ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් ආවේගයට පත් ජනතාව විසින් ‘ පොලිස්කාරයින්ගේ බලු වැඩ ! ‘ යැයි කියමින් ප්‍රසිද්ධ සමාජයේදී පවා පොලිසිය දෝෂ දර්ශණයට ලක් කළ අවස්ථා ගණනාවක් පිළිබදව පසුගිය සමයේදී අසන්නට දකින්නට ලැබිණි.
ලාංකීය ජන සමාජය තුළ බලු වැඩ යන කියමන යෙදෙන්නේ එතරම් හොද අදහසකින් නොවන නමුත් මිනිසාගේ හොදම මිතුරා ලෙසින් හැදින්වෙන සුනඛ රැළක් සමග සමීප මිතුරුකමක් පවත්වාගෙන යමින්, උන්ගේ කුසගිනි නිවාදැමීම වැනි සැබෑ ‘බලු වැඩ’ රැසක ස්වේච්ඡාවෙන්ම යෙදී සිටින අපූරැ පොලිස් නිලධාරියෙකු පසුගිය දිනෙක අපට මුණගැසුණේ වනාතවිල්ලුව පොලිස් ස්ථානයෙදීය.
බලු මිතුරන් කැළක් සමග අපූරු මිත්‍රත්වයක් පවත්වාගෙන යන මේ අපූරු නිලධාරියා වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්තව රාජකාරියේ යෙදෙන පොලිස් කොස්තාපල් පැතුම් (60689) මහතාය.
කිසිවෙකුගේ හව්හරණක් නැති මේ අසරණ සුනඛයින් වෙනුවෙන් තමන් ආහාරයට ගන්නා බත්පතින් කොටසක් පවා වෙන්කරදීමට තරම් මෙම පොලිස් නිලධාරියා කාරැණික වෙයි. එමෙන්ම ඔහුගේ කුසට වැටෙන බනිස් ගෙඩියක්, බිස්කට්ටුවක් හෝ වඩයක් වේවා ඉන් කොටසක් නොවැරදීම සේ සුරතලුන්ටද හිමි වෙයි.
තම ස්වාමියා මාර්ග රාජකාරී නිම කර පොලිසිය වෙත පැමිණෙන තෙක් ඇස්දල්වාගෙන බලා සිටින මේ සුනඛ සුරතලුන් පැතුම් මහතා ගේට්ටුවෙන් ඇතුල්වනවාත් සමගම ඔහුගේ දෙකකුල්වල දැවටී , ගරු බුහුමන් දක්වමින් ඔහු පිළිගන්නා අකාරය දෑසට කදුඵ ඉනවීමට සමත්ය.
මෙම තිරිසන් සතුන් විසිනු කාකි නිල ඇදුමක් දරා සිටින මෙම නිලධාරියා වෙත මෙතරම් ලෙන්ගතුකමක් දක්වමින් මිනිස් සමාජය වෙත කියාපාන්නේ හිත් පිත් ඇති උතුම් පොලිස් නිලධාරීන් පොලිස් සේවය තුළ තවමත් රැදීසිටින බව නොවේද ?
වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන/තිලක්ෂි කෞෂල්‍යා