුණු සම්බන්ධීකරණ කමිටු රැස්වීම මැයි 25 වැනිදා පැවැත්වෙන බවට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සියලු කමිටු සාමාජිකයින් වෙත ලිඛිතව දන්වා යවා තිබූ අතර පසුගිය 23 වැනිදා දහවල් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්ම කමිටු සාමාජිකයින් වෙත ලැබුණු ඇමැතුමකින් කියැවුනේ 25 වැනිදා පැවැත්වීමට නියමිත සම්බන්ධීකරණ කමිටු රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවකි. ඊට හේතු විමසූ ඇතැම් කමිටු සාමාජිකයින් වෙත පිළිගත හැකි මට්ටමේ සාධාරණ හේතුවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැත්තෙන් ඉදිරිපත් වී නැති බවද අඵ යට ගිනි වෙත වාර්තා වෙයි. මසකට වතාවක් රැස්විය යුතුයැයි කියන කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගෙවුණු මාස පහක කාලය පුරාවට දෙතුන් වතාවකට වඩා රැස් වී නැති බව හුදී ජනයාගේ දැනගැනීම පිණිස මෙහිලා සටහන් කර තැබිය යුතුමය.
පළාත් සභාවේ ටිකිරි බණ්ඩා මහ ආණ්ඩුවත් පෙරළයි.
වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා විසින් පසුගිය 24 වැනිදා ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා බෙදා හැර තිබූ සටහනක් තරමක ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වී තිබිණි. ශ්රීලනිපය ඇතුළු සන්ධානයට බලය තිබූ පළාත් පාලන ආයතන නිලධාරී පාලනයකට නතුකිරීම මගින් එහි වාසිය එජාපයට ලැබීම නිසා කඩිනමින් මැතිවරණයකට දින නියම නොකරන්නේ නම් එයට විරෝධයපෑමක් ලෙස බස්නාහිර, දකුණ, සබරගමුව, ඌව, මධ්‍යම පළාත් නියෝජනය කරන අමාත්‍යවරු කීප දෙනකු ඉදිරි පැය 48ක කාලය ඇතුලත එම ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කී බව එම සටහනෙහි දැක්විණි. එදින මධ්‍යම රාත්රියේදී ආණ්ඩුව විසුරුවීමට අදාල ගැසට් නිවේදනය පවා මුද්‍රණය වී ඇති බවටද සභාපති ටිකිරි බණ්ඩා විසින් සිය ගිණුම හරහා ෆේස්බුක් වෙබ් අඩවිය පුරා බෙදා හැර තිබිණි. ටිකිරි බණ්ඩා කී ආකාරයට මේ වන විටපැය 48 කට වැඩි කාලයක් ඉක්මවා ගොස් ඇති නමුත් තවමත් ආණ්ඩු පෙරළියක සළකුණක්වත් පෙනෙන්නට නැත. එසේ නමුත් වයඹ පළාත් සභාවේ වගකිව යුතු සහ බැරෑරූම් තනතුරක් දරමින් සිටින ටිකිරි බණ්ඩා විසින් ආවාට ගියාට යමක් ප්‍රචාරය නොකරන බව විශ්වාස නොකරන වයඹ ජනතාව තවමත් බලා සිටින්නේ හෙට අනිද්දාට කොයි මොහොතක හෝ ආණ්ඩුව විසුරුවා හරින තුරුය. අනෙක් අතට තමන්ගේ නම් ගම් සහිතව තමන්ගේ පක්ෂයේම පොල්ගහවෙල සංවිධායකවරයා විසින් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පතුරුවා හරමින් සිටින මේ දූෂමාන ආරංචි පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැති ඩිලාන්ගේ පමණක් නොව, මහ ලේකම් දුමින්ද දිසානායකගේ මෙන්ම ජනපති මෛත්‍රීගේ අවධානයත් යොමුවිය යුතු කාලය පැමිණ ඇති බව වයඹ ජනතාවගේ මතය වී තිබේ.