Saturday, November 23, 2024

රාජකාරිය වෙනුවෙන් දිවි දුන් SI දසනායක IP දසනායක ලෙස අවසන් ගමන්යයි.

Must read

si_furenal_00තමන් වෙත පැවැරුණු රාජකාරිය අකුරටම ඉටුකරන්නට ගොස් සිත් පිත් නැති අපරාධකරුවෙකුගේ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් වූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂක එල්. එච්. එම්. දසනායක මහතාගේ නිසල දේහය පූර්ණ පොලිස් ගෞරව මැද ඊයේ (18 දා ) වදුරාගල, වෙරඵගොල්ල පොදු සුසාන භූමියෙහි තැන්පත් කෙරිණි.

දසනායක මහතාගේ නිවස වෙත ඊයේ දහවල් පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද රාජකාරිය වෙනුවෙන් දිවි දුන් පොලිස් නිලධාරියාගේ දේහය වෙත අවසන් බුහුමන් දක්වමින් රාජ්‍ය නායකයා ලෙස ඔහුට ගෞරව දැක්වීය.

පසුගිය දින කිහිපය පුරා ප‍්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවට පවා ඔහු වෙනුවෙන් අවසන් බුහුමන් දක්වන්නට ඇදෙන ජනගග නවත්වන්නට නොහැකි විය. නිල ඇදුමින් සැරසුණු විවිධ නිලතල හොබවමින් සිටින පොලිස් නිලදරුවෝත්, සුදු ඇදුමින් සැරසුණු සාමාන්‍ය ජනතාවත් වැළ නොකැඞී දසනායක මහතාගේ නිවස වෙත ඇදුණහ. ඔහුගේ දෙණ අසල පුටුවක වාඩි වී සුසුම් ලෑ ඒ මහතාගේ බිරිදගෙන් පළවූයේ තම හිස මත කඩාවැටුණු හදිසි විපත පිළිබද විශ්වාස කරගත නොහැකි සෙයකි. ‘‘අනේ, මගේ දරුවෝ දෙන්නගේ නම් ගම් නම් පත්තරවල දාන්න එපා. අපි පැටලිලා ඉන්නේ මර උගුලකනේ. ’’ ඕ ආයාචනාත්මකව ඉල්ලා සිටින්නේ අනාගතය පිළිබදව ඇති සාධාරණ බියකින් යුතුවය. ඇගේ ඉල්ලීමට එකගවෙමින් අපි ඇගේ හඩට කන්දෙන්නෙමු. ‘‘මගේ මහත්තයා කාටවත් වරදක් නැති කෙනෙක්. හරි කැපවීමකින් මේ රස්සාව කළේ. රැයක් නැහැ, දවාලක් නැහැ. ගෙදර හිටපු වෙලාවක් නැති තරම්. ඔය සිද්ධිය වෙන දවසේ හවස පහට විතර තමයි වැඩට ගියේ. එදා උදේ වරුවේ වත්තේ පිටියේ වැඩකරලා ඇගට ටිකක් අමාරුයි කිය කියා තමයි වැඩට යන්න ලෑස්ති වුණේ. මම කිව්වා පැරසිටමෝල් පෙති දෙකක්වත් බීලා යන්න කියලා. එතකොට එයා හිනාවෙලා කිව්වා මම හොද ෆිට් මිනිහෙක් කියලා. මහත්තයා නිතරම ඔය කතාව කියනවා. එහෙම කියලා ගෙදරින් එළියට බැස්ස කෙනාට තමයි මේ විපත වුණේ. ’’ ඇගේ කතාවට බාධාකරමින් දෙනෙතිත් ගැලූ කදුඵ අඵත් විය. ‘‘මහත්තයාට පැන්ෂන් යන්න තව දවස් පහළොවයි තිබුණේ. මම ඇගිලි ගැණ ගැණ හිටියේ ඒ දවස් ටික ගෙවෙනකම්. ’’ඕ කීවාය.

1977 පොලිස් සේවයට එක් වී ඇති දසනායක මහතා ගෙවුණු වසර විසි අටක කාලය පුරා වව්නියාව, මහඔය, අම්පාර, ගම්පහ, මීගමුව, කන්තලේ, කිලිනොච්චිය ආදී පොලිස් ස්ථාන ගනණාවක රාජකාරි කළ නිලධාරියෙකි. උතුරු නැගෙනහිර ත‍්‍රස්තවාදී ගැටුම් පැවැති සමයේදී එම පළාත්වල පොලිස් ස්ථායන්හි සේවය කරමින් දැක්වූ දක්ෂතා මෙන්ම රාජකාරි දක්ෂතාවයන් වෙනුවෙන් පිරිනැමුණු පදක්කම් ගණනාවකින්ද දසනායක මහතා ඇගයීමට ලක්වූ අයෙකි. ඉංග‍්‍රිසි, දමිළ සහ සිංහල භාෂා ත‍්‍රිත්වයම චතුර ලෙස හැසිරවීමේ හැකියාවක් තිබූ දුර්ලභ ගණයේ නිලධාරියෙකු ලෙසද දසනායක මහතා ප‍්‍රකටව සිටි අයෙකි.

රාජකාරියේදී දිවි පිදූ සිය කණිෂ්ඨ නිලධාරියාගේ නිවසට පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර සහ වයඹ සහ උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන යන මහත්වරුන්ද ඔහුට අවසන් ආචාර දැක්වූහ. දසනායක මහතාගේ දේහයට පොලිස් පරීක්ෂක නිල ඇදුමට අයත් පදක්කම් පළදවා ඔහුව පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය.

දසනායක මහතාගේ දේහය ඔහුගේ නිවසට ගෙනඒමට පෙර ඔහුගේ අවසන් සේවා ස්ථානය වූ කුරුණෑගල පොලිස් ස්ථානයේ පැය කිහිපයක් තැන්පත් කෙරුණු අතර කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතා ඇතුඵ ඔහු සමග සේවය කළ සහෝදර පොලිස් නිලධාරින් තම සහෝදර නිලධාරියාට කදුඵ පිරි දෙනෙත්වලින් යුතුව සමුදුන්හ.

දසනායක මහතා සමග රාජකාරි කළ සහෝදර පොලිස් නිලධාරින් කියන ආකාරයටත්, නාගොල්ල ගම්වාසීන්ට අනුවත් උප පොලිස් පරීක්ෂක දසනායක යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘‘හොද ’’පොලිස්කාරයෙකි. බෙහෙවින් නිවුණු මිනිසෙකු වූ ඔහු රාජකාරි ජීවිතයේදී සිය පහළ නිලධාරියෙකුට පවා ආමන්ත‍්‍රණය කර ඇත්තේ කණට නොඇසෙන තරමේ පහත් ස්වරයකින් බව කියැවෙයි. මළගෙදරදී අපට හමු වූ ගම්වාසියෙකු ප‍්‍රකාශකළේ දසනායක මහතා පොලිස් නිලධාරියෙකු බව නාගොල්ල ගමේ වැඩිදෙනෙකු නොදන්නා බවය. දසනායක මහතා ගම තුළ ජීවිත් වී ඇත්තේ පොලිස්කාරයෙකු ලෙස නොව අහිංසක ගැමියෙකු ලෙසට බව ඉන් පැහැදිලිය. ඔහුගේ දෙණට අවසන් බුහුමන් දක්වන්නට ඔහුගේ නිවසට ගොඩවදින ඕනෑම අයෙකුට ඔහු අවංක නිලධාරියෙකු බව සනාථ කරගැනීමට වැයවන්නේ නිමේෂයකි. වසර තිස් අටක පොලිස් ජීවිතයේදී ඔහුට ගොඩනගාගත හැකි වී ඇත්තේ කාමර හතරකින් යුත් කුඩා නිවසක් පමණි. එහි ජනෙල් දොරවල් හෝ කපාරාරු බිත්ති නැත. සරලව කිවහොත් එම නිවස හැදින්විය හැක්කේ ගඩොල් බිත්ති ටිකක් මත ඉදිකළ වහළක් ලෙසටයැයි සටහන් කරන්නේ දසනායක මහතාට කරන අපහාසයක් නොව ඔහුගේ අවංක රාජකාරි දිවියට කෙරෙන ගරුත්වයක් ලෙසිනි.

මෙම වෙඩි ප‍්‍රහාරයේදී තුවාල ලැබූ පොලිස් සැරයන් බණ්ඩාර ( 58677 ) සහ පොලිස් කොස්තාපල් රියදුරු සුබසිංහ (89743 ) යන නිලධාරින් දෙදෙනාද තවමත් කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි ප‍්‍රතිකාර ලබමින් සිටිති. ඔවුන් අතරින් කොස්තාපල් රියදුරු සුබසිංහ මහතාට එල්ල වූ එක් වෙඩිල්ලක් ඔහුගේ වකුගඩුවකට ඇතුඵවීම නිසා එම වකුගඩුව ශල්‍යකර්මයක් මගින් ඉවත්කිරීමට වෛද්‍යවරුන් විසින් පියවර ගෙන තිබේ. ඊයේ දිනයේ දෙවැනි වතාවටද ශල්‍යකර්මයට භාජනය කළ එම නිලධාරියා කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ඇදක් මත තවමත් ජීවිත සටනේ යෙදී සිටී.

දසනායක මහතා මෙලොවින් නික්ම ගියේ සිය පණ දෙවැනි කොට රාජකාරිය ඉටුකළ විශිෂ්ට පොලිස් නිලධාරියෙකු වශයෙන් මෙන්ම හිත හොද මිනිසෙකු ලෙසද ලාංකීය ජනතාවගේ හදවත් තුළ නොමැකෙන සටහනක් ඉතිරි කරමින් බවද අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

දසනායක මහතාගේ දේහය කුරුණෑගල පොලිස් ස්ථානයට ගෙන ආ අවස්ථාවsi_furenal_01 si_furenal_02කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් අවසන් බුහුමන් si_furenal_03දසනායක මහතාගේ අඩක් ඉදිකළ නිවස.si_furenal_38නිවසේ තැන්පත් කෙරුණු උප පොලිස් පරීක්ෂක දසනායක මහතාගේ දේහය
si_furenal_07 si_furenal_06 si_furenal_05 si_furenal_10 si_furenal_08 si_furenal_12
si_furenal_09
si_furenal_04
ජනපති බුහුමන්si_furenal_13 si_furenal_14 si_furenal_15පූර්ණ පොලිස් ගෞරව මැද අවසන් කටයුතු සිදු වූ අයුරුsi_furenal_16 si_furenal_17 si_furenal_18 si_furenal_19 si_furenal_20 si_furenal_21 si_furenal_22 si_furenal_23 si_furenal_24 si_furenal_25 si_furenal_26 si_furenal_27 si_furenal_28 si_furenal_29 si_furenal_30 si_furenal_31 si_furenal_32 si_furenal_33 si_furenal_35 si_furenal_36 si_furenal_37 si_furenal_40 si_furenal_41 si_furenal_42 si_furenal_43

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article