Saturday, January 18, 2025

වයඹ දේශපාලනයේ සතියක කරළි , පෙරළි සහ කැරළි – ” වයඹ අඵ යට ගිනි ”

Must read

55310(4)

මහ මැතිවරණය හේතුවෙන් ගිනියම් වී පැවැති වයඹ පළාත සෙමින් සෙමින් සිසිල් වන්නට පටන්ගෙන තිබේ. කවුරුත් අපේක්ෂා කළ පරිදිම ගල උඩ කෙරුණු තියුණු සටනකින් පසුව මහින්ද නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය කුරුණෑගල දිස්ත‍්‍රික්කය ජයගත් අතර පුත්තලම් දිස්ත‍්‍රික්කයේ ජයකොඩි නැංවූයේ එක්සත් ජාතික පක්ෂයයි. කුරුණෑගල මන්ත‍්‍රී ආසන පහළොවෙන් අටක් සන්ධානයටත්, හතක් එජාපයටත් ලැබෙද්දී පුත්තලමේ මන්ත‍්‍රී ආසන අටෙන් පහක් එජාපයටත්, තුනක් සන්ධානයටත් වශයෙන් බෙදී ගියේය.

හෘද සාක්ෂියට කුරුණෑගලින් ඉඩක් නෑ.

මැතිවරණයට පෙර කියැවුණු අනාවැකි, ගණන් තැබීම්, විශ්ලේෂණ සහ උපකල්පන බහුතරයක් බොරුබවට කරවමින් මෙවර මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රී ආසනයක් හිමිනොවීය. ජනතා විමුක්ති පෙරමුණ විසින් මහ මැතිවරණයේදී සිය ප‍්‍රචාරක කටයුතු මෙහෙය වූ උද්යෝගිමත් සහ ආකර්ශණීය විලාසය හේතුවෙන් බොහෝ දෙනෙකු අනාවැකි පළකළේ එම පෙරමුණට එක් මන්ත‍්‍රී ධූරයක් හෝ කුරුණෑගලින් ජයග‍්‍රහණය කිරීමට හැකි වනු ඇති බවටය. නමුත් කුරුණෑගල දිස්ත‍්‍රික්කය දිනාගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර ඇති ව තිබූ කරට කර සටන හේතුවෙන් එම පක්ෂ දෙකෙහිම ඡන්ද ප‍්‍රතිශතයන් නොසිතූ අයුරින් ඉහළ ගිය අතර ඒ නිසාම මෙවර මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ආසනයක් දිනාගැනීම සදහා සදහා අවම වශයෙන් හැටදහස ඉක්ම වූ ඡන්ද ප‍්‍රමාණයක් අවශ්‍ය විය. නමුත් ජනතා විමුක්ති පෙරමුණට කුරුණෑගලින් දිනාගත හැකි වූයේ ඡුන්ද 41077 ක් පමණක් වූ අතර ඒ නිසාම මන්ත‍්‍රී ධූරයක් පෙනෙන නොපෙනන මානයේ තිබියදී ජනතා විමුක්ති පෙරමුණට සිය බලාපොරොත්තු සුන් කර ගන්නට සිදු විය.

ෆොන්සේකාටක් ඉහළින් ගිය හිරියාලේ සංවිධායක.

මහ මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය නැත්තටම නැති වී ගියේය. මීට දෙවසරකට පෙර පැවැති වයඹ පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ පවා සිව්වැනි ස්ථානයට ඇද දමා, මන්ත‍්‍රීධූර තුනක්ද ජයග‍්‍රහණය කරමින් එම මැතිවරණයේ තුන් වැනි බලවේගය බවට පත් වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයයි. එවන් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට මෙවර මැතිවරණයේදී කුරණෑගලින් හිමි වූයේ ඡුන්ද 3119 කි. ඒ සමගම ගිනි සිඵවේ පිහිටෙන් පාර්ලිමේන්තුවට යන පාර සොයාගන්නට මහත් බලාපොරොත්තු තබා සිටි වයඹ පළාත් සභා මන්ත‍්‍රී රංජිත් ගුණසේකරට මෙන්ම හිරියාල සංවිධායක නිශාන්ත බණ්ඩාරටද එම බලාපොරොත්තු සුන් කරගන්නට සිදු විය. මේ දෙදෙනාගෙන් නිශාන්ත බණ්ඩාර වඩාත් සුවිශේෂී වන්නේ ඔහු මෙම මැතිවරණයට තරග කිරීමට සූදානම් වූයේ මීට වසර දෙකකටත් පෙර සිටදී වීම නිසාය. සෞඛ්‍ය හේතූන් මත බව පවසමින් 2013 වයඹ පළාත් සභා මැතිවරණයටත් තරග නොකළ නිශාන්ත බණ්ඩාර එදින සිටම සූදානම් වූයේ මහ මැතිවරණයට තරග කිරීමටය. පසුගිය වසර දෙක තුළදී ඔහු විසින් ආධාර, උපකාර, පරිත්‍යාග, අනුග‍්‍රාහකත්ව ඇතුඵ සමාජ සේවා කටයුතු වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් කෝටි පහකට අධික බව කියැවේ. කෙසේ වෙතත් නිශාන්තගේ දෙවසරක කාලය, ශ‍්‍රමය, මෙන්ම සුවිසල් ධනස්කන්දයක්ද වතුරේ යවමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයද සේදී ගියේය. නිශාන්ත පරාජය වූ නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් තරග වැදුණු අපේක්ෂකයින් අතරින් සමස්ත දිවයිනෙන්ම වැඩිම මනාපලාභියා බවට පත් වී ඇත්තේද නිශාන්තය. ඒ මනාප ඡන්ද තුන්දහස් ගණනක් ලබා ගනිමිනි. එමෙන්ම සමස්ත දිවයිනම සලකා බැලූවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙනුවෙන් ආසනයකින් ලැබුණු වැඩිම ඡන්ද ප‍්‍රමාණය වූ ඡුන්ද 967 ද වාර්තාවූයේ නිශාන්ත සංවිධායකකම දැරූ හිරියාල ආසනයෙනි. මනාප ඡන්ද ප‍්‍රමාණය සහ ආසනයේ ඡුන්ද අනුව නිශාන්ත පක්ෂ නායක සරත් ෆොන්සේකාද ඉක්මවා ගොස් ඇති බව පෙනේ. මන්ද ෆොන්සේකාට කොළඹින් ලැබී ඇත්තේ මනාප ඡන්ද 547ක් පමණක්වීම හේතුවෙනි. කෙසේ වෙතත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායයාම නිශාන්තට දැඩි ලෙස බලපෑම් කර ඇති බවක් දැන් පෙනෙන්නට තිබේ. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වූ දිනට පසුදිනම ඉබ්බාගමුවේ පිහිටි නිශාන්තගේ පක්ෂ කාර්යාලය වසා දැමුවා පමණක් නොව එහි තිබූ කටවුට් සැරසිලි ආදියද ඉවත් කෙරිණි. එමෙන්ම මීට පෙර මහ රෑක පවා ක‍්‍රියාකාරීව තිබූ නිශාන්තගේ සියඵ දුරකථන මේ වන විට ගොඵ වී ගොස් තිබේ. මේ නිහඩවීම් මැද ‘අඵ යට ගිනි’ වෙත ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නේ නිශාන්ත බණ්ඩාර ඉදිරි දින කිහිපයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ආයුබෝවන් කියනු ඇති බවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ආයුබෝවන් කියන නිශාන්ත වෙනත් පක්ෂයකින් සිය දේශපාලනය මුල සිට ඇරඹීමට මේ දිනවල සූදානම් වන අතර ඒ කුමන දේශපාලන පක්ෂයෙන්දැයි ඉදිරි සතිවලදී අඵ යට ගිනි පිටු ඔස්සේ හෙළි කෙරෙනු ඇත.

සමන්ප‍්‍රිය වෙනුවෙන් අතුල උසාවි එයි.

නීතිවිරෝධී මැතිවරණ සංග‍්‍රහයක් පැවැත් වූ බවට සැකපිට වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඡුන්දය කට උඩට ඇවිත් තිබූ පසුගිය 15 වැනිදාය. හිටපු ජනපති මහින්දගේ සහභාගිත්වය ඇතිව සමන්ප‍්‍රිය හේරත්ගේ අස්වැද්දුමේ පිහිටි මහ ගෙදරදී සන්ධාන ආධාරකරුවන්ට දිවා භෝජන සංග‍්‍රහයක් පැවැත් වූ බව සමන්ප‍්‍රියට එරෙහිව නැගුණු චෝදනාව විය. කුලියාපිටිය පොලිසිය විසින් 15 වැනිදා අත්අඩංගුවට ගත් සමන්ප‍්‍රිය එදිනම පස්වරුවේ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කෙරිණි. සමන්ප‍්‍රිය උසාවි ගෙනෙද්දී සමන්ප‍්‍රියට මෙන්ම සන්ධානයට හිතවත් නීතිඥවරුන් ගණනාවක්ම උසාවි භූමියට පැමිණ සිටි අතර එක් සුවිශේෂී පුද්ගලයෙක්ද ඒ අතරේ විය. ඒ හිටපු මහ ඇමැති අතුල විජේසිංහයි. එකම ආසනය නියෝජනය කරමින් දේශපාලනයේ යෙදීම නිසා , දුටු විට සිනාසෙන සහ කතා බහ කරන ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන ගියද අතුල සහ සමන්ප‍්‍රිය අතරේ වැඩි ඇයි හොදයියක් නොවීය. නමුත් අතුල ඒ සියඵ එදිරිවාදිකම් පසෙක තබා සමන්ප‍්‍රිය අමාරුවේ වැටුණු අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටීමට අධිකරණයට පැමිණ සිටියේ කාගේ හෝ බලකිරීමකින් තොරවමය. සමන්ප‍්‍රිය වෙනුවෙන් පෙනී සිටි අතුල ඇතුඵ නීතිඥයින් අධිකරණය හමුවේ තර්ක කළේ සමන්ප‍්‍රියගේ පියා අනුස්මරණය කරමින් පැවැති දානමය පින්කමකට මහින්ද රාජපක්ෂද සහභාගී වූවා මිස එහිදී අයුතු සංග‍්‍රහයක් සිදු නොවූ බවයි. අතුල ඇතුඵ පිරිසගේ උත්සාහය අපතේ යවමින් කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයාගේ මුවින් සමන්ප‍්‍රිය රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි. දවස් නවයක් තිස්සේ රිමාන්ඞ් බතෙහි රස බැලූ සමන්ප‍්‍රිය යළි උසාවි ගෙනාවේ පසුගිය සදුදාය. එදින සමන්ප‍්‍රිය වෙනුවෙන් ඇප නියම කරවා ගැනීමට අතුල ඇතුඵ නීතිඥ පිරිස සමත් වූහ.

වඩිගමංගාව ස්වාධීන තීන්දුව තවත් විගඩමක් වේවිද ?

මින් ඉදිරියට වයඹ පළාත් සභාව තුළ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට පසුගිය අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදී විශේෂ ප‍්‍රකාශයක් කළ මන්ත‍්‍රී අශෝක වඩිගමංගාව විපක්ෂය පැත්තට ගොස් අසුන් ගත්තේය. ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පැවසූ නමුත් විපක්ෂ නායක ජේ. සී . අලවතුවල ඇතුඵ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ගණනාවක් අශෝක වඩිගමංගාව වෙත පැමිණ අතට අත දී සුබ පතන ආකාරයද දක්නට ලැබිණි. වඩිගමංගාවගේ මේ හදිසි ස්වාධීනවීම තුළ මෙතෙක් පළාත් සභාවට අමතකව තිබූ වඩිගමංගාව නම මෙන්ම ඔහුගේ දේශපාලන ඉතිහාසයද යළි සිහිපත් කරවන්නක් විය. හතරවැනි වයඹ පළාත් සභාවේ විපක්ෂනායකවරයා ලෙස කටයුතු කළ අශෝක වඩිගමංගාව එහි අවසන් භාගයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් විය. පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2009 වසරේ පැවැති වයඹ පළාත් සභා මැතිවරණයට තරග කර ජයග‍්‍රහණය ලැබූ වඩිගමංගාව පස් වැනි වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය තනතුරද හොබවනු ලැබීය. පසුව 2013 පැවැති වයඹ පළාත් සභා මැතිවරණයටද සන්ධානයෙන් තරග කළ නමුත් වඩිගමංගාව එම මැතිවරණයේදී මනාප අතින් පල්ලම් බැසීම නිසා හිමි වූයේ මන්ත‍්‍රී තනතුරක් පමණි. ඒ නිසාම වඩිගමංගාව පසුගිය සමයේ පසු වූයේ එතරම් හිත හොදකින් නොවූ අතර ඒ නිසාම පළාත් සභා රැස්වීම්වලට පවා ඔහුගේ සහභාගීත්වය අල්ප විය. වඩිගමංගාව පළාත් සභා රැස්වීම්වලට දිගින් දිගටම සහභාගි නොවීම පිළිබදව ආණ්ඩු පක්ෂයේම මන්ත‍්‍රීවරුන්ගේම ප‍්‍රශ්න කිරීම්වලට පවා ලක් විය. පසුගිය කාලය පුරා එලෙස නිද්‍රාශීලී දේශපාලනයක යෙදී සිටි වඩිගමංගාව හිටි අඩියේ කරළියට එන්නේ පසුගිය ජනාධිපතිවරණය සමයේදීය. ඒ පොදු අපේක්ෂක මෛත‍්‍රීට සහය පළකරන බව පවසමිනි. ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව පවා පළාත් සභාව පැත්තේ වැඩිපුර නොගැවසුණු වඩිගමංගාව පසුගිය මහ මැතිවරණයට තරග කළේ එක්සත් ජාතික පක්ෂයෙනි. එහිදීත් සුපුරුදු ලෙසම ඡන්ද දායකයින් විසින් වඩිගමංගාවට පිටු පා තිබූ අතර මනාප ඡුන්ද 31404 කින් සෑහීමකට පත්වන්නටත්, මනාප ලැයිස්තුවේ 8 වැනි ස්ථානයෙන් සැනසෙන්නටත් වඩිගමංගාවට සිදු විය. ඒ අනුව වඩිගමංගාව පසුගිය අගහරුවාදා පළාත් සභාවට පැමිණියේ කලකට පසුවය. ඔහු හිදගෙන තිබුණේ ආණ්ඩු පක්ෂය පැත්තේ ඔහුට වෙන්කර ඇති ඉදිරිපෙළ අසුනේය. වඩිගමංගාව ඔහුගේ ප‍්‍රකාශය කරගෙන යද්දී සියඵ දෙනාම සිතුවේ ඔහු එජාපයඑක්වීමට යන බවකි. නමුත් වඩිගමංගාව ප‍්‍රකාශ කළේ ඔහු ඉදිරියට ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවකි. ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු යනු ආණ්ඩු පක්ෂයටත් නැති, විපක්ෂයටත් නැති තනි මතයක් දරන්නෙකු බැවින් කලකදී සන්ධානයටත්, කලකදී එජාපයටත් මාරුවෙමින් ආ වඩිගමංගාව ආණ්ඩු බලය එජාපය සතුව පවතින මේ වෙලාවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු බවට පත්වෙමින් මොන විගඩමක් නැටීමට යනවාදැයි දැන් මුඵ වයඹම බලා සිටිති.

සනත් නිශාන්තට මාධ්‍ය අමතක වෙයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණය හේතුවෙන් අක‍්‍රිය වී තිබූ වයඹ පළාත් සභාවට යළි පණ ලැබුණේ පසුගිය අගහරුවාදාය. වයඹ පළාත් සභාව නියෝජනය කරන මැති ඇමැතිවරුන් ගණනාවක්ම පාර්ලිමේන්තු මැතිවරණයට තරගකිරීමේ අපේක්ෂාවෙන් පසුවීම හේතුවෙන් සභා රැස්වීම් ගණනාවක් අවලංගු කර , මාස එකහමාරක කාලයක් සදහා නිවාඩු අනුමත කරන යෝජනාවක් සභා කටයුතු කාරක සභාවේදි සම්මත කරවා ගත් බව ජූලි මස 07 වැනි දින පැවැති පළාත් සභා රැස්වීමේදී නිවේදනය කෙරිණි. ඒ අනුව වයඹ පළාත් සභාව පසුගිය අගහරුවාදා රැස්වූයේ මාස එක හමාරක අමතර නිවාඩු කාලයකින් පසුව වන අතර මහ මැතිවරණයට තරගවැදීම සදහා මන්ත‍්‍රීවරුන් විසින් නිවාඩු අනුමත කරවාගත් දිවයිනේ එකම පළාත් සභාව වන්නේද වයඹ පළාත් සභාවයි. වයඹ පළාත් සභාව යළි රැස්වන විට එහි මැති ඇමැතිවරුන් හත්දෙනෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස තේරී පත් වී සිටීම විශේෂත්වයකි. වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධූරය, කෘෂිකර්ම අමාත්‍ය ධූරය , විපක්ෂනායක ධූරය , විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකධූරය ඇතුඵ මන්ත‍්‍රී ධුර හතක් මේ වන විට පුරප්පාඩු වී පවතින අතර අගහරුවාදා පැවැත්වෙන පළාත් සභාවේදී ඒ කිසිදු තනතුරක් වෙනුවෙන් නව පත්කිරීම් සිදුනොකිරීමට කල් ඇතිවම තීන්දු වී තිබිණි. අඵත් පත්කිරීම් නැතත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස තේරී පත් වී සිටින වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන් පස්දෙනෙකු අගහරුවාදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමට සහභාගී වී සිටියහ. වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා, විපක්ෂනායක ජේ. සී . අලවතුවල , විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක හෙක්ටර් අප්පුහාමි , වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන තුෂාර ඉදුනිල් සහ අශෝක ප‍්‍රියන්ත පළාත් සභාවට ආයුබෝවන් කියා යන්නට එලෙස පැමිණ සිටි අය වූහ. පළාත් සභා රැස්වීමේ අමාත්‍යවරුන්ගේ ප‍්‍රකාශ සහ මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් අවස්ථාවේදී කතා කළ මේ අනාගත ‘පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ’ තමන් පළාත් සභාවේ කටයුතු කළ කාලය තුළ දැක් වූ සහයෝගය පිළිබදව පළාත් සභාවේ සභාපතිවරයාට, මන්ත‍්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ටද සිය අදහස් දැක්වීම්වලදී ස්තූතිය පළකළහ. අන් සෑම මන්ත‍්‍රීවරයෙක්ම විශේෂයෙන් මාධ්‍ය ගැන සිහිපත් කරමින් කතා කළ නමුත් මාධ්‍යයෙන් උපරිම සහයෝගයක් ලැබූ ඇමැතිවරයෙකු වන සනත් නිශාන්තට මාධ්‍යවේදීන් අමතක වී තිබූ අතර ඔහුගේ කතාවේදී මාධ්‍යයෙන් ලැබුණු සහය පිළිබදව එක් වචනයක් හෝ නොකියැවිණි.

මහඇමැතිට අදින්නේ කවුද ?

මහ ඇමැති දයාසිරි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරීපත්වීම නිසා අපේක්ෂා කළ පරිදිම මේ වන විට පළාත් සභාව තුළ මහ ඇමැති පොරයක් නිර්මාණය වී තිබේ. මේ පොරයෙහි වැඩියෙන්ම කියැවෙන නම් අතර සභාපති ධර්මසිරි දසානායක, සන්ධ්‍ය රාජපක්ෂ, හිටපු මහ ඇමැති අතුල විජේසිංහ සහ මන්ත‍්‍රී ලක්ෂ්මන් වේඩරුවගේද නම් ඉදිරියෙන්ම තිබේ. මුලින් මුලින් ඞී. බී. හේරත්ගේ නමද මහඇමැතිකම සම්බන්ධයෙන් කියැවුණු නමුත් වාරියපොළ ආසන සංවිධායකකම නොලැබුණු ඩී. බී. ට වයඹ මහ ඇමැතිකම ලැබේවිදැයි බොහෝදෙනෙකු සැක පහළ කළහ. ඒ හේතුවෙන්දෝ ඩී. බී.ගේ නම මහඇමැති තරගයේදී මේ වන විට කියැවෙමින් තිබෙන්නේ අඩුවෙනි. මහඇමැතිකම දිනාගැනීම වෙනුවෙන් සභාපති ධර්මසිරි දසනායක සටනට පිවිස සිටින්නේ තමන්ට මහඇමැතිකම ලබාදිමට ආණ්ඩු පක්ෂයේ සියඵ මන්ත‍්‍රීවරුන් එකග බවට අත්සන් තබා සහතික කළ ලියැවිල්ලක්ද අතැතිවය. ධර්මසිරි විසින් එහි පිටපත් ජනාධිපතිවරයා ඇතුඵ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නිල බලධාරීන් වෙත යවමින් මහඇමැතිකම තමන්ට දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ධර්මසිරිගේ ලියැවිල්ලට අත්සන් තැබූ ආණ්ඩු පක්ෂයේ අතැම් මන්ත‍්‍රීවරුන් දැන් කියමින් සිටින්නේ අදාළ ලියැවිල්ලට අත්සන් ලබා ගත්තේ මැතිවරණයට පෙරදී බවත් දැන් තත්වය වෙනස් වී ඇති බවත්ය. එමෙන්ම ධර්මසිරිගේ මූණට බෑ කියන්නට බැරිකමට අදාළ ලියැවිල්ලට අත්සන් කළා විනා ධර්මසිරිට මහඇමැතිකම ලබාදීමේ උවමනාවක් තමන්ට නැති බව කියන මන්ත‍්‍රීවරුන්ද මේ අතර වෙති.
එමෙන්ම අතුල විජේසිංහ සටනට බැස සිටින්නේ සිය සුපුරුදු තනතුර යළි ලබාගැනීම වෙනුවෙනි. අතුලද පසුගිය සමය පුරාම අනුගමනය කරමින් සිටියේ මහින්ද පිළත් නොවන මෛත‍්‍රී පිළත් නොවන මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියකි. එමෙන්ම මහඇමැතිකම වෙනුවෙන් සටන්වැදී සිටින අයගෙන් 2013 මැතිවරණයේ මනාප ලැයිස්තුව අනුව ඉහළින්ම සිටින පුද්ගලයා වන්නේද අතුල විජේසිංහයි. මන්ත‍්‍රී ලක්ෂ්මන් වේඩරුව මහඇමැතිකම ඉල්ලා සිටින්නේ තම ජ්‍යෙෂ්ඨත්වය සහ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රී වෙනුවෙන් සහය දක්වන්නට ඉදිරිපත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වයඹ පළාත් සභාවේ එකම පළාත් සභා මන්ත‍්‍රීවරයා තමන් බව පවසමිනි. සන්ධ්‍යා රාජපක්ෂ මහ ඇමැති සටනට බැස ඇත්තේ ‘මහඇමැතිකම පුත්තලමට’ ලබාගැනීමේ සටන් පාඨය පෙරට දමමිනි.
කෙසේ වෙතත් වයඹ මහඇමැති පොරය හේතුවෙන් වඩාත්ම ජනාකීර්ණ ස්ථානයන් බවට පත් වී ඇත්තේ හොරගොල්ල වලව්ව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොළඹ, විජේරාම මාවතේ පිහිටි ජනපති නිල නිවසයි. මහඇමැතිකම ඉල්ලාගෙන මේ තැන්වලට යන එන පිරිස් මෙන්ම ඒ ඒ අයට මහඇමැතිකම ලබාදෙන්නැයි කියමින් මේ තැන්වලට යන එන කපුරාළලාගෙන්, සාම දූතයින්ගෙන් සහ අතරමැදියන්ගෙන් නම් මේ දිනවල අඩුවක් නැති. මේ ස්ථාන වලිනුත් වඩාත්ම ජනාකීර්ණ වී ඇත්තේ හොරගොල්ල වලව්ව වන අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකා හමුවීමට පැය ගණන් රස්තියාදු වූ මහ ඇමැති අපේක්ෂකයින් මෙන්ම හොරගොල්ලට ගොස් හිස් අතින්ම ආපසු හැරී ආ අපේක්ෂකයින්ද මහ ඇමැති සටනේ සිටිති. කෙසේ වෙතත් මේ සතිය තුළදී නම් වයඹට මහ ඇමැතිවරයෙක් පත්වන බවක් පෙනෙන්ට නැති නමුත් එළැඹෙන සතියේදි නම් නිසැකවම මහ ඇමැති පොරයට තිත වැටෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

විපක්ෂනායකකමටත් සටනක්.

වයඹ පළාත් සභාවේ විපක්ෂනායක ජේ. සී. අලවතුවල පාර්ලිමේන්තුවට තේරීපත්වීම තුළ හිස් වන තනතුර වෙනුවෙන් විපක්ෂය පැත්තෙන්ද මේ වන විට සටනක් දියත් වී තිබේ. විපක්ෂනායක තනතුර දෙසට විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ගණනාවක් බැලූම් හෙළාගෙන සිටින නමුත් ඒ වෙනුවෙන් එළිපිටම සටන් වදිමින් සිටින්නේ ශමල් සෙනරත් සහ මංජුල බණ්ඩාරය. 2013 පළාත් සභා මැතිවරණයේ මනාප ලැයිස්තුව අනුව මීළගට සිටින මංජුල බණ්ඩාර තව නොබෝ දිනකින් වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිත අතර ඒ සමගම විපක්ෂනායක තනතුරද තමන් වෙත ලැබේවියැයි මංජුල බලාපොරොත්තු සහගතව සිටී. එස්. බී. නාවින්නගේ එජාප ගමන වෙනුවෙන් සුවිසල්ම කැපකිරීම කරනු ලැබුවේද මංජුල විසිනි. ඒ ඔහුගේ අපේක්ෂකත්වය පමණක් නොව ආසන සංවිධායකකමද නාවින්නට පරිත්‍යාග කරමිනි. එපමණක් නොව නාවින්නගේ ජයග‍්‍රහණය වෙනුවෙන් හැකි සෑම ආකාරයකින්ම අවංකවම සහයෝගය ලබාදෙන්නට පසුගිය මැතිවරණ ව්‍යාපාරය පුරාම මංජුල විසින් ක‍්‍රියාකළේය. එබැවින් මංජුල හිතවාදීන් කියන්නේ එවැනි සුවිසල් කැපකිරීමක් කළ මංජුල වෙනුවෙන් විපක්ෂනායකකම ලැබිය යුතු බවකි. නාවින්නගේ පිල්මාරුව අවස්ථාවේදී එජාප ජ්‍යෙෂ්ඨයින්ගෙන් මංජුල වෙත ලැබී ඇති ‘සාධාරණය ඉටුකරන බවට’ වූ සහතිකයක්ද මංජුලගේ පාර්ශ්වයේ බලාපොරොත්තු ඉහළ නංවන්නට හේතු වී ඇති බව කියැවෙයි.
කෙසේවෙතත් ශමල් සෙනරත්ද සටනට බැස ඇත්තේ සිය සුපුරුදු තනතුර යළි දිනාගැනීම වෙනුවෙනි. පසුගිය පළාත් සභාවේ විපක්ෂනායක තනතුර හොබවන ලැබුවේ ශමල් විසින් වන අතර ශමල්ට එම තනතුර අහිමි වී ගියේ 2013 මැතිවරණයේදී අලවතුවල විසින් මනාප ලැයිස්තුවේ මුල් තැන දිනාගැනීම නිසාවෙනි. ඒ නිසා ශමල්ද සිය පළපුරුද්ද සහ සම්බන්ධකම් ඔස්සේ විපක්ෂනායක තනතුර යළි දිනාගැනීම සදහා මහත් වෑයමක යෙදී සිටී.

සුමල්ටත් ඇමැතිකමක්.

වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යධූරය හැරුණු විට තවත් ඇමැතිකමක් මේ වන විට පුරප්පාඩු වී පවතී. ඒ සනත් නිශාන්ත විසින් දැරූ කෘෂිකර්ම අමාත්‍යධූරයයි. මහඇමැති පොරය නිසා මේ ඇමැතිකම පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය ගිලිහී ගොස් තිබූ අතර අදාළ ඇමැති තනතුර වයඹ පළාත් සභාවේ සභානායක ධූරය දරමින් සිටින සුමල් තිසේරා වෙත පිරිනැමෙනු ඇතැයි ආරංචි මාර්ග කියයි. 2103 වයඹ පළාත් සභා මැතිවරණයේ පුත්තලම් දිස්ත‍්‍රික් සන්ධාන මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි වූයේ සුමල්ට වන අතර පළාත් සභාව ආරම්භයේදී ඇමැතිකම් පිරිනැමීමේදී සුමල්ගේ නමද ඇමැතිකමකට යෝජනා වී තිබිණි. නමුත් සුමල්ට පරහට හිටියේ සුමල් මෙන්ම සනත් නිශාන්තද කතෝලික බැතිමතුන් වීමය. පුත්තලම් දිස්ත‍්‍රික්කයේ ඇමැතිකම් දෙක කතෝලික සහ බෞද්ධ දෙදෙනෙකු අතර බෙදී යාමේ සම්ප‍්‍රදායක් අතීතයේ සිටම අනුගමනය කෙරී ඇති නිසා අතට ආ ඇමැතිකම සන්ධ්‍ය රාජපක්ෂට ලබාදී අත පිහදාගන්නට එදා සුමල්ට සිදු විය. නමුත් සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු ගමනත් සමග සුමල්ට අහිමි වී ගිය අවස්ථාව මෙදා ලැබීමට නියමිතව තිබේ.

55310(5)

උපුටාගැනීම – මව්බිම පුවත්පත

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article