Sunday, January 19, 2025

මැල්සිරිපුර පිහි ඇණුමකින් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු මරුට.

Must read

malsiripura_double_murder

කාන්තාවකට කළ විහිලුවක් දුරදිගයාමෙන් ඇති වූ පිහි ඇණුමකින්, මාස නවයක් වයසැති කුඩා බිළිදෙකුගේ මවක් ඇතුලු දෙදෙනෙකුට ජීවිතය අහිමිවීමේ අවාසනාවන්ත සිදුවීමක් මැල්සිරිපුර, පන්ලියද්ද ප‍්‍රදේශයෙන් ඊයේ  (31 දා) වාර්තා විය.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේ මැල්සිරිපුර, පන්ලියද්ද, හැවනතැන්න ගම්මානයේ පදිංචි අනෝමා මල්කාන්ති නැමති 37 හැවිරිදි දෙදරු මවක් සහ එම ගම්මානයේම පදිංචි අජිත් කුමාර දිසානායක නැමැති 36 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය අනෝමා මල්කාන්ති නැමැති කාන්තාව ඊයේ පස්වරුවේ පාසල් නිම වී පැමිණි සිය වැඩිමහල් දරුවා නිවසට කැදවාගෙන යමින් සිට අතර ඇය ගමන්ගත් මාර්ගයේම පිහිටි නිවසක පදිංචි අජිත් කුමාර නැමැත්තා විසින් ඇයට එහිදී නොමනා විහිලුවක් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. කාන්තාව විසින් ඊට එරෙහිව ප‍්‍රතිචාර දැක්වීමත් සමග දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබෙන බවත්, එම බහින්බස්වීම අතරතුරදී අජිත් කුමාර නැමැත්තා විසින් ඔහුගේ නිවසේ තිබූ මන්නා පිහියක් ගෙනැවිත් කාන්තාව අමානුෂික අයුරින් කපා කොටා ඇති බවද පොලිසිය කියයි. පිහි ප‍්‍රහාර ගණනාවක් වැදී බරපතල තුවාල ලබා සිටි කාන්තාව එම ස්ථානයෙන් ඉවත්කරගෙන රෝහල් ගතකිරිමට අසල්වාසීන් විසින් උත්සාහ කර ඇතත් අජිත් කුමාර නැමැත්තා විසින් ඔවුන් වෙතද පිහිය දිගුකර තර්ජනය කරමින් එම ස්ථානයෙන් අසල්වාසීන් පළවාහැර තිබේ. සිද්ධිය සැල වී එතැනට පැමිණි මියගිය කාන්තාවගේ සැමියා මරණීය තුවාල ලබා සිටින තම බිරිද එතැනින් ඉවත් කරගැනීමට උත්සාහ දරා ඇති අතර අජිත් කුමාර ඊට ද එරෙහිවීම නිසා අනෝමා මල්කාන්තිගේ සැමියා ඔහුගේ අත තිබු පිහියකින් අජිත් කුමාරට පහර දී තිබේ. එම පිහි ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අජිත් කුමාර සහ බිම වැටී සිටි අනෝමා මල්කාන්ති ගොකරැල්ල දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි අජිත් කුමාර නැමැත්තා ජීවිතක්ෂයට පත් වී තිබේ. බරපතල තුවාල ලබා සිටි අනෝමා මල්කාන්ති කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවුණු අතර එහි දැඩි සත්කාර එකකයට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. ඝාතනයට ලක් වූ කාන්තාව නව මස් වියැති බිලිදෙකුගේ මවක්ද වන්නීය.

මියගිය කාන්තාවගේ 38 හැවිරිදි සැමියා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අතර අද (01 දා ) කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය. ගොකරැල්ල පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ලලිත්, උප පොලිස් පරීක්ෂක බස්නායක, පොලිස් සැරයන් පේ‍්‍රමරත්න (24575), වීරතුංග (16625), පොලිස් කොස්තාපල් තිස්ස (34030) සහ කරුණාතිලක (38844) යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article