Saturday, January 18, 2025

වයඹ මගී ප‍්‍රවාහන අධිකාරියේ කුලියාපිටිය කලාප කාර්යාලයට නගර සභාවෙන් සීල් තියයි.

Must read

kuliyapitiya_office_1

කුලියාපිටිය නගර සභාවට අයවිය යුතු රුපියල් ලක්ෂ තුනකට වැඩි කඩ කුලී මුදලක් ගෙවීම වසර තුනකට වැඩි කාලයක් තිස්සේ පැහැර හැරීම හේතුවෙන්, වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ කුලියාපිටිය කලාප කාර්යාලය මුද්‍රා තැබීමට  නගර සභා බලධාරිහු අද (21 දා ) කටයුතු කළහ.

කුලියාපිටිය නගර සභාවට අයත් බස් නැවතුම්පොල ගොඩනැගිල්ලෙහි පිහිටි කඩ කාමරයක වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ කුලියාපිටිය කලාප කාර්යාලය පවත්වාගෙන යනු ලබයි. අද උදෑසන එහි පැමිණි කුලියාපිටිය නගර සභාවේ වරිපනම් අංශයේ නිලධාරිහු එහි සිටි සේවකයින්ට එම කාර්යාලයෙන් ඉවත්වන ලෙසට දැනුම් දී එහි දොරටුවලට ඉබි යතුරු යොදා මුද්‍රා තබා තිබේ. අදාල කඩ කාමරය මුද්‍රා තබා ඇති බවත්, කුලියාපිටිය නගර සභාවේ නිසි අවසරයකින් තොරව එය විවෘත කිරීම තහනම් බවටත් දැක්වෙන නිවේදනයක්ද එහි දොරටුවල අලවා තිබිණි. මුද්‍රා තැබූ කලාප කාර්යාලයට අයත් කාර්යාල උපකරණ ඇතුලු බඩු භාණ්ඩ ඒ අයුරින්ම අදාල කඩ කාමරය තුළ තිබෙනු දැක ගත හැකිවිය.

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ කුලියාපිටිය කලාප කාර්යාලය මුද්‍රා තැබීම පිළිබදව කුලියාපිටිය නගර සභාවේ ලේකම් ධර්මසිරි ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ 2013 නොවැම්බර් මාසයේ සිට 2016 වසර දක්වා පමණක් අදාල කඩ කාමරයේ කුලිය ලෙස රුපියල් තුන් ලක්ෂ තිස් හතර දහස් හාරසියයක (334400 ) මුදලක් කුලියාපිටිය නගර සභාවට අය විය යුතුව ඇති බවය. ඉතා දිගු කාලයක සිට ගෙවීම පැහැර හැර ඇති මෙම හිග මුදල ගෙවන ලෙසට වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියට ලිඛිතව මෙන්ම පුද්ගලිකවත් දැනුම් දී ඇතත් ඒ පිළිබදව නොසලකා හැරීම හේතුවෙන් මෙවැනි පියවරක් ගැනීමට සිදු වූ බවද හෙතෙම පැවැසීය. නගර සභාවට ලැබිය යුතු මෙවැනි විශාල මුදලක් අයකර නොගැනීම සම්බන්ධයෙන් විගණන කටයුතුවලදී නගර සභාවට ඇති විය හැකි ගැටලූකාරී තත්වයන් පිළිබදව සලකා අකමැත්තෙන් වුවද මෙලෙස කටයුතු කිරීමට සිදු වූ බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ කුලියාපිටිය කලාප කාර්යාලය මුද්‍රා තැබෙන්නේ එම අධිකාරිය අර්බුද ගණනාවකට මුහුණ දී සිටින පසුබිමකවීම විශේෂත්වයකි. වයඹ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් පුද්ගලික බස් රථ සදහා නිකුත් කරන මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍ර හතරක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් එම අධිකාරියේ ධාවන කළමනාකාරවරයා ඇතුලූ අට දෙනෙකුගේ සේවය අත්හිටුවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය ජූනි මස 28 වැනිදා තීරණය කළේය. එමෙන්ම අධිකාරියේ කම්කරුවාගේ සිට සාමාන්‍යාධිකාරිවරයා දක්වා වන සියලු සේවකයින් විසින්, එම අධිකාරියෙන් සේවා ලබාගැනීමට පැමිණෙන බස් හිමියන්ගෙන් පගාව ලබාගැනීමට පසුගිය සමයේදී කටයුතු කර ඇති බව ඇතුලූව එහිදී සිදු වී ඇතැයි කියන දූෂණ සහ අක‍්‍රමිකතා ගණනාවක්ම විෂය භාර අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසින් පසුගිය 15 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී හෙළිකරනු ලැබීය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ කුලියාපිටිය කලාප කාර්යාලය මුද්‍රා තබා ඇති අයුරු.

kuliyapitiya_office_2 kuliyapitiya_office_3 kuliyapitiya_office_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article