මැතිවරණ රාජකාරියක් සදහා තම වසමට යමින් සිටියදී බීමත් පුද්ගලයෙකු විසින් කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ බව කියන ගිය ග්රාම නිලධාරිවරයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී සිටී.
හිසට සහ මුහුණට සිදු වූ තුවාල සහිතව කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයෙහි මෙලෙස ප්රතිකාර ලබන්නේ මල්ලවපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව මැහිඇල්ල දකුණ වසමෙහි ග්රාම නිලධාරිවරයා ලෙස කටයුතු කරන සී. කේ. එස්. ලේකම්ගේ මහතාය.
තමාට සිදු වූ පහරදීම පිළිබදව වයඹ ටුඩේ වෙත විස්තර කළ ලේකම්ගේ මහතා මෙසේ කීය.
‘‘මම මල්ලවපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව මැහිඇල්ල දකුණ ග්රාම නිලධාරිවරයා වශයෙන් සේවය කරනවා. ඊට අමතරව හැවන වසමේ වැඩබලන ග්රාම නිලධාරිවරයා වශයෙනුත් කටයුතු කරනවා. පසුගිය 21 වැනිදා හවස හතරට විතර ඡන්ද නාම ලේඛණ එකතු කරන්න මම හැවන කොට්ඨාශයට යනකොට ග්රාම නිලධාරි කාර්යාලය කිට්ටුව තියෙන හන්දියේ පිරිසක් එකතුවෙලා ඉන්නවා දැක්කා. මම එතැනින් යනකොට ඒ පිරිස අතරේ හිටපු බීමත් පුද්ගලයෙක් මගේ මෝටර් බයිසිකලේ නවත්තලා බලහත්කාරයෙන්ම බයිසිකලයට නැග්ගා. පස්සේ මම කිව්වා මම මේ වසමේ ග්රාම නිලධාරි. කරුණාකරලා බයිසිකලෙන් බහින්න කියලා. මට උඹ කවුරු වුනත් කමක් නෑ යකෝ කියලා ඒ පුද්ගලයා මගේ අතේ තිබුණු හෙල්මට් එක උදුරාගෙන මගේ මූණටයි, ඔලුවටයි ගහගෙන ගහගෙන ගියා. ඒ පාරවල් වැදිලා මම දාගෙන හිටපු ඇස් කණ්ණාඩිය කුඩු වෙලා බිම වැටුණා. ටික වෙලාවකට පස්සේ මට තේරුණා මගේ ඔලුවෙන් ලේ ගලාගෙන එනවා කියලා. මම ඇදගෙන හිටපු යුනිෆෝම් එක ගලවලා ඔලුවට තියලා තදකරගත්තා. ඒත් ලේ නැවතුණේ නැහැ. පස්සේ එතැන හිටපු අය එකතුවෙලා ත්රීවිලර් එකක දාලා මාව කුරුණෑගල ඉස්පිරිතාලෙට අරන් ආවා. ඉස්පිරිතාලෙදී මගේ ඔලුවේ තුවාලෙට මැහුම් හයක් දාන්න වුණා. පහරදීමෙන් දවස් ගාණක් ගිහිල්ලත් මගේ මුහුණේ ඉදිමුම බැහැලා ගිහින් නැහැ. ’’ යැයි පැවසීය.
පහරදීමට සම්බන්ධ පුද්ගලයා මේ වන විට ප්රදේශයෙන් පලාගොස් සිටින අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් ක්රියාත්මක බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය කියයි.
පහරදීමට ලක් වූ ග්රාම නිලධාරිවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන අයුරු.