Monday, November 25, 2024

වචනයක්වත් අඩු නැති ජනපති මෛත්‍රීගේ සම්පුර්ණ පැයක කතාව මෙන්න !

Must read

සුබ සන්ධ්‍යාවක් වේවා සියඵ දෙනාටම. ජනමාධ්‍යවේදී හිතවත් මහත්ම මහත්මියනි, ඒ වගේම ජනමාධ්‍ය ආයතන නියෝජිතයින් ඒ පැමිණි සියඵ දෙනාමට මම ස්තූතිවන්ත වෙනවා, මා ඔබට ලබා දුන් පණිවිඩය අනුව අද මෙහි පැමිණීම පිළිබදව. ඒ වගේම පැමිණි සියඵ දෙනාම ඉතාම ‍‍ගෞරවයෙන් පිළිගන්නවා. මගේ මතකයේ හැටියට ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 21 වෙනිදා මේ වගේ ප්‍රවෘත්ති හමුවක හමුවීමෙන් පස්සේ තමයි අද මේ විදිහට ඔබ හමු වන්නේ.

විශේෂයෙන් වර්තමාන දේශපාලන තත්වය පිලිබද පැහැදිලි කිරීමක් කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ.වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව කථා කරන විට මම කාගේත් අවධානය යොමු කරනවා , පසුගිය ජනවාරි මාසේ අටවෙනිදා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට ප‍්‍රධාන වශයෙන්ම ජනතාවට ඉදිරිපත් කරන ලද මැතිවරණ ප‍්‍රකාශනයේ කරුණු පිළිබද අපි අවධානය යොමු කළයුතුයි කියන කාරණාව.

ජනවාරි අටවැනිදා මේ රටේ සිදුවූ පරිවර්තනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය ,සාමාන්‍යයෙන් එවැනි පරිවර්තනයක් ඉතාම කෙටි කාලයකින් , ඒ කියන්නේ මම ආණ්ඩුවෙන් එළියට බැහැලා නොවැම්බර් 21 ජනවාරි අටවෙනිදා වන විට දවස් 42 ක් වැනි කාලයක්. දවස් 42 ක් වැනි කාලයකදි තමයි අපිට රටේ අනාගතය සදහා ප‍්‍රජාන්ත‍්‍රවාදය, නිදහස, මුලික අයිතිවාසිකම්, මානව හිමිකම්, නිදහස් මාධ්‍ය මේ සියල්ල පෝෂණය කිරීම සදහා අලුත් ආණ්ඩුවක් හදන්න පුඵවන්කම ලැබුණේ.

එහිදි මම ඉදිරිපත් කරපු මැතිවරණ ප‍්‍රකාශණය , විශේෂයෙන්ම මෛතී‍්‍ර පාලනයක් පිළිබද මම සිහිපත් කරන්නට ඕනෑ. ( මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රදර්ශණය කරයි )මේ ප‍්‍රකාශනය බොහොම වැදගත් ප‍්‍රකාශනයක් ලෙස අපේ රටේ මහජනතාවට ඉදිරිපත් කළා. මේ ප‍්‍රකාශනයේ තිබෙන කරුණු වගේම එදා පොදු අපේක්ෂකයා විදිහට මාව තෝරා ගැනිමට මූලික වූ පසුබිමක් තිබුණා.

අවුරුදු 49 ක මගේ දේශපාලන ජීවිතයේ අත්දැකීම් සමග පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක්, ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරලා ඒ කාලය තුළ මේ රටේ පොදු මහ ජනතාව තුළ මම විශ්වාස කරනවා මා පිළිබද පුද්ගලිකව පිළිගැනීමක් තිබුණා. මම දූෂිතයෙක් නොවෙයි , ඒ වගේම පැහැදිලි ලෙසම නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන කෙනෙක්,වගේම තමන්ට ලැබෙන බලය වැරදි ලෙස පාවිච්චි නොකරපු කෙනෙක් , ඒ නිසා මොහු මේ තනතුරට හොදයි කියන අදහසක් ජනතාව ඇති වුණා කියලා මම විශ්වාස කරනවා. මගේ චරිතයත්, මගේ පෞර්ෂත්වයත්, මගේ දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමග රට තුළ ගොඩනගාගෙන තිබුණු ප‍්‍රතිරූපයත් කෙරෙහි ජනතාවගේ තිබු විශ්වාසය සහ බලාපොරොත්තු. ඒ වගේම ඒ විශ්වාසය සහ බලාපොරොත්තු සමග ප‍්‍රධාන වශයෙන්ම මැතිවරණයට මම ඉදිරිපත් වෙලා පොදු අපේක්ෂකයා විදිහට තෝරා ගන්න අවස්ථාව වන විට මම ඒ කාලයෙත් කිව්වා, මැතිවරණ ව්‍යාපාරය තුළත් , නොවැම්බර් 21 ආණ්ඩුවෙන් එළියට බහින්න කලින් එක දවසක්වත් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව හම්බවෙලා තිබුණේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය එක දවසක් හම්බවුණා, ඊට දවස් දෙකකට කලින්. පැයකට අඩු කාලයක් සාකච්ඡා කළේ.

ඒ වගේම අපි මැතිවරණ ප‍්‍රකාශනයත් එක්ක සංවිධාන, දේශපාලන පක්ෂ, කණ්ඩායම් 49 ක් අත්සන් කෙරුවා. ඒ හතළිස් නවයේ වැඩ කරපු අය විශේෂයෙන්ම වැඩි පිරිසක් මම පෞද්ගලිකව දැනගෙන හිටියෙත් නැහැ. එතකොට මැතිවරණ ප‍්‍රකාශනය හැදුවෙත්, මැතිවරණ ව්‍යාපාරය සකස් කළෙත් , ඒ අත්සන් කරපු සංවිධානවල නියෝජිතයින් ප‍්‍රමුඛව ප‍්‍රධාන පිරිස් තමයි. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, ඒ වගේම මුස්ලිම් කොංග‍්‍රසය, මුස්ලිම් ජාතික පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය ගිවිසුමක් නැතුව, ජනතා විමුක්ති පෙරමුණ ගිවිසුමක් නැතුව, ඒ විදිහට විශාල සහයෝගයක් ලැබුණා. ඒ ලැබිච්ච සහයෝගය තුළ අපට ජයග‍්‍රහණය ලබාගන්න පුඵවන්කම ලැබුණා. ඒ ජයග‍්‍රහණය ලැබිලා, ඒත් එක්කම ජනවාරි නවවෙනිදා සන්ධ්‍යාවේ මේ වගේ වෙලාවක ජනාධිපතිවරයා විදිහට දිවුරුම් දීලා මැතිවරණ ප‍්‍රකාශනයේ තිබුණු කරුණු සහ මම ඇති කරගත් එකගතාවයන් කි‍්‍රයාත්ම කිරීමේ වගකීම මා වෙත පැවරුණා.මම ජනාධිපති ධූරයේ දිවුරුම් දීලා ඉතාම සුඵ මොහොතකින් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව අගමැති විදිහට පත් කළා.

මම ජනවාරි 08 ට කළින් අත්සන් කරලා තිබුණ එකගතාවයන් දෙකක් තිබුණා. ඒ දෙකින් එකක් තමයි මේ මැතිවරණ ප‍්‍රකාශනයට අදාළ කරුණු සම්බන්ධයෙන් අර පක්ෂ සංවිධාන කණ්ඩායම් එකතුව 49 ක් අපි අත්සන් කරපු ප‍්‍රකාශනය එකක්. ඊළගට අත්සන් කරලා තිබුණ එකම දේ තමයි මම ජනාධිපති ධූරයට පත්වෙලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති ධූරයට පත්කරනවා කියන එක. ඒ අනුව මම දිවුරුම්දීලා බොහොම පොඩි වෙලාවකින් මම රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව අගමැති ධූරයට පත් කළා. දැන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති ධූරයට පත් කරනකොට පාර්ලිමේන්තුවේ තත්ත්වය කුමක්ද ? පාර්ලිමේන්තුවේ ඔබ කවුරුත් දන්නවා 225 යි මන්ති‍්‍ර සංඛ්‍යාව. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව අගමැති කරනකොට එක්සත් ජාතික පක්ෂයේ මන්ති‍්‍රන් සංඛ්‍යාව කොච්චරද ? 47 යි. 225 ක් ඉන්න පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරු 47 දෙනෙක් ඉන්න පක්ෂයේ නායකයා මම අගමැති විදිහට පත් කෙරුවා.

දැන් අද පවතින දේශපාලන වාතාවරණය තුළ මට ඇතැම් අය, මාව බලයට පත් කරපු අය, මාගේ හිතවතුන් ,බොහොම දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කරනවා , චෝදනා පත‍්‍ර දෙනවා මම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය භාරගත් එක වැරදියි, ඒක භාරගන්නේ නැතිව ඉන්නයි තිබුණේ කියලා හිටන්. දැන් පාර්ලිමේන්තුවේ 225 න් 47 ක් තියෙන පක්ෂයේ නායකයා අගමැති කරලා ඒ එක්කම මේ අත්සන් කරපු එකගතාවය තුළ මගේ නම් කැමැත්ත තිබුණේ මේ අත්සන් කිරීමට පෙර , ජනවාරි 09 වෙනිදා දිවුරුම් දීලා 10 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන්නයි මගේ බලාපොරොත්තුව තිබුණේ. විසුරුවලා ඡන්දෙකට යන්න. ඒක තමයි පහසුම දේ විදිහට මම දැක්කේ. නමුත් මේ ප‍්‍රකාශනය හදපු , මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කරපු ඒ සියල් ඒකාබද්ධ සංවිධානවල එකගතාවය සහ තීන්දුව පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව දින සියයේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන්න. මේ දින සියයේ වැඩපිළිවෙල කියන එක ඔබ දන්නවා ,එහි කාර්ය භාර්ය එසේ මෙසේ දෙයක් නෙවේ තිබුණේ.ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න.මම ජනතාවට දුන් පොරොන්දුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෝ එහෙම නැත්නම් බලතල අඩු කරලා පාර්ලිමේන්තුවට දෙන්න. ස්වාධින කොමිසන් සභාවලට දෙන්න. අනිත් ආයතනවලට දෙන්න . ඇමති මණ්ඩලයට දෙන්න.

දැන් මම අහන ප‍්‍රශ්ණය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගත්ත එක මම කරපු බරපතල වැරුද්දක් කියලා චෝදනා කරන මගේ මිත‍්‍රයින්ගෙන් , මේ 47 දෙනෙක් ඉන්න පක්ෂයේ නායකයා අගමැති කරලා , කියනවා මට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න .19 වැනි සංශෝධනය. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෝ බලතල සම්පූර්ණයෙන් කප්පාදු කිරීම. මම මේ තනතුරට එන්න කළින් අත් දෙකම උස්සගෙන ආවේ තනතුර අහෝසි කිරීම හෝ බලතල කප්පාදු කිරීම ඕන එකකට මම එකගයි. මම එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. ඒක තමයි මගේ ප‍්‍රතිපත්තිය.මේ රටේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා. රටේ පොදු මහජනතාව වෙනුවෙන්. එතකොට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය මම භාරගත්තේ ජනවාරි 16. ඒකත් මම බලෙන් භාරගත්තේ නැහැ. මම ඉල්ලූවෙත් නැහැ. මට ආරාධනා කළා භාරගන්න කියලා , ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රාශියක්. ඒගොල්ලෝ කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා හමුවෙමු කියලා. තමුන්නාන්සේලා දන්නවා කථානායකතුමාගේ නිල නිවසේ හමුවුණා. විනාඩි 10, 15 ක සාකච්ඡාවක්.පක්ෂය භාරගන්න කිව්වා. මම කිව්වා කැමතියි කියලා. පහුවදා මධ්‍යම කාරක සභාව, විධායක සභාව රැස් වුණා.මට භාරදුන්නා.පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට. එතකොට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා එක්සත්ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා. ඒ නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙන , මන්ති‍්‍රවරුන් 142 ක් පමණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙත් මම නායකයා වුණා. සභාපති වුණා.

ඒ නිසා මේ දින සියයේ සාර්ථකත්වය ගන්න පුඵවන් වුණා. 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න පුඵවන් වුණා. ඒ විතරක්ද ? අද එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව ආණ්ඩුවේ සියලූදෙනා කථා කරන ජනතාවට දුන් සහන, රජයේ සේවකයින්ට පඩි වැඩිකරපුවා, තෙල් මිල, ගෑස් මිල, බඩු මිල අඩුකරපුවා .ඒ සියල්ල කරන්න පුඵවන්කම ලැබුණේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ සභාපතිධූරය මම භාර අරගෙන මේ මැතිවරණ ප‍්‍රකාශනයේ තිබෙන කරුණු ඉෂ්ට කරන්න සන්ධානය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මම මෙහයවපු නිසයි.

මම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති නොවි මහින්ද රාජපක්ෂ මහත්මයා සභාපති විදිහට හිටියනම් 19 වන සංශෝධනය සම්මත කරන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. පාර්ලිමේන්තුවේ රවී කරුණානායක මුදල් ඇමතිවරයාගේ අය වැය යෝජනා පාස් කළේ ඒකඡන්දයෙන්. ඒකමතිකව. මහින්ද රාජපක්ෂ මහත්තයා සභාපතිකමේ හිටියා නම් මේ ජනතාවට සහන ලබා දුන් බඩු මිල අඩු කිරීම්, තෙල් ගෑස් මිල අඩු කිරීම්, පඩි වැඩි කිරීම් මේ කිසි දෙයක් කරන්න, ඒ අය වැය යෝජනා සම්මත කරන්න දෙන්නේ නැහැ.

එතකොට මේ දින 100 සාර්ථකත්ව අද කථා කරන , මේක එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව මගේ ජයග‍්‍රහණය වැඩ කරපු සංවිධාන සහ පක්ෂ 49 ක් මේ වැඩපිළිවෙල නිර්මාණය කළා වගේම ඒ නිර්මාණය කළ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීමේදී එහි මුඵ ගෞරවය පාර්ලිමේන්තුවේ ඊට සහයෝගය දුන්න, අත උස්සපු සියලු දෙනාට දෙනවා. 19 වැනි සංශෝධනයට 225 න් 215 ක් පක්ෂව ඡන්දය පාවිච්චි කළා. මම කියපු දේවල් නොකරන කෙනෙක් නම් , ඒ වගේම දැන් සමහර අය මේ දවස්වලට කියනවනේ මට දුෂ්ටයා, ද්‍රෝහියා, පාවා දෙන්නා . ( සිනාසෙමින්) මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මල් පිපිලා. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෝරේ ගලා යනවා ලංකාවේ ජනවාරි අටෙන් පස්සේ. මේ රටේ විධායක ජනාධිපති ධූරය 78 හදපු දවසේ ඉදලා ජනවාරි අට වැනිදා දක්වා මේ රට පාලනය කරපු රාජ්‍ය නායකයින්,ජනාධිපතිවරු ඒ කිසිකෙනෙකුට මේ සුමානයේ , දෙකේ මට ගහන ගැහිල්ල ගහලා නැහැ. ද්‍රෝහියා, දුෂ්ටයා, පාවා දෙන්නා .ඒ එක් එක් යුගවල මාධ්‍යවේදින්ට සිද්ද වෙච්ච දේවල් ,මාධ්‍ය හිර කරපු හැටි, නිදහස් මාධ්‍ය වළලපු හැටි එක් එක් කාලවල, එක් එක් යුගවල මම ඒවා කියන්න කාලය ගන්නේ නැහැ. ඔබ වගේම මේ රටේ විශේෂයෙන්ම විධායක ජනාධිපති ධූරය ආපු දවසේ ඉදලා මේ රටේ වුණ දේවල් දන්න සියලූදෙනා ඒ ගැන දන්නවා.

සමහර වෙලාවට මට හිතෙනවා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා 56 පොදු ජන ආණ්ඩුව පිහිටුවලා , රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරලා කම්කරු අයිතිවාසිකම් දීලා , නිදහස්දීලා, ප‍්‍රගතිශීලි අණපනත් සම්මත කරලා මහ පරිවර්තනයක් රටේ කරනකොට බණ්ඩාරනායක මැතිතුමා අවුරුදු තුන හමාරයි ආණ්ඩුව කෙරුවේ. වැඩ වර්ජන 459 යි. බණ්ඩාරනායක මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයත් කැබිනට් එක වර්ජනය කෙරුවා. ඇමති මණ්ඩල රැස්වීම වර්ජනය කෙරුවා. වැඩ වර්ජන එක දිගට යනකොට ඊට කළින් හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමා කිව්වා මම බැදපු බල්ලෝ බණ්ඩා ලෙහලා දැම්මයි කියලා. දැන් බණ්ඩාට හපා කනවයි කියලා කිව්ව.

ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව කරපු පරිවර්තනයට නායකත්වය දුන්න, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැහැදිළි ලෙස ස්ථාපිත කරපු , ඒ සදහා වගකීම අරගෙන කටයුතු කරපු මට මේ ඇතැම් මාධ්‍ය ආයතන සහ ඇතැම් දේශපාලන විවේචකයෝ, විචාරකයෝ මේ අත තද කරල ලියනකොට ද්‍රෝහියා, දුෂ්ටයා, පාවා දෙන්නා කියලා හිටන් ,මම ඒගොල්ලන්ට කියනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රස හොදට භුක්ති විදින්න. ජනවාරි අටවැනිදා කරපු පරිවර්තනයෙන් මේ රටට නිර්මාණය වෙච්ච ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය විනාශ කරන්න එපා. මාස හයක් ඇතුළත මේ වචන පාවිච්චි කරනවනම් , මම දන්නවා ජනවාරි අටට කළින් අද ඔය මට පාවිච්චි කරන වචන පාවිච්චි කරලා තිබුණානම් එහෙම, මේ මට ගහන ගැහිලිවලින් සියයෙන් එකක් ගැහුවානම්, ඒ ගහන අයට වෙන්නේ මොනවද කියලා වෙච්චි දේවල් එක්ක මේ රටේ ජනතාව තමුන්නාන්සේලා හැම කෙනෙක්ම දන්නවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. රාජාණ්ඩුවක්නේ තිබුණේ. තමුන්නාන්සේලාගේ මාධ්‍ය ආයතනවලට කොහොමද උපදෙස් දීලා තිබුණේ ජනවාරි අටට කළින්. ඇමතිවරුන්ට ගහන්න ඕන තරම්. හැබැයි රාජපක්ෂ පවුලේ කාටවත් ගහන්න එපා. ඉතින් මේ මාස හය තුළ මේ රටේ ඝාතන නැහැ.මේ රටේ ලේ වැගිරීම් නැහැ, මේ රටේ මහ කෝළාහල නැහැ,මේ රටේ මේ සාමකාමී, නිදහස්. ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි.

ඉතින් මේ දේශපාලන කළමණාකරනය පාර්ලිමේන්තුවේ 225 ක් ඉන්න තැන 47 කින් අගමැති කෙනෙක් පත් කරගෙන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා , අය වැය ඒකමතිකව සම්මත කරලා , මේ සියල්ලත් එක්ක විශේෂයෙන්ම යන විට මේ රටේ අවශ්‍ය වෙනස්කම් පැහැදිලි ලෙස කිරීමේ අවශ්‍යතාවය මට තිබුණා. දැන් මේ සිදුවීම් එක්ක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය තුළ අර්බුද ඇති වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා මට පක්ෂය භාරදුන්නට , භාර දීලා සුමාන දෙක යනකොට අනිත් පැත්තට හැරිලා කකුලෙන් අදින්න පටන් ගත්තා. පක්ෂය නිර්මල, පිවිතුරු, පවිත‍්‍ර පක්ෂයක් විදිහට දූෂණයෙන්, වංචාවෙන් එවැනි පුද්ගලයින්ගෙන් තොර ,අවස්ථාවාදින්ගෙන් රාජ්‍ය දේපළ මංකොල්ල කන මිනිස්සුන්ගෙන්, බලය වැරදි විදිහට පාවිච්චි කරන අයගෙන්, පවුල්වාදයෙන් තොර පක්ෂයක් විදිහට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න මම විශාල උත්සහයක් අරගෙන තමයි කටයුතු කළේ පහුගිය කාලේ. එක් පැත්තකින් පාර්ලිමේන්තුවෙන් 47 ක් ඉන්න නායකයෙක් අගමැති කරලා ආණ්ඩුක් ගෙනියන්න ඕන. අනෙක් පැත්තෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. මම කියපු වෙනස්කම් කරන්න ඕන. පාර්ලිමේන්තුවේ කැමැත්ත අරගෙන.

ඊළගට මට විරුද්ධව රට පුරා රැස්වීම් තියන්න පටන් ගත්තා සන්ධානයේ නායකයෝ. රට පුරා රැස්වීම් තියලා කියන්න ගත්තා මේ රැස්වීමට දහයක් නැග්ගා, අරකට 25 ක් නැග්ගා, මේකට 40 නැග්ගා, මේකට 50 ක් නැග්ගා කාටද මේ අභියෝගය කළේ ? මේ අභියෝගය කළේ එක්සත් ජාතික පක්ෂයට නෙවේ, ඒ අභියෝගය කළේ කවුරුත් දන්නවා මටයි. එතකොට එක පැත්තකින් කියනවා ඇයි මේ විනය කි‍්‍රයාමාර්ග ගන්නේ නැත්තේ ? ඇයි මේ මන්ති‍්‍රවරුන්ට චෝදනා පත‍්‍ර දෙන්නේ නැත්තේ? ජාතික ආණ්ඩු සංකල්පයට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව එකගතාවය පළ කළා. පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීන්දු ගත්තා, කිසිම විරෝධයක් නැතිව. නමුත් එහෙම තීන්දු අරගෙන විරුද්ධව කටයුතු කරනකොට, පක්ෂය තුළිනුත් කිව්වා, රටෙනුත් කිව්වා දේශපාලන ප‍්‍රතිවාදිනුත් කිව්වා ඇයි මේ විනය පරික්ෂණ කරන්නේ නැත්තේ ? ඇයි මන්ති‍්‍රවරු සංවිධායකකම්වලින් අස් කරන්නේ නැත්තේ? ඇයි ඒ ගොල්ලන්ට විනය පරික්ෂණ කරලා මන්ති‍්‍ර ධූර ඉවත් කරන්න කටයුතු කරන්නේ නැත්තේ ?

විනය පරික්ෂණ කරන්න කොහොමද ? සංවිධායක ධූරවලින් අස් කරන්නේ කොහොමද? ඇයි මේ පාර්ලිමේන්තුව ගෙනියන්න එපැයි 47 ක මන්ති‍්‍රවරුන් ඉන්න අගමැති කෙනෙක් එක්ක. පනතක් සම්මත කරන්න එපැයි පාර්ලිමේන්තුවේ. පනත් සම්මත කරන්න පුඵවන්ද, ව්‍යවස්ථා සංශෝධනය පුඵවන්ද, ? අය වැය යෝජනා සම්මත කරන්න පුඵවන්ද ? ස්වාධින කොමිසන් සභා ගේන්න පුඵවන්ද, ඒ එකක්වත් කරන්න බෑ. ඒ නිසා ඒ සියඵ විනය විරෝධි වැඩ කරද්දි මේ දින සියයේ වැඩපිළිවෙල කි‍්‍රයාත්ම කරන්න, මම භාරගත්ත රටේ ජනතාවගේ වගකීම් ඉටු කරන්න මම ඒවා නොදැක්කා වගේ හිටියා. මම ඉතාම නම්‍යශිලි වුණා. මම දන්න විදිහට මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් මේ විදිහට නම්‍යශිලි වෙලා නැහැ තමන්ගේ පක්ෂයේ ඉන්න පිරිස් මේ විදිහට හැසිරෙනකොට. ඒ නම්‍යශිලි වුණේ ජනතාවට දුන් ප‍්‍රතිඥාව ඉෂ්ට කරන්න. මැතිවරණ පොරොන්දු ඉෂ්ට කරන්න. ජනාධිපති ධූරයේ බලතල ඉවත් කරන්න. ජනතාවට සහන දෙන අය වැය සම්මත කරන්න. ඒවට තමයි ඒ විදිහට සහයෝගය දුන්නේ.

ඉතින් මේ සියල්ල එක්ක ගත්තහම , අපි දන්නවා මේ පසුබිමත් එක්ක අපි අද මහ මැතිවරණයකට ගිහිල්ල තියනවා. මේ මහ මැතිවරණයේ ප‍්‍රතිඵල තුල ප‍්‍රධාන වශයෙන්ම ඉදිරි අවුරුදු පහේ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ,ඒ වගේම ආර්ථිකය පිළිබද ප‍්‍රධාන වශයෙන්ම වගකීම, රට හැසිරවීම, කළමණාකරනය , ප‍්‍රධාන වශයෙන් එන්නේ මේ මැතිවරණයෙන් බලයට පත්වෙන ආණ්ඩුවට.

දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැබීම පිළිබදව මට චෝදනා තුනක් එල්ල කරනවනේ මේ දවස්වල අර මම කියපු අය. එකක් තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්ත එක වැරදියි කියලා. මම ඒකට උත්තර දුන්නා. අනෙක් චෝදනා දෙකෙන් එකක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාව හමුවෙච්ච එක වැරදියි කියනවා. ඊළගට තුන්වැනුව කියනවා අපේක්ෂකත්වය දුන්න එක බරපතල වැරුද්දක් කියලා හිටන්. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මාව හමුවුණේ , මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා අවස්ථා තුනක හමුවුණා. පළවෙනි අවස්ථාව තමයි කථා නායක නිල නිවසේ පක්ෂය භාරගන්න පළවෙනි හමු වීම. දෙවැනි හමුවීම තමයි මුඵ රටම දැක්කා දෙපාර්ශවයේම නියෝජිත පිරිස් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ හමුවීම. ඒ ජනාධිපති කාර්යාලයේ හමුවෙන්න ඇවිල්ලා වාඩිවෙලා ඒ ආපු නියෝජිතයෝ ඉස්සෙල්ලම පටන් ගත්තේ , ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය එනවා .ඒ‍‍කෙදී ඒ ඉල්ලීම් 04 ක් ඉල්ලූවා. පළමුවැනි ඉල්ලීම තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාව ඡන්දයෙන් පස්සේ අගමැති කරන්න. අගමැති අපේක්ෂකයා කරන්න. ඊළගට ඒ දිනවල තිබුණු පසුබිමත් එක්ක පාර්ලිමේන්තුවේ තිබුණු යම් යම් යෝජනාවලට විරෝධය පළ කරන්න. මේ වගේ කරුණු තමයි ඉදිරිපත් කළේ. මම මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බවෙලා පාර්ලිමේන්තුවේ කථාකරපු සාකච්ඡාවේදී එකහෙළාම මම ප‍්‍රතික්ෂේප කෙරුවා අගමැති ධුරය දෙන්න මම කැමතිත් නැහැ, අගමැති අපේක්ෂකයෙක් විදිහට නම් කරන්න මම කැමැතිත් නැහැ. කිසිසේත්ම මම මේවට එකගතාවයක් දක්වන්නේ නැහැ. එතකොට මගෙන් ඇහුවා ඇයි විරුද්ධ වෙන්නේ කියලා. මම කිව්වා ජනවාරි අටවැනිදා ලබපු ජයග‍්‍රහණය ආපසු හරවන්න මට දෙන්න බැහැ කියලා. ඒ වැඩපිළිවෙල ඉස්සරහාට ගෙනියන්න ඕනෑ. අනිත් එක මම කිව්වා , ඔබතුමා ඡන්දෙකට ආපුවාම ඡන්දයක් ජයග‍්‍රහණය කරන්න අවශ්‍ය මූලික කාරණා සම්පූර්ණ වෙන්නේ නෑ. මොනවද ඒ මූලික කාරණා? මම කිව්වා මේ රටේ දමිළ, මුස්ලිම් ඡන්ද හම්බවෙන්නේ නැහැ තමුන්නාන්සේ ආපුහවම මේ පක්ෂයට. ඊළගට මුඵ ලෝකය පුරාම ගලා යන නව දේශපාලන සංස්කෘතියත්, රට රටවල්වල , රාජ්‍යයන්හි තිබෙන දූෂණ විරෝධි රැල්ල ,බලය වැරදි විදිහට පාවිච්චි කිරීම විශේෂයෙන්ම මේ රටේ උගත්, බුද්ධිමත් පිරිස් වගේම මධ්‍යම පාන්තික පිරිස් තුළ ප‍්‍රධාන වශයෙන් මේ රටේ යහපාලනයක් සදහා මාව පත් කරනකොට ඒ තැබූ විශ්වාසය තුළ මම කටයුතු කරනවිට ඒ පැත්තෙන් ඔබ සම්පූර්ණ වෙලා නැහැ. යහපාලනයට අවශ්‍ය සුදුසුකම ඔබ ලබලා නැහැ. අනෙක් පැත්තෙන් නව පරපුර, තරුණ පරපුර ඔබට ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. ඔබේ පාලන කාලය තුළ තිබුණු බරපතල වැරදි නිසා. රාජාණ්ඩු ක‍්‍රමය නිසා. වංචා දූෂණ පවුල්වාදය නිසා ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මැතිවරණයකට ඇවිල්ලා මේ පක්ෂය පරද්දන්න එපා කියලා මම කිව්වා. ඒක මම බොහොම තදින් කිව්වා. ඒ සාකච්ඡාව එතැනින් ඉවර වුණා ප‍්‍රතිඵලයක් නැතුව.

ඒ අතරවාරයේ අපි ආණ්ඩුව විදිහට, පාර්ලිමේන්තුව විදිහට කටයුතු කරගෙන ගියා. මැතිවරණය ඉතාම ආසන්න තත්ත්වයට ආවා.දැන් 19 වැනි සංශෝධනය සම්මත කරනවා. 19 වැනි සංශෝධනය සම්මත කිරීමේ ප‍්‍රධාන වශයෙන්ම උවමනාව තිබුණේ ප‍්‍රමුඛව මටත්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, සරත්ෆොන්සේකා මහත්මයාගේ පක්ෂය ඇතුලූ මාව බලයට පත් කරපු ඒ සංවිධානව ඔක්කොමත් එක්ක. එතකොට බලයට පත්කිරීමත් එක්ක ඒ ආපු කාරණා තුළ ප‍්‍රධාන වශයෙන්ම බලයට පත් කරලා ඉදිරියට යෑමේ කටයුතුවලදී 19 වැනි සංශෝධනය සම්මත කරන්න යනකොට සන්ධානයේ මන්ත්‍රීවරු කිව්ව්වා, මේ දින සිය‍යේ තියෙනවා ජනතාව ඉතාම බලාපොරොත්තු වෙන දෙයක්. මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක,කෝ විස්ස කියලා. දැන් 19 සම්මත කරන්න මේ ගොල්ලන්ගේ ඡන්ද ගන්න ඕනෑ. ඒක නිසා මම කිව්වා බොහොම පැහැදිලිවම දැන් 19 ගැසට් කරලා තියෙන්නේ. ඒ පිළිබද නීති තත්වයකුත් සැලකිල්ලට ගත්තා.අධ්‍යනය කළා. නීති විශාරද‍යොත් කිව්වා. දැන් 19 යි 20 යි එකට යන්න බැහැ. මොකද 19 ගැසට් කරලා ඉවරයි, උසාවියට, ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ඒකට 20 අමුණන්න බැහැ. ඒ නිසා 20 වෙනම එන්න ඕන කියලා.එතකොට සන්ධානයේ මන්ති‍්‍රවරු කිව්වා, හරි. අපි 19 ට අත උස්සන්නේ 20 ගේනවයි කියන පොරොන්දුව මතයි. මම රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඇතුලූ ආණ්ඩුවේ අනිත් සියලූදෙනා එක්ක කථා කළා. සන්ධානයේ ඡන්ද ගන්නනම් 19 ට , 20 ගේන්න ඕන. ඔව් අපි විස්ස ගේමු කිව්වා. එතකොට ඒ අනුව 19 ඉවරවෙලා දැන් මම බලාගෙන ඉන්නවා 20 එනකම්. 19ත් හැදුවේ මම නෙමෙයිනේ. 19 ට මගේ පූර්ණ එකගතාවය තිබුණා. නීති විශාරදයෝ සහ ඒ ඒ පක්ෂවල අය තමයි 19 වැඩ ටික කරගෙන ගියේ. දැන් මම බලනවා කෝ විස්ස කියලා. ඒ එක්කම සන්ධානයේ මන්ති‍්‍රරු අහනවා කෝ 20. දැන් 20 හැලිලා. එතකොට මට මතකයි මේ මැතිවරණ ප‍්‍රකාශනයත් එක්කම අපි සදහන් කරලා තිබුණු ප්‍රධාන කරුණු 19 වගේම 20 . ඒ වගේම තොරතුරු දැන ගැනීමේ පනත, විගණන පනත මේවා බොහොම පැහැදිළිව මැතිවරණයෙත් කියපු ඒවා. විගණන පනත සහ තොරතුරු දැන ගැනීමේ පනත හැදුවා. එතකොට 20, 19 හදපු අයගෙන් හැලූනා. තොරතුරු පනත නැහැ. විගණන පනත නැහැ. මේ රටේ වංචා දුෂණ පිළිබද රාජ්‍ය අංශයේ කථා කිරීමේදී ප‍්‍රධාන වශයෙන්ම මේ රටේ ටෙන්ඩර් ක‍්‍රමය අන්ත දූෂිතයි. මම මේක මීට අවුරුදු දහයකට කළින් ඉදලා කියලා කියනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇමැතිවරයා විදිහට කටයුතු කරන‍කොට මම දැකපු දේවල් එක්ක පැහැදිලිවම දැනිලා තියෙනවා මේ රටේ ටෙන්ඩර් ක්‍රමය දුෂිතයි. ඒක රටම දන්නවා. ඒ නිසා තමයි මේ ටෙන්ඩර් ක‍්‍රමයේ තිබෙන දූෂණ වළක්වලා මේ රටේ හොද මුල්‍ය කළමණාකරනයක් ඇති කරන්න දුෂිත ක‍්‍රමයෙන් තොර ටෙන්ඩර් ක‍්‍රමයක් ඇති කරන්න ,මුල්‍ය අංශවල හොද මුල්‍ය විනයක් ඇති කරන්න මේ විගණන පනත ගෙනාවේ. එතකොට 20 නෑ. . තොරතුරු දැන ගැනීමේ පනත නෑ. විගණන පනත නෑ

දැන් මේ ප‍්‍රශ්ණත් එක්ක මෙහෙම යනකොට අනික් පැත්තෙන් ආවා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මහ බැංකුවේ සිද්ධිය. මේ පිලිබදව කමිටුවක් පත් කරලා එහි වාර්තාවක් ආවා. ඊළගට පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා සම්බන්ධයෙන් මගේ තිබෙන මතය වගේම රටේ පොදු ජනතාව අතර මතයක්, අදහසක් තියනවා රනිල් වික‍්‍රමසිංහ මහත්මයා දුෂිතයෙක් නෙවෙයි, හොරකම් කරන කෙනෙක් නෙවයි කියලා හිටන්. මේ මහ බැංකු අධිපතිවරයාගේ ඒ ප‍්‍රශ්ණය ආපුවාම මේ පිළිබද වරින් වර කරපු සාකච්ඡාවලදී මම අවසාන වරටත් එතුමාට කිව්වා ඔබතුමාට හොද නමක් තිබෙනවා .මේ සිද්ධියත් එක්ක තිබෙන පසුබිම තුළ සමාචය තුළඔබතුමා නිවැරදි වෙන්න ඕන. ඒ නිසා හොදම දේ තමයි මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙන එක කියලා. හිටන්.මම එහෙම කිව්වා.

එතකොට මෙවැනි පසුබිමක් එක්ක තමයි අපි ආවේ නාම යෝජනා දක්වා. දැන් නාම යෝජනා දක්වා එනකොට මූලික වශයෙන් මම සදහන් කරන්නට ඕන මේ රටේ දේශපාලන පක්ෂ මැතිවරණයක් අවස්ථාවේදී ඒ ඒ දේශපාලන පක්ෂවල තිබෙන ව්‍යවස්ථාවේ හැටියට පක්ෂයේ ප‍්‍රතිපත්ති හැටියට කොහොමද අපේක්ෂකයෝ තෝරන්නේ ? අපේක්ෂකයෙක් තේරීමේ කි‍්‍රයාවලිය සිද්ධවෙන්නේ කොහොමද කියලා හිටන්. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් තේරිමේ කි‍්‍රයාවලිය දන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ ඉන්න අය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් තේරිමේ කි‍්‍රයාවලියේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය. අනිත් දේශපාලන පක්ෂවලත් එහෙමයි. එතකොට මේ අපේක්ෂකයින් තේරිමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මකිරීමේදී , විශේෂයෙන්ම සදහන් කරන්නට ඕන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය කොහොමද අපේක්ෂකයින් තෝරන්නේ? ඉල්ලූම් පත‍්‍ර කැදවනවා. නාම යෝජනා මණ්ඩල පත් කරනවා. ඊළගට නාම යෝජනා මණ්ඩලයෙන් පස්සේ මධ්‍යම කාරක සභාව අනුමත කරනවා. මේක තමයි මේ තියෙන ක‍්‍රමය. දැන් ඉතා පැහැදිලිව මේ තත්ත්වයත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේක්ෂකත්වය දීමට මගේ කිසිම එකගත්වයක් නැහැයි කියන එක මම සෑම කෙනෙක්ටම ප‍්‍රකාශ කළා පක්ෂය තුළ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාරලා, විමල් වීරවංශගේ පක්ෂය, තිස්ස විතාරණලා, ඩියු ගුණසේකරලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ මහජන පක්ෂය, පොඩි අප්පුහාමි මහතාගේ පක්ෂයේ මේ පක්ෂ නායකයෝ ඔක්කොම මේ ශාලාවට ගෙන්නලා,‍මෙහෙම තියාගෙන, මේ තිබෙන ලී වලට, බිත්තිවලට කථා කරන්න පුඵවන්නම් කථා කරලා කියයි මම කිව්වේ මොනවද කියලා හිටන්. මම ඒ නායකයින් සියලූදෙනාට කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයාට අගමැතිධූරය දෙන්නවත්, කණ්ඩායම් නායකත්වය දෙන්නවත් , අපේක්ෂකත්වය දෙන්නවත් , ඒ එකකටවත් මම එකග වෙන්නේ නැහැයි කියලා හිටන් මම ‍බොහොම පැහැදිලිව කිව්වා. මම ඒක පැහැදිලිවම ප‍්‍රකාශ කළා. ඒ නායකයෝ බොහොම නරක විදිහට මට බැණ බැණ තමයි පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් ගියේ.

එතකොට මේ තත්ත්වය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළත් තිබුණා. මම ඔය කිව්වේ සන්ධානය විදිහට. දැන් මේ තත්ත්වය එක්ක මට කළ හැකි කරුණු දෙකක් තිබුණා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ. එකක් තමයි සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂෙයි, සන්ධානෙයි මහින්ද රාජපක්ෂ මහත්තයලට භාරදීලා මම අයින් වෙන එක. මම අයින් වුණා නම් එක තත්පරයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා සන්ධානයේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට ඒගොල්ලෝ පත් කර ගන්නවා. එතකොට මම දන්නවා , මට සභාපතිකම දුන්නේ ජනවාරි 16 .ඊට සුමාන දෙකක් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්න පටන් ගත්තා අපරාදේ කරගත්ත වැඩේ. පක්ෂ නායකත්වය සභාපතිකම දුන්න එක කියලා හිටන්. බොහොම පසු තැවෙන්න පටන් ගත්තා. මම සම්පූර්ණයෙන් පක්ෂයෙන් ඉල්ලා අස් වුණා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ මැතිවරණයට එන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති , සන්ධානයේ සභාපති විදිහටයි. ඒ විතරක් නෙවෙයි හදන අපේක්ෂක නාමාවලි දිස්ත්‍රික්කවල සීයට සීයක්ම සම්පූර්ණයෙන්ම එයාට ඕනෑ විදිහටයි. ඒ විතරක් නෙ‍වෙයි මාත් එක්ක හිතවත්ව හිටපු පාර්ලිමේන්තු කණ්ඩා‍ය‍මේ සමහරවිට ඔක්කොම කපලා දාන්න තිබුණා. දොට්ට දාන්න තිබුණා. ගෙදර යවන්න තිබුණා. එහෙම නම් මහින්ද රාජපක්ෂ මහත්තයා ඊයේ නාම යෝජනා දෙනකොට එන්නේ ඔයිට වඩා වෙනස් ආකාරයට. ඒක මම දන්නවා.මම කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා අදත් ප‍්‍රබලයි කියලා. ජනවාරි අට පැරදිච්ච මහින්ද රාජපක්ෂ, මම දකින්නේ තවත් පරිදින එක තමයි ඉස්සරහාටත්. නමුත් සන්ධානයේ සභාපතිකම තියාගෙන ආවනම් ඔයිට වැඩිය තව යම් ප‍්‍රමාණයකින් ශක්තිමත්ව තමයි එන්නේ. එතකොට එකක් මම අයින් වෙන එක ඒ ‍‍ගොල්ලන්ට දීලා. එහෙම නැත්නම් අගමැති අපේක්ෂකත්වය නොදී ඉන්නවා කියලා කිව්වහම ඒගොල්ලේ ඔක්කොම සැළසුම් කරලා තිබුණා. තීන්දු කරලා තිබුණා වෙනම ඒගොල්ලෝ වෙනම තරග කරන්න අපේක්ෂක ලැයිස්තු හදලා, මැතිවරණ කමිටු හදලා, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන කමිටු හදලා ඔක්කොම වැඩ අවසන් කරලා තිබුණේ, ඒ ගොල්ලෝ වෙනම පක්ෂයකින් තරග කරන්න.එතකොට සන්ධානය තුළ නාම යෝජනා නොලැබුණා නම් ඒගොල්ලෝ එත් වෙනම පක්ෂයකින් පාර්ලිමේන්තුවට එනවා. එය වළක්වන්න පුඵවන්කමක් නැහැ.

දැන් මෙතනදි අහන අනෙක් ප‍්‍රශ්ණය තමයි ඇයි එහෙමනම් සන්ධානයෙන් දුන්නේ විරුද්ධ වුණානම් කියලා හිටන්. මගෙන් අහන, මට කරන චෝදනා. හැබැයි එකක් ඒක , ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නැහැ. පක්ෂේ කඩා ගෙන කෑල්ලක් අරන් රට වටේ යන එක. අනිත් කාරණය තමයි ප‍්‍රධාන වශයෙන්ම මේ රටේ මැතිවරණ ඉතිහාසය ගත්තහම එක් එක් ආණ්ඩු සහ එක් එක් යුග ගත්තහම මේ රටේ තියෙන ද්වි පක්ෂ ක‍්‍රමය තමුන්නාන්සේලා අපි කවුරුත් පිළිගන්නවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තමයි හැමදාම ආණ්ඩු කරන්නේ. ආණ්ඩු හදන්නේ. අනික් පක්ෂ සමහර ඒ වටා සෘජුව එනවා. නැත්නම් වක‍්‍රව එනවා. ඇතැම් වෙලාවට මධ්‍යස්ථව ඉන්නවා. නමුත් 1956 ඉඳලා මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් මේ ද්වි පක්ෂ ක‍්‍රමය තුළ මේ පක්ෂ දෙකෙන් එකක් කොයි එකක් හෝ කැඩිලා බිඳිලා දුර්වල වෙච්ච හැම යුගයකදිම මොකද්ද සිද්ධ වුණේ? හැම යුගයකදිම සිද්ධ වුණේ මේ රටේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්බුදයකට ගියා. මම අනාගතය ගැන අනාවැකි කියන තාරකා විද්‍යාඥයෙකුත් නවෙයි, ජ්‍යෙතිශඥයෙකුත් නෙවෙයි. නමුත් මේ රටේ පහුගිය දශක පහක දේශපාලන ඉතිහාසය ගත්තොත් , 1970 මැතිවරණ ප්‍රතිඵලත් එක්ක එක්සත් ජාතික පක්ෂය බරපතල අර්බුදයකට ගියා. එක්සත් ජාතික පක්ෂය ආසන හතට අටට බැස්සා. ජේ. ආර්. ජයවර්ධන මහත්තයා 72 දී බණ්ඩාරනායක මැතිණිගේ ආණ්ඩුව ඇතුළට එන්න ඉල්ලීමක් කෙරුවා. පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයයි, එන්. එම්.පෙරේරා මහත්තයයි තමා ඒකට විරුද්ධ වුණේ. ඉඩ දුන්නේ නැත්තේ. නැත්නම් ජේ. ආර්. ජයවර්ධන මහත්තයා බණ්ඩාරනායක මැතිණිගේ ආණ්ඩුවේ ඇමැතිකමක් ගන්නවා 72 දී. මට හොදට ඒ සිද්ධිය මතකයි. එතකොට එක්සත් ජාතික පක්ෂය 70 මැතිවරණයේදී බරපතල ලෙස දුර්වල වුණාම ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද ? 72 ව්‍යවස්ථාව තුළ අවුරුදු පහකට බලයට පත්වෙච්ච ආණ්ඩුව තව අවුරුදු දෙකක් ඉස්සරහට දාගෙන ගියා. අවුරුදු හතක් කළා. 1975 මැතිවරණයක් තිබ්බා නම් එක්සත් ජාතික පක්ෂය එයින් ජයග්‍රහණය කරවි එදා තිබුණු තත්වේ හැටියට. විශේෂයෙන්ම 71 කැරුල්ලත් එක්ක රටේ තිබුණු ආර්ථික, සමාජ පසුබිමත් එක්ක. නමුත් ප්‍රබල විපක්ෂයක් හැදේවි 75 මැතිවරණය තිබ්බා නම්. එ‍තකොට එක්සත් ජාතික පක්ෂය බරපතල ලෙස දුර්වලවීමේ ප්‍රතිඵලය විදිහට එදා ඒ ආණ්ඩුව අවුරුදු දෙකක් ඉස්සරහට කරගෙන ගියා. මම බණ්ඩාරනායක මැතිණියටඉතාම ගරු කරනවා , මගේ නායිකාව. නමුත් එදා සිදුවෙච්චි ඒ සිදුවීමේ ප්‍රතිඵලය තමයි එක්සත් ජාතික පක්ෂය 77 මැතිවරණයේදී හයෙන් පහක බලයක් ගත්ත එක. 1975 මැතිවරණයක් තිබ්බා නම් එක්සත් ජාතික පක්ෂය දිනයි හැබැයි හයෙන් පහක බලයක් ගන්න වෙන්නේ නැහැ. සමහර විට තුනෙන් දෙකක බලයක් ගන්න වෙන්නෙත් නෑ. නමුත් වැඩිපුර ආණ්ඩු කරලා, ආණ්ඩුව වැඩිපුර අප්‍රසාදයට පත්වෙලා , වංචා දූෂණ චෝදනා ඇවිල්ලා, ආහාර අර්බුදය එක්ක , 71 කැරුල්ලත් එක්ක මේවා ඔක්කොම එකතුවෙලා එනකොට එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක් ගත්තා. එතකොට එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක් ගත්තහම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටට බැස්සා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටට බැසීමේ ප්‍රතිඵලය විදිහට ‍77 ජේ. ආර් . ජයවර්ධන මහත්තයාගේ හයෙන් පහේ ආණ්ඩුව අවුරුදු දොළහක් රට කරපු හැටි අපිට මතකයි. ඒ තුළ තමයි අද අපි මේ ඔක්කොම කතාකරන සමස්ත අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ. අද මේ දේශපාලන අර්බුදය පුද්ගලයෙක් ගැන කතා කරනවා. මහින්ද රාජපක්ෂ ගැන කතාකරනවා. නැහැ. මේ අර්බුදය මහින්ද රාජපක්ෂ ‍නෙවෙ‍යි. මේක සමස්ත අර්බුදය ගන්න වෙනවා. මේ පුද්ගලයා නෙවෙයි. ඒ සමස්ත අර්බුදය අරගෙන විග්‍රහයකට යන්න ඕනෑ. එතකොට හයෙන් පහක් ආපු එක්සත් ජාතික පක්ෂය හැත්තෑ හ‍තේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කළා. හැත්තෑ අටේ ව්‍යවස්ථාව ආවා. විධායක ජනාධිපති ධූරය, ‍මේ අශීලාචාර මනාප ඡන්ද ක්‍රමය ආවා. මේ රටේ දේශපාලන සංස්කෘතිය විනාශ කළේ නැත්තට නැති කෙරුවේ මනාප ඡන්ද ක්‍රමයෙන් . මේ අශීලාචාර ඡන්ද ක්‍රමයෙන්. දේශපාලනඥයින්ට දොස් කියනවා. ඇත්ත. දේශපාලනඥයෝ දැනගගන්න ඕනෑ තමන් අවංතව තමන්ගේ වැ‍ඩේ කරගන්න. නමුත් ඒ අවංකභාවය ගිලිහී ගොස් තිබෙන්නේ මේ ක්‍රමයට ඔරොත්තු දෙන්න හුගදෙනෙකුට බැරි නිසා. මම විශ්වාස කරනවා ඒ ක්‍රමයට මම ඔරොත්තු දුන්නයි කියලා හිටන්. මොකද මම අවුරුදු විසිහයක් පාර්ලිමේන්තුවේ ඉදලා, ඇමැතිකම් කරලා මම දන්නවා මේ රටේ ජනතාව මා කෙරෙහි තබපු විශ්වාසය. චංචා දූෂණ නැති, බලය වැරදි විදිහට පාවිච්චි නොකරපු මිනිහෙක් විදිහට මාව පොදු අපේක්ෂකයා විදිහට භාරඅරගෙන මේ රටේ ජනාධිපති කරන්න ජනතාව මම කෙරෙහි විශ්වාසය තිබ්බේ මේ ක්‍රමයට මම ඔරොත්තු දුන්න නිසා. මට මතකයි ජනවාරි අටවැනිදාට කලින් මැතිවරණ වේදිකාවේදී සන්ධානේ කථිකයෝ කිව්වා, මෛත්‍රීපාල සිරිසේනට පුඵවන්ද ජනාධිපති වෙන්න කියලා. ජනාධිපති වෙන්න කලින් විපක්ෂ නායක වෙන්න ඕනෑ පාර්ලිමේන්තුවේ කියලා. ඊට කලින් අගමැති වෙන්න ඕනෑ. අගමැති වෙන්‍න් නැතුව ,විපක්ෂනායක වෙන්නේ නැතුව කවුරුවත් මේ රටේ ජනාධිපති වෙලා නෑ කියලා. එහෙම තර්ක ඉදිරිපත් කෙරුවා.

මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මේ රටේ ජනාධිපතිවරුන්ගෙන් මැතිවරණයකට ඇවිල්ලා පරාජය වෙච්ච එකම ජනාධිපතිවරයා. අනිත් ජනාධිපතිවරු ‍ගෞරවය තියාගෙන, නම්බුව තියාගෙන වාර දෙක කරලා ගෙදර ගියා. එතුමා ඇවිල්ලා ඒ වාර්තාව බින්දා ලංකාවේ පරාජය වෙච්ච පළවෙනි ජනාධිපතිවරයා විදිහට. මේ තුළ මම පැහැදිලි කළේ 77 හයෙන් පහක් අරගෙන ඒ විදිහට කටයුතු කිරීමත් එක්ක ජේ. ආර්. ජයවර්ධන පාලනය මේ ර‍ටේ කරපු දේවල්. ඒ තුළ මේ රටේ නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද බරපතල ප්‍රශ්න රාශියක් . ඒ අවුරුදු එකොළහ ගැන දන්න අය දන්නවා. ඊළගට 2010 මැතිවරණ ප්‍රතිඵලත් එක්ක එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම කඩන් වැටුණා. එක්සත් ජාතික පක්ෂයට අඩු ගණනේ පාර්ලිමේන්තුව ඇතුළේ තමන්ට ලැබුණු ආසන ටිකවත් තියාගන්න බැරි වුනා පක්ෂ අර්බුදෙත් එක්ක. පක්ෂ අර්බුදෙත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක සැරේ විසි එකක්, විසි දෙකක්ද අර‍ගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා ඇමැතිකම් දුන්නා. මේකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද ? විධායක ජනාධිපති ක්‍රමය රාජාණ්ඩු ක්‍රමයකට ආවා. එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂය විදිහට ප්‍රබලව තිබුණා නම් 18 වැනි සංශෝධනය ගේන්න ‍වෙන්නේ නෑ. 47 ඉදලා ගත්තාම මේ ද්වි පක්ෂ ක්‍රමය තුළ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් දුර්වල වුනා නම් රටේ නිදහස හා ප්‍රජාතන්තවාදය පිළිබද බරපතල අර්බුද මතුවෙලා තිබෙනවා.

රටක ආයතනයක පුද්ගලයෙක් ගත්තහම අතීතයේ තොරතුරුත් එක්ක තමයි අනාගතය පිළිබඳව අනාවැකි කියන්න පුඵවන්. විශේෂයෙන්ම රටක ඉතිහාසයත් එක්ක තමයි ඒ රටේ ශිෂ්ටාචාරය, ඒ රටේ සංස්කෘතිය, ඒ රට ගොඩනැගුණු හැටි ඒ සියල්ල තියෙන්නේ. ඒවගේම අපි මෑත ඉතිහාසය ගත්තහම මේ රටේ දේශපාලනයේ පසුගිය දශක පහක හයක ඒ ඇතිවෙච්ච සිද්ධීන් මම කිව්වේ. ඉතින් ඒක නිසා මට මෙතනදි උවමනාවක් ඇති වුණේ නැහැ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා කෑල්ලක් අරගෙන රට වටේ යන්න. පක්ෂයේ සන්ධානයේ නායකයෝ සියල්ලම මහින්ද රාජපක්ෂ මහත්තයට අපේක්ෂකත්වය ඉල්ලුවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමෙන් සියයට අනූනවයක් ඉල්ලූවා අපේක්ෂකත්වය දෙන්න කියලා. දැන් මට මෙතනදී තියෙන්නේ කුමක්ද? මට මෙතන තියෙන්නේ එහෙම නම් පක්ෂය කඩාගෙනඅයින් වෙන්න. නැත්නම් ඉල්ලා අස්වෙන්න ඉස්සෙල්ලා කිව්වා වගේ. එහෙම කළා නම් මම කිව්වා ප‍්‍රතිඵල මොනවද කියලා. එහෙම නැත්නම් පැහැදිලිව මම මගේ ස්ථාවරය වෙනස් වුණේ නැහැ. මගේ විරුද්ධත්වය එසේමයි.මම මේ ගොල්ලන්ට ඒ විරුද්ධත්වය පළ කලා. නමුත් මම කිව්වා පක්ෂය කඩා ගන්නේ නැතිව එහෙම නම් ඔයගොල්ලන්ගේ බහුතරයේ තීන්දුව ගන්න කියලා. හැබැයි මම මේ එකග තීන්දුවට නැහැ. ඒක තමා තත්වය.

ඒ නිසා මේ සෑම කාරණාවක්ම ගත්තහම මූලික වශයෙන් මේ තිබෙන පසුබිමත් එක්ක මම කියන්නට ඕනැ මට මේ චෝදනා කරන අයට මම මුලින් කිව්වා 47ක මන්ත‍්‍රීවරුන්ගෙන් අගමැති කෙනෙක් පත්කරලා මම ආණ්ඩු අරගෙන ආපු හැටි හය මාසයක්. යහපාලනයේ දොරටු විවෘත කරපු හැටි. එතකොට ඒ පිළිබඳව මගේ ඔලුවේ, බුද්ධියේ මගේ මනසේ සැලසුම් ඒ විදිහටම මම ගෙනාපු හැටි. ඒ නිසා මම බොහෝම පැහැදිලිව කියන්නට ඕනැ මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵල තුළ මට අවශ්‍ය වෙන්නේ කුමන පක්ෂයෙන්ද කියන කාරණාව නෙවෙයි. පාර්ලිමේන්තුවට එන 225 න් වැඩි බහුතරයක් ජනවාරි අටවැනිදා ජයග‍්‍රහණය ලබපු සහතික කරලා ජනවාරි අට වැඩපිළිවෙල ඉස්සරහාට ගෙනියන පාර්ලිමේන්තු බහුතරයක් තමයි මට උවමනා වෙන්නේ. මොන පක්ෂෙන් වුනත් මට ඒක ප්‍රශ්නයක් නෑ.ඒක නිසා මගේ අරමුණ එතනයි තියෙන්නේ. ඒ අරමුණ ඉෂ්ට කර ගන්නයි මම කටයුතු කරන්නේ. ඉන් මෙහා මගේ ආපසු හැරීමක් නැහැ.

මම සියලූ දේවල් පූජා කරලා ආපු කෙනෙක් විදිහටයි නොවැම්බර් 21 එළියට බැස්සේ. හරියට මහ මුහුදේ මහා සාගරයේ ගිහිල්ලා හිටන් දරු පවුලත් එක්ක නැවකින් මහ මුහුදට පැන්නා වගේ දෙයක් මම කෙරුවේ. මම මේ මාස හය ආණ්ඩුව අරගෙන ආවේ හරියට ටයිටැනික් නැව වගේ. ටයිටැනික් ගිලූනා. හැබැයි මම ගිලෙන්න දුන්නේ නැහැ. මම ආණ්ඩුව ගිලෙන්න දුන්නේ නෑ. ආණ්ඩුව ගිලෙන්න එන කොට අගමැතිතුමාට විරුද්ධව විශ්වාස භංග ගෙනල්ලා , මම පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ අගමැතිතුමාට විරුද්ධ විශ්වාසභංග යෝජනාවේ යටි අරමුණ වුණේ මොකක්ද ? විශ්වාසභංග යෝජනාවේ යටි අරමුණ වෙලා තිබුණේ ප‍්‍රධාන වශයෙන්ම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගන්න දින තීන්දු වුණා නම් එහෙම සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් කෙනෙක් ඉල්ලා අස් වෙලා ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශ්වාසභංග යෝජනාවෙන් රනිල් වික‍්‍රමසිංහ මහත්මයාව පරාජය කරලා ඒ ගොල්ලෝ ආණ්ඩුවක් හදන්නයි ඒ ගොල්ලන්ගේ සැලැස්ම තිබුණේ. මම ඒවත් පරාජය කෙරුවා.
මම ඒකයි කිව්වේ මේ 225 න් 47 ක් එක්ක ආණ්ඩුවක් අරගෙන ආපු හැටි. මැතිවරණ ප‍්‍රකාශනයේ කරුණු ඉෂ්ට කරපු හැටි. ව්‍යවස්ථාව වෙනස් කරපු හැටි. අය වැය යෝජනා සම්මත කරපු හැටි. ඒ තුළ ජනතාවට සහන දුන්නු හැටි. මේවත් එක්ක පක්ෂයේ අර්බුදයට මම මුහුණ දුන්න හැටි. මේ ඔක්කොමත් එක්ක ගැටගහගෙන සියල්ල කළේ ජනවාරි 8 ජයග‍්‍රහණය තහවුරු කරන්න. බොහෝම පිරිසිදුව. අවංකව. ඒකයි මගේ අධිෂ්ඨානය. පරමාර්ථය.

ඒක නිසා මේ තත්ත්වය බොහෝම ප‍්‍රවේශමෙන් විග‍්‍රහ කරන අය විග‍්‍රහ කරනවා. විවේචනය බොහෝම පහසුයි. විවේචනයට මම ජයවේවා කියලා කියනවා. ඒ ගැන මගේ කිසි ප‍්‍රශ්නයක් නැහැ. නිදහස් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විවේචන ඉතා අවශ්‍යයයි. නිදහස් මාධ්‍ය ඉතා අවශ්‍යයයි. ඒක මම හැමවෙලේම සහතික කරනවා.19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න ගිය මාධ්‍ය පිළිබඳව ඡේදය අයින් කෙරුවේ මමයි. මාධය ආයතන, මාධ්‍ය සම්බන්ධයෙන් තිබුණු ඡේදය. ඒ නිසා මම මගේ වගකීම් මෙතෙක් ඉෂ්ට කරලා තියෙනවා. ඉදිරියටත් මම ඒ විදිහට ඉෂ්ට කරනවා. ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුළ බොහෝම පැහැදිලිව මම කියන්නට ඕනැ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මගේ ගණුදෙනුවක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයට ජනවාරි අටවෙනිදාට කලින් මගේ තිබ්බ විරෝධය අදත් එහෙමමයි. ඒක තමයි ඇත්ත තත්වය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරනවා නම් මේ පාර්ලිමේන්තු මැතිවරණේ මහින්ද රාජපක්ෂ මහත්තයා හැර ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැතිවරු විදිහට පත්කරන්න.
මහින්ද රාජපක්ෂ මහත්මයා නායකයා විදිහට ජනාධිපතිවරයා විදිහට ඉන්න කාලේ කිසිකෙනෙකුට ඊළගට ජනාධිපති වෙන්න ඉඩ නොදී ජනාධිපති ධූරයට තරග කරන වාර ගාණ අයින් කර ගත්තා. එතකොට එයාට සදාකාලිකව ජීවත්ව ඉන්නකම් තරග කරන්න පුඵවන්. අසීමිතයි. වාර ගණන සීමිත නැහැ. එතකොට දැන් මේ මොකද කරන්න හදන්නේ. මේ පක්ෂයේ ඊළගට අගමැතිවරු විදිහට සුදුසුකම් තියෙන අනික් ඉන්න ජ්‍යෙෂ්ඨයින්ට තියෙන අවස්ථාව. දැන් ඒකත් නැති කරලා එතන්ට එන්න තමයි එයා ඉලක්ක කරන්නේ. ඉතිං මම බොහෝම පැහැදිලිව කියන්නට ඕනැ මම මේ මැතිවරණ ව්‍යාපාරය තුළ බොහෝම පැහැදිලි මැදිහත් පිළිවෙතකයි මම ඉන්නේ. ම‍‍‍‍ගේ ස්ථාවරය මේකයි මේ කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. ඒක නිසා ඉදිරි මැතිවරණ ව්‍යාපාරය නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාධාරණ මැතිවරණයක් මේ රටේ පවත්වන්න මම මැතිවරණ කොමසාරිස්තුමාට සහයෝගය දෙනවා.පොලිසියට සහ ආරක්ෂක අංශවලට සහයෝගය දෙනවා. රාජය් නිලධාරීන්ට සහයෝගය දෙනවා. ඒ සදහා මම සම්පූර්ණයෙන්ම කැපවෙනවා. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සදහා. මේ රට ඉදිරි මහ මැතිවරණයෙන් පස්සේ ජනවාරි අටවෙනිදා ලබපු ජයග‍්‍රහණය ඉදිරියට ගෙනිහිල්ලා ඉදිරි අවුරුදු පහකට ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරන්න. මේ ප්‍රකාශණයේ තියෙන්නේ අවුරුදු පහක සැලැස්ම. මේක මේ මාස හයේ එකක් නෙවෙයි. දින සීයක් ‍නෙවෙයි. ඉදිරි අවුරුදු පහක්. ඉදිරි අවුරුදු පහ ඉවරවෙනකොට මම ගැන සහතිකය ජනතාවගෙන් හම්බ වෙයි. මම පිළිබඳව අද තියෙන නොයෙකුත් චෝදනා, දෝෂාරෝපණ, චෝදනා පත‍්‍ර මේවා බොහෝ නුදුරු අනාගතයේ මම දන්නවා ඒවා පහ වෙලා යනවා. ඒවා ඉවර වෙනවා. අවුරුදු 49 ක මගේ දේශපාලන අත්දැකීම් එක්ක මම බොහෝම සතුටින් ඒවාට මුහුණ දෙනවා. මම ඉතාම සතුටු වෙන්නේ, මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට ගහපු නැති ආකාරයට මේ පහුගිය දිනවල ගහපු ගැහිල්ල ගැන මම සතුටු වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මල් පිපෙන හැටි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දෝරේ ගලා යන හැටි, ඒ තුළ ප‍්‍රතිඵල ලබා ගන්නා හැටි. මම බොහෝම ගෞරවයෙන් කියන්නේ මම ලබා දුන්න නිදහස, මම ලබා දුන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය , මම සහතික කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය මේක වල් බූරු නිදහසක් කරගෙන විනාශ කර ගන්න එපා. මේක භුක්ති විඳින්න යුක්ති සහගතව, සාධාරණව සහ ඉතාම ප්‍රබුද්ධ මනසකින් භුක්ති විදින්න කියලයි මම සියඵ දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. එහෙම නම් බොහොම ස්තූතියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article