පසුගිය වසරේ අවසානයට සාපේක්ෂව මේ වන විට ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට විස්සකින් පමණ ඉහළ ගොස් ඇතැයි කියනු ලැබේ.ඒ අනුව අප රටට ආයනනය කරන ආහාර ඇතුළු සෑම දෙයකම මිල යම් පමණකින් හෝ අඩු විය යුතු ය. නමුත් මේ දක්වා ඒ වාසිය බනිස් ගෙඩියකින් හෝ ප්ලෙන්ටියකින් වත් සාමාන්‍ය ජනතාවට දැනී නැතැයි බොහෝ දෙනෙක් කියති. කන බොන දේවල් පිළිබඳව දිගින් දිගටම වාද විවාදවල පටලැවීමේ සහජ මැලි බවක් අප සංස්කෘතිය තුළ ඇත. බොජුන් හලකට පිවිස කුසගින්නට යමක් නෑ බිව් පසු බොජුන් හලෙන් කියනු ලබන ගණන කීය හෝ වේවා එය ගෙවා ඉන් පිටත් වීම මිස උදරයට ගිය දේ සම්බන්ධයෙන් කේවල් කිරීමේ පුරුද්දක් ද අප තුළ නැත. එහෙත්, අප සතු මේ දුර්වල භාවයෙන් ප්‍රයෝජන ගන්නා කූට බොජුන් හල් හිමියෝ අපගේ ඉන ඉහ අත ගා ගන්නා අවස්ථා ඉතා සුලභ ය. ඉතා මෑත දිනයක මගේ හිතවතෙක්, තම බිරිඳ සහ ඇගේ මාපිය වැඩිහිටියන් කැටුව අනුරාධපුරයේ සිද්ධස්ථාන වැඳ පුදා ගන්නට ගියේය. ඔවුන් දහවල් ආහාරය ගන්නා ලද්දේ අතරමඟ බොජුන් හලකිනි. ඇනවුම් කළ බත් සහ මාළු පිණි වලින් කිවුල් රසට වැඩි රසයක් මතු නොවූයෙන් ඔවුහු අතිරේක වශයෙන් බැදපු කුඩා මාළු කූරින් ද ද ගෙන්වා ගත්හ. කෑම කා අවසානයේ පැමිණි බිල්පත දුටු ඔවුනට අදහාගත නොහැකි විණි. එහි සඳහන්ව තිබූ ගණන රුපියල් පන් දහස් හත් සියයකි. මෙය වැරදීමකින් මාරු වී පැමිණි බිලක් යැයි මගේ හිතවතා සිතීය. එබැවින් හෙතෙම ඒ බව සේවකයාට දැන්වීය.“කෑම එකක් රුපියල් හාරසිය පනහයි මාළු කූරියෙක් රුපියල් පන්සියයයි ’ වෙටර්වරයා රුපියල් රුපියල් පන් දහස් හත් සියයට සරිලන සේ ගණන් සෑදීය.එහෙත් ග්‍රෑම් පනහකට වඩා බරක් නැති එම මාලු කූරියකු රුපියල් පන්සියයක් මිල වූයේ කෙසේද?යන්න මුල් කොට වාදයකට එක් වීමට නොකැමති වූ නම්බුව බේරාගෙන එතැනින් පිටවූහ. සාමාන්‍යයෙන් නිත්‍ය පාරිභෝගික පිරිස් නොපැමිණෙන ප්‍රධාන මාර්ග අද්දර පිහිටි බොජුන් හල්වල මෙම අධම ජාවාරම ඉතා සරුවට කෙරේ. ඒ හැරුණු කොට දුර සේවා බස් රථ අතරමඟ ගිමන් හරින ස්ථානවල ද මෙය සුලභව දැකිය හැක.ඒ ඇතැම් ස්ථාන වල බනිස් එකක් සහ පේන්ටී එකක් රුපියල් එකසිය පනහකි.නැතිනම් ඊටත් වැඩි ය.ඉහත සඳහන් අන්දමට ශ්‍රී ලංකා රුපියල ඉහළ නැඟ ඇත්තම් ඒ වාසිය ජනතාව අතරට පත් නොවන්නේ මන්ද?
අනෙක මෙවන් ගසා කෑම් බහුල ලෙසම සිදුවන්නේ නැති බැරි මිනිහා ගෙනි. සමාජයේ අත මිට ඇත්තවුන් යන තරු පහේ හෝටල්වල සේම සාමාන්‍ය වත් පොහොසත් කම් ඇති උදවිය භාවිතා කරන භෝජනාගාරවල ආහාර මිල ගණන් කොතෙක් ඉහළ වුව ද මෙවන් “මංකොල්ල” ඒවායේ දක්නට නැත. එහි අලෙවි කෙරෙන ආහාර පාන ඒවායේ මිල ගණන් සහිතව මෙනූ (Menu) කාඩ් පතක් මගින් පාරිභෝගිකයාට පළමු කොටම දක්වනු ලැබේ. ඉන් තමන්ගේ සිතට මෙන්ම පොකැට්ටුවට ද සරිලන ආහාර පාන තෝරා ගෙන නිරවුල් මනැසින් භුක්ති විඳීමේ අවකාශය ඔවුනට ලැබේ.
ඒවායින් නිකුත් කරන බිල් පත් ද නිරවුල් ය. පාරිභෝගිකයා විසින් ගනු ලැබූ ආහාර පානවල නම සමඟ ඒවායේ මිල ගණන් ද වෙන වෙනම ලියා එකතු කොට ඊට සේවා ගාස්තු, පිරිවැටුම බදු ආදිය ද එක්කොට පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු මුදල මෙම බිල්පත් වල ඉතා පැහැදිලිව දැක්වේ. මේ ඉහළ පන්තියේ බොජුන් හල්වල ආහාර සේම බිල්පත් ද පිරිසිදු ය. මේ අනුව අපිරිසිදු ආහාර අනුභව කොට අපිරිසිදු බිල් පතත් මගින් කූඨ ව්‍යාපාරිකයෙකු වෙතින් මිල පාරිභෝගික දූෂණයට ලක්වීම අද කාලයේ පුංචි මිනිහා ගේම උරුමයක් වී තිබේ.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති අනුව ආහාර පාන අලෙවියේ දී නියමිත මිල ගණන් පාරිභෝගිකයන් හට ප්‍රදර්ශනය කිරීමට ව්‍යාපාරිකයෝ නීතියෙන් බැඳී සිටිති. මිල දර්ශකයක්,මෙනූ පතක්, මගින් හෝ අලෙවියට තබා ඇති ආහාර ද්‍රව්‍යවල ලේබල් මගින් ඒවායේ මිල පාරිභෝගිකයට දැක්වීමට ව්‍යාපාරිකයනට පහසුවෙන් පුළුවන.මේවා කඩ කරන කවර හෝ වෙළෙන්දෙකුට එරෙහිව නීත්‍යානුකූලව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට බලය තිබේ.එහෙත්, මීට මඳ කලෙකට ඉහත කොළඹ, පිටකොටුව, මරදාන, බොරැල්ල ආශ්‍රිතව භෝජන ශාලා හතළිහක් ඇසුරින් අප විසින් කළ විමසුමක දී මේ කවර ක්‍රමයකින් හෝ පාරිභෝගිකයන්ට ආහාර මිල ගණන් ප්‍රදර්ශනය කළ බොජුන් හල් හමුවූයේ හතරක් පමණි.තවත්, බොජුන් හල් දෙකක අපූරු මිල දර්ශක විශේෂයක් දැකගත හැකි විය.ඒවායේ ආහාර පානවල නම් සටහන්ව තිබූ අතර මිල ගණන් දැක්වෙන රු: ශත තීරුව හිස්ව තිබිණ.හරි නම් ඉන් පැවසෙනුයේ ඒ ආහාර නොමිලේ ලබා දෙන බවකි.
සාමාන්‍ය ජනතාව පරිහරණය කරන බොජුන් හල්වල ආහාර මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීමත් බිල් පතක් ඉදිරිපත් නොකිරීමත් පිළිබඳ පාරිභෝගිකයාට තදින් සැක උපදවා ගැනීම යුක්ති සහගත ය. ඒ සැකය පාරිභෝගිකයන් ගේ යහපතට හේතුවෙයි. මිල දර්ශනයක් හෝ වෙනයම් ක්‍රමයක් මගින් ආහාර පාන මිල නොදක්වන අවස්ථාවල ඒවායේ මිල කලින් දැන ගන්නට පාරිභෝගිකායට ක්‍රමයක් නැත. එසේම යමෙකු එම බොජුන් හලෙන් කන බොන සියල්ලේම මිල ගණන් එකතු කොට මුද්‍රිත බස් ටිකැට්ටුවක් තරම් කුඩා තුණ්ඩුවකට දමා එම ආහාර පානවල මිල ගණන් පාරිභෝගිකයන් කෙරෙන් මුළුමනින්ම වසන් කිරීමට බොහෝ ව්‍යාපාරිකයෝ පසුබට නෙවෙති. පාරිභෝගික ලදු පතක් වශයෙන් තැකිය නොහැකි එම බිල්පත් ද බොජුන් හලේ මුදල් අයකැමි තැන සිය කවුන්ටරයේ පසෙක ඇති යකඩ කූරෙහි අමුනනුයේ තමන් මිලදී ගත් භාණ්ඩ වල මිල ගණන් දැන ගැනීමට ඇති පාරිභෝගික අයිතිය උල හිඳුවා මරන්නාක් මෙනි.
අපගේ වැටහීම අනුව ඕනෑම බොජුන් හල් හිමියෙකුට එහි අලෙවි කරනු ලබන ආහාර පානවල මිල දර්ශකයක් මගින් ඉදිරිපත් කිරීමේ කිසිදු අසීරුවක් නැත. යමෙකු අනුභව කළ ආහාර පාන සමඟ ඒවායේ මිල ගණන් ද සහිත ඉලෙක්ට්‍රෝනික ලදු පතක් ලෙස ඔවුන් අතට පත් කිරීම ද බොජුන් හල් හිමියෙකුට මහ ලොකු කාරියක් නොවේ.එවැනි ජංගම කෑෂ් රෙජිස්ටර පවා අද ඕනැ තරම් තිබේ.අද බස් ටිකට් නිකුත් කරනුයේ ඒම ජංගම කෑෂ් රෙජිස්ටර වලිනි.ඒ අනුව අපට ඉන් පැහැදිලිවම කිව හැක්කේ ජාතික ආරක්ෂාව සේම පාරිභෝගික ආරක්ෂාව සුරැකීමට නිරතුරුව බැඳී සිටින රජය අද වන විට එම දෙවන වගකීම ද බරපතල ලෙස පැහැර හැර ඇති බවකි.
හේමන්ත රන්බණ්ඩාර