Saturday, January 18, 2025

වයඹ රැකියා විරහිත උපාධිධාරීන් පළාත් සභාවට කඩාවදිති !

Must read

පළාත් සභාව තුළ පවතින පුරප්පාඩු සදහා බදවාගන්නා ලෙස බලකරමින් වයඹ පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක යෙදුණු වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක් අද දහවල් හදිසියේම වයඹ පළාත් සභා සංකීර්ණය තුළට කඩාවැදීම නිසා පළාත් සභාවේ ප‍්‍රවේශ මාර්ගය පැය දෙකකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම වැසී ගියේය.

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසින් දැනට සතියකට වැඩි කාලයක් තිස්සේ සත්‍යග‍්‍රහයක් පවත්වාගෙන යන කුරුණෑගල ධර්මපාල උද්‍යානය ඉදිරිපිට පිහිටි තාවකාලික අට්ටාලය අසලින් සිය විරෝධතාවය ආරම්භ කළ උද්ඝෝෂකයෝ කුරුණෑගල නගරයේ සිට පළාත් සභා සංකීර්ණය දක්වා විරෝධතා පාගමනින් පැමිණියහ. පළාත් සභා සංකීර්ණයේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපිට රැස් වූ උද්ඝෝෂකයින් තමන්ට වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා හෝ වගකිවයුතු ඇමැතිවරයෙකු හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙසට ඉල්ලා සිටියහ. ටික වේලාවක් දොරටුව ඉදිරිපිට විරෝධතා වැකි කියමින් උද්ඝෝෂණයේ යෙදී සිටි උපාධිධාරීහු එක්වරම පළාත් සභාවේ ප‍්‍රධාන දොරටුව තල්ලු කරගෙන පළාත් සභා සංකීර්ණය තුළට කඩාවැදුණහ.

පළාත් සභාවට කඩාවැදුණු උපාධිධාරීහු එහි ප‍්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර වන ලෙස වාඩිවීම නිසා කිසිදු වාහනයකට පළාත් සභාව තුළට පිවිසීම හෝ ඉන් පිටවීම කළ නොහැකි අයුරින් මාර්ගය වැසී ගියේය. මේ අවස්ථාවේදී උද්ඝෝෂකයින් වෙත පැමිණි වයඹ වයඹ ප‍්‍රධාන අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් එමල් ප‍්‍රියන්ත මහතා විසින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් දසදෙනෙකුට ප‍්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබාදිය හැකි බව ප‍්‍රකාශ කිරීමත් සමග උද්ඝෝෂකයෝ ඊට එකගත්වය පළකළහ.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ නියෝජිතයින් සමග වයඹ ප‍්‍රධාන අමාත්‍යංශ රැස්වීම් ශාලාවේදී පැවැති අදාළ සාකච්ඡාව සදහා වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ සහ වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න යන මහත්වරුන් සහ වයඹ පළාත් සභාවේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ. දෙපාර්ශ්වය අතර හුවමාරු වූ උණුසුම් අදහස්ද සමගින් මෙම සාකච්ඡාව පැය එක හමාරකට ආසන්න කාලයක් පැවැති නමුත් අවසානයේ විසදුමකින් තොරවම එය නිමාවට පත් විය.

අනතුරුව ප‍්‍රධාන අමාත්‍යංශයෙන් පිටතට පැමිණි උපාධිධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සෙසු උපාධිධාරීන් රැදී සිටි පළාත් සභාවේ පිවිසුම් මාර්ගය වෙත පැමිණි අතර එහිදී අදහස් දැක් වූ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ මහතා මෙසේ පැවසීය.

“මේ සාකච්ඡාවට සහභාගි වෙච්ච පළාත් සභාවේ මැති ඇමැතිවරු කියන්නේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වගකීම තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට කියලයි. අපි මධ්‍යම ආණ්ඩුව ළගට ගියාම එහෙන් කියන්නේ රැකියා දෙන්න ඕනෑ පළාත් සභාවෙන් කියලයි. ඒ නිසා මින් පස්සේ අපි මේ දෙගොල්ල ළගටම යන්නේ නෑ. අපි ඊළගට යන්නේ මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණගැහෙන්න. අපි කොළඹට ගිහින් අරලියගහ මන්දිරයයි, ජනාධිපති මන්දිරයයි ඉදිරිපිට වාඩිවෙලා කියනවා අපේ රැකියා ප‍්‍රශ්නය විසදලා දෙන්න කියලා. ඒ වගේම අපේ ප‍්‍රශ්නයට අද දක්වාම විසදුමක් ලැබුණේ නැති නිසා අපි කුරුණෑගල නගරය මැද්දේ ආරම්භ කරලා තියෙන සත්‍යග‍්‍රහය ඉදිරියටත් ඒ විදිහටම පවත්වාගෙන යනවා. ” යැයි පැවසීය.

මෙම ප‍්‍රකාශයත් සමග එතෙක් වේලා මාර්ගය අවහිර කරගෙන සිටි රැකියා විරහිත උපාධිධාරීහු පළාත් සභාවෙන් පිට වී ගිය අතර ඒ සමග පළාත් සභාවේ ප‍්‍රවේශ මාර්ගයද යථා තත්වයට පත් විය. graduate_protest1 graduate_protest2 graduate_protest3 graduate_protest4 graduate_protest5 graduate_protest6 graduate_protest7 graduate_protest8 graduate_protest9 graduate_protest10 graduate_protest11 graduate_protest12 graduate_protest13 graduate_protest14

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article