පුත්තලම සහ හලාවත පොලිස් අධිකාරි කාර්යාලයන්හි ගණකාධිකාරිවරයා ලෙස සේවය කළ අයෙකු සහ පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලය යටතේ සේවය නියුතු පොලිස් සැරයන්වරයකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු බන්දුල ගුණරත්න මහතා නියෝග ඊයේ (11 දා) රාත්‍රියේ නියම කළේය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ බී. සී. වසන්ත කුමාර සහ පොලිස් සැරයන් ඩබ්. එස්. තමෙල් (27716) යන අයවළුන්ය.
පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ සිදුකරනු ලැබු අළුත්වැඩියාවක් සම්බන්ධයෙන් කූට ලේඛන සැකසීම , රජයේ දේපල වංචා කිරීම , කුමන්ත්‍රණය කිරීම , රජයේ සේවයේ යෙදී සිටියදී සාවද්‍ය ගිණුම් පරිහරණය යන චෝදනා යටතේ පොලිස් විශේෂ විමර්ශණ ඒකකය (SIU) මගින් සිදුකළ මූලික පරීක්ෂණ අවසන්වීමෙන් අත්අඩංගුවට ගත් පසුව සැකරුවන් දෙදෙනා ඊයේ රාත්රියේදී පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ සිදුකරනු අළුත්වැඩියාවක් සදහා සැකරුවන් දෙදෙනා ඇතුළු තවත් පිරිසක් එක්වී ව්‍යාජ ටෙන්ඩර්පත් ඉදිරිපත් කර , තම හිතවතුන් ලවා බාල තත්වයේ අමුද්‍රව්‍ය යොදවා එම අළුත්වැඩියාව සිදුකර ඇති බවට පොලිස් විශේෂ විමර්ශණ ඒකකය මගින් සිදුකළ විමර්ශණයන්වලදී අනාවරණය වී තිබේ.
මෙම අලුත්වැඩියාව සදහා ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් මුදල් හා අමුද්‍රව්‍ය ලබාගෙන ඒ සදහා චෙක්පතකින් ලැබුණු රජයේ මුදල් ව්‍යාජ ලෙස මාරුකරගෙන මුදල් ලබාගෙන ඇති බවද එම ඒකකය විසින් හෙළිකරගෙන තිබේ.
මෙයට සම්බන්ධ බව කියන තවත් නිලධාරින් පිරිසක්ද ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.