Friday, November 22, 2024

‘ලොකූ‘ සමග පන්නලදී වෙඩි කෑ දෙනෑනෝ ! ( පන්නල ද්විත්ව ඝාතනයේ අලුත් තොරතුරු )

Must read

පන්නල, වැටකෙයාව ප්‍රදේශයේ පිහිටි බස්නැවතුම්පොළකදී ඊයේ රාත්‍රියේදී සිදු වූ වෙඩි තැබීම හේතුවෙන් මිය ගිය කාන්තාව කැරැන්වත්ත, යෝගියාන ප්‍රදේශයේ පදිංචි කදිරප්පුලිගේ ගීතා සමන්ති නැමැති 30 හැවිරිදි කාන්තාවක බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඊයේ (29 දා ) රාත්‍රී 7.45ත් 8.00 ත් අතර කාලය තුළදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ බව කියන මෙම වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.

කාන්තාවන් දෙදෙනෙකු සමග බස් නැවතුම්පොළේ රැදී සිටි දිසානායක අප්පුහාමිලාගේ අනුර රුවන් කුමාර නොහොත් ලොකූ නැමැති අයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදු වී ඇති බවට පොලිසිය සැකකරන අතර වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයාද ජීවිතක්ෂයට පත් විය.

944 / 24 සී, කෝරළේවත්ත, වැටකෙයාව යන ලිපිනයේ පදිංචි 30 හැවිරිදි දෙදරු පියෙකු වන අනුර රුවන් කුමාර නැමැති අයට එරෙහිව වැලි, පස් ජාවාරමේ යෙදීම සහ කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී තිබූ බවත්, ඒ සම්බන්ධ නඩු කිහිපයක්ද අධිකරණය හමුවේ විභාගවෙමින් ඇති බවටත් පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව සදලංකාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතල තත්වයේ පසුවීම හේතුවෙන් පස්සේ කුලියාපිටිය මූලික රෝහල වෙත මාරුකර යැවීමෙන් පසුව එහිදී ශල්‍යකර්මයකටද භාජනය කරනු ලැබ තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ යෝගියාන ප්‍රදේශයේම පදිංචි කනකසබේ නිර්මලාදේවී නැමැති 28 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාවන් දෙදෙනා ඥාතිත්වයෙන් නෑනවරුන් වන අතර මිය ගිය කාන්තාව විවාහ වී සිටින්නේ තුවාල ලැබූ කාන්තාවගේ සහෝදරයෙකු සමග බව පොලිසිය කියයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින අතර තවත් පුද්ගලයින් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි. වෙඩි තැබීම සදහා යොදගෙන ඇත්තේ මිලි මීටර් 7.62 වර්ගයේ පිස්තෝලයක් බවත් බස්නැවතුම්පොළ තුළ වාඩි වී සිටි පුද්ගලයින් තිදෙනා ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාර දහයකට ආසන්න ප්‍රමාණයක් එල්ල වී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක් වූ දෙදෙනාගේ මෘතශරීර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මේ වන විට කුලියාපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

වෙඩි තැබීම සිදු වූ බස්නැවතුම්පොළ 

pannala_1 pannala_2 pannala_3

ඡායාරූප – යූ ටියුබ්  ඇසුරෙනි. 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article