Friday, November 22, 2024

මුහුදේ පා‍වෙමින් සිටියදී බේරා ගත් මේ විදේශිකයා හදුනනවාද ?

Must read

ගැඹුරු මුහුදේ පාවෙමින් සිටියදී ධීවරයන් පිරිසක් විසින් බේරාගෙන මෙරටට රැගෙන ආ විදේශිකයෙකු හදුනාගැනීම සදහා වෙන්නප්පුව පොලිසිය මහජන සහාය පතයි.

වෙන්නප්පුව, කඩවත සාන්ත අන්තෝනි ධීවර තොටුපළින් අද උදෑසන මුහුදු ගිය ධිවරයන් පිරිසක් විසින් මෙලෙස බේරාගෙන ඇත්තේ නෝබට් ෆ්‍රැන්සිස් නැමති 21 හැවිරිදි විදේශික තරුණයෙකි.

වෙන්නප්පුවේ සිට සැතපුම් 12 ක පමණ දුරින් පිහිටි ගැඹුරු දියඹෙහි පාවෙමින් සිටියදී අද උදෑසන මෙම වි‍දේශික තරුණයා ධීවරයින්ට හමු වී ඇති අතර ඔහුව ගොඩබිමට ගෙනඒමෙන් පසුව ධීවරයින් විසින් වෙන්නප්පුව පොලිසිය වෙත භාර දී තිබේ. ඒ වන විට අධික වෙ‍හෙසකින් පසු වූ මෙම විදේශිකයා මාරවිල රෝහලට ඇතුලත් කිරීමට වෙන්නප්පුව පොලිසිය විසින් කටයුතු කර තිබේ.

මෙම විදේශිකයාව බේරාගත් බෝට්ටුවේ සිටි වෙන්නප්පුව , කඩවත ප්‍රදේශයේ පදිංචි නිහාල් කෲස් මහතා මෙසේ පැවසීය.

”අපි අද පාන්දර මුහුදු ගිහින් උදේ 6 ට විතර ආපහු ගොඩට එද්දි තමා මෙයාව දැක්කේ. අපි මුලින් හිතුවේ බෝයාවක් කියලා. එත් බෝට්ටුව ළංවෙද්දි අත් දෙකක් උස්සනවා පෙණුනා. අපි එයාව බෝට්ටුවට නග්ගගෙන කතා කළා. එත් අපි කියන දෙයක් තෙරුණේ නැති නිසා අපි හිතුවා මෙයා විදේශිකයෙක් වෙන්න ‍ඇති කියලා. අපි ළඟ තිබුණ වතුර බොන්න දීලා ගොඩබිමට
ගෙනත් පොලිසියට භාර දුන්නා. අපි නොදැක්ක නම් සමහරවිට මෙයා මුහුදේ ගිලිලා මැරෙන්නත් තිබුණා.”

මාරවිල රෝහ‍‍ලේදී මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව විදේශිකයා‍ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරී ඇති බවත් , ශාරීරිකව සහ මානසිකව බෙහෙවින් දුර්වල සිටින මෙම විදේශික තරුණයා තම අනන්‍යතාවය පිළිබදව පරස්පර විරෝධී ප්‍රකාශ කරමින් සිටින බව රෝහල් අරංචි මාර්ග කියයි.

මෙම විදේශිකයා පිළිබද වැඩිදුර තොරතුරු කිසිවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර තමන් මෙරට සංචාරයකට පැමිණ සිටියදී මුහුදේ දියනෑමට ගිය අවස්ථාවක තමන් මුහුදට ගසාගෙන ගිය බව පමණක් ඔහු විසින් ප්‍රකාශ කරමින් සිටින බව පොලිසිය කියයි.

මෙම විදේශිකයා පිළිබද තොරතුරක් දන්නේ නම් වෙන්නප්පුව පොලිසියට හෝ මාරවිල රෝහලට දන්වන මෙන් වෙන්නප්පුව පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

වෙන්නප්පුව පොලිසිය – 0312255222     මාරවිල මූලික රෝහල- 0322254261

සටහන සහ ඡායාරූප
නයිනමඩම චන්දන ප්‍රනාන්දු

බේරාගත් විදේශික තරුණයා මාරවිල රෝහ‍‍ලේ ප්‍රතිකාර ලබන අයුරුmuhude _wedesiakaya3 muhude _wedesiakaya2
විදේශිකයා බේරාගත් ධීවරයින් පිරිසmuhude _wedesiakaya4
විදේශිකයා බේරාගැණුනු බෝට්ටුවmuhude _wedesiakaya1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article