අපේ කථානායකයා වන්නේ එම්. එඩ්වඩ් පෙරේරා මහතාය. දැනට හැට අටවෙනි වියෙහි පසුවන එඩ්වඩ් පෙරේරා මහතා සිය ජීවිත කාලයේ වැඩි ප්‍රමාණයක් ගෙවී ගිය ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයෙහි රැකියාවට විශ්‍රාම ලබා දී, දැන් ජීවිතයේ සැදෑ සමය විවේක සුවයෙන් යුතුව ගෙවාදමමින් සිටී. එඩ්වඩ් පෙරේරා මහතාගේ එලිමහන් කදවුර පාර, උඩගම, මහව ලිපිනයේ පිහිටි නිවහනට අප පසුගිය දිනෙක ගොඩවැදුණේ කණින් කොණින් අසා තිබූ ඔහුගේ සුරුවිරුකම් පිළිබදව සියැසින්ම දැකගෙන මේ අපූර්ව නිර්මාණකරුවා පිළිබදව වැඩි යමක් දැනගැනීමේ අපේක්ෂාවෙනි.
ඔහු අපූරු මිනිසෙකු ලෙස හැදින්වීම අසාධාරණ නැත. ඒ අන් කිසිවක් නිසා නොව කුඩා කාලයේ සිටම දුම්රිය එන්ජින්වල කුඩා ආකෘති ඒ අයුරින්ම තැනීමට ඔහු තුළ තිබූ උපන් හපන්කම නිසාය. වසර හැට අටක් තිස්සේ ගෙවී ගිය ඔහුගේ ජීවිත කාලය පුරාවට, ඔහුගේ දෑතින්ම නිම වූ විවිධ වර්ගවල දුම්රිය ඇන්ජින් ආකෘති එකතුවකින් මේ වන එඩ්වඩ් පෙරේරා මහතා පොහොසත්ය. මේවා දුම්රිය ඇන්ජින් ආකෘති යැයි කීවාට ඒවා සැබෑ දුම්රිය ඇන්ජිමකින් වෙනස් වන්නේ ප්‍රමාණයෙන් පමණි. මෙම ආකෘතිවල වර්ණය , හැඩය, රෝද, ඇතුළත නිමාව පමණක් නොව රේල් පීලී උඩ ගමන් ගනිද්දී නැගෙන ඩක, ඩකස් ශබ්දය පවා සැබෑ දුම්රිය ඇන්ජිමකට බෙහෙවින් සමානය.
කෝච්චි ඇන්ජින් ආකෘති තැනීමේ ‘පිස්සුව’ එඩ්වඩ් පෙරේරා මහතාගේ ඔලුවට ගහන්නේ ඔහු පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිද්දීය. සිය නිවස ඉදිරිපිටින් හූ හඩ තලාගෙන උතුරු දුම්රිය මග දිගේ ඉහළ සහ පහළට දිවෙන දුම්රියන් සිය ගණනක් නෙත් සිත් පුරා දැක බලා ගත් කුඩා එඩ්වඩ් පෙරේරා දුම්රිය එන්ජින්වල ආකෘති සෑදිමට අත්පොත් තියන්නේ වයස අවුරුදු දහයේදීය.
එතැනින් ඇරඹුණු ගමනේදී දුම්රිය එන්ජින් පිළිබදව තිබූ කැමැත්ත හා කුතුහලය වඩා වඩාත් වර්ධනය කරගනිමින්, ඒවායේ ක්‍රියාකාරිත්වය ගැනද අධ්‍යනය කරන්නටද යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු මේ වන විට විවිධ දුම්රියවල එන්ජින් මැදිරි හතක ආකෘති හිමිකරුවෙකි. දුම්රිය ඇන්ජින් ආකෘති සමග හැපෙමින් ළදරු අවධියේ සිට මේ දක්වා ආ දුර පිළිබදව එඩ්වඩ් පෙරේරා මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.
“ මම එක වසරේ ඉදන් පහ වසර දක්වා ඉගෙනගත්තේ අනුරාධපුර නිවන්තක චේතිය විදුහලේ. අපි ඒ කාලේ හිටියේ අනුරාධපුරේ. ගේ ඉස්සරහින්ම තමා රේල් පාර තිබුණෙ. කෝච්චි යන හැම වෙලාවෙම මම පාර අයිනට ගිහින් බලාගෙන ඉන්නවා. එහෙම ඉද්දි තමා මට හිතුනේ කෝච්චියේ එන්ජිමක් හදන්න ඕනෙ කියලා. ඒකට මම මුලින්ම යොදා ගත්තේ කෝච්චි වලින් වැටෙන ග්‍රීස්. ඒවා වලං මැටි වගේ හයියයි. ඒවායෙන් පලමු වතාවට දුම්රිය එන්ජිමක ආකෘතියක් හැදුවා. ඒක මට ලොකු පන්නරයක් වුනා. ඊට පස්සේ තමා මට හිතුනේ ගමන් කරන්න පුළුවන් විදියට එන්ජින් එකක් හදන්න ඕනෙ කියලා.“
“මුලින්ම ග්‍රීස් මැටිවලින් හදපු එන්ජිමේ ආකෘතිය දෙවනුව මම ලී වලින් හැදුවා. ඒත් රේල් පාරක දුවන්න පුළුවන් කමක් ඒකෙන් ලැබුනේ නෑ. ඒ නිසා එන්ජින් පිලිබද හොද අධ්‍යනය කරලා තමා දුවන්න පුළුවන් විදියට එන්ජින් ආකෘති හතක් නිර්මාණය කළේ. මේවා ආකෘති වුනත් ඇත්ත දුම්රිය එන්ජින්වල තියන අංගෝපාංගවලින් සියයට අනූ නවයක්ම මේවයේ තියනවා. මට නිවාඩු ලැබෙන වෙලාවය තමයි මේවා නිර්මාණය කළේ. මේවා හදන්න අමුද්‍රව්‍ය විදියට අරගෙන තියෙන්නේ යකඩ රේසර්, යකඩ පතුරු, මෝටර්, ස්ප්‍රීන් වගේ දේවල්. ගෙදරට දෙනවොට් 230 විදුලිය ට්රාන්ස්පෝමරයකට දීලා , ඒ විදුලි ධාරාව වොට් 12 ට අඩු කරලා තමා මේක එන්ජින් ආකෘති හදලා තියෙන්නේ. ”
”ඔබගේ මේ නිර්මාණවලට කොතැනකින් හරි ඇගයීමක් ලැබිලා තියනවද ?” අපි එඩ්වඩ් මහතාගෙන් ඇසීමු.
”ඇත්තටම නෑ. එහෙම ඇගයීමක් ලැබිලා නෑ. මේ නිර්මාණ දිහා බලලා මම මගේ හිතින් ඇගයීමක් කරනවා. ඒක විතරයි. තුන් හතර දෙනෙක් මේ කෝච්චි ආකෘති ටික ප්‍රදර්ශණවලට අරන් ගිහිං විශාල මුදලක් හම්බ කරගත්තා. ඒත් මට සතයක්වත් දීලා නෑ. දැනට මේවා හදලා වසර පහක් විතර වෙනවා. නමුත් අදටත් මේ හැම එකක්ම පණ ගැන්නුවාම එදා වගේම රේල් පිලි උඩ දුවනවා.”
එඩ්වඩ් පෙරේරා මහතා විසින් මේ වන විට නිර්මාණය කර ඇති එන්ජින් ආකෘති වර්ග පිළිබද විස්තරයක් කරන්නටද ඔහු අමතක නොකළේය.
“ මම හදලා තියෙන එන්ජින් අපේ රටේ දුවන කෝච්චිවල තියෙන ඒවා. M1, M4, M6 යන එන්ජින් වර්ග වගේම ඉස්සරම කාලේ අපේ රටේ භාවිතයට ගත්ත ගල් අගුරු එන්ජිමක ආකෘතියකුත් මම හදලා තියනවා. ඒ වගේම මම තනිවම හිතලා නව නිර්මාණයන් විදිහට හදපු එන්ජින් මැදිරි තුනකුත් තියනවා. මේ හැම ආකෘතියකම රෝද, ස්ප්‍රීන්, මැදිරි ඇතුලේ ආසන තියන විදිහත්, රේල් පීලි මත ගමන් ගනිද්දී ඇහෙන ශබ්දත් ඇත්ත දුම්රිය එන්ජින්වල වගේම තියනවා. ”
මෙවැනි සියුම් නිර්මාණ කිරීමෙන් හුදෙක් මානසික වින්දනයක් පමණක් ලබන එඩ්වඩ් මහතා එම එන්ජින් ආකෘති ක්‍රියාත්මක කළ විට රේල් පීලි මත ගමන් කරන ආකාරයද අපට පෙන්වීය. මෙතෙක් කලක් කිසිදු ඇගයිමකට ලක් නොවූ එඩ්වඩ් පෙරේරා මහතා වෙනුවෙන් වයඹ ටුඩේ වෙබ් අඩවිය තැබූ මේ කෙටි සටහන හෝ ඔහුගේ මේ මහගු නිර්මාණයන් වෙනුවෙන් පිදෙන සුඵ ඇගයීමක් වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු.
ඡායාරූප සහ සටහන
ගල්ගමුව අරෝෂණ මාන්නප්පෙරුම