Saturday, January 18, 2025

මැතිවරණ නිලධාරීන්ගේ කෙරුවාවෙන් ඡන්දය අහිමිකර ගත් ඇග්න්ස් අම්මා කතා කරයි.!

Must read

පසුගිය 17 වැනිදාට යෙදී තිබූ මහ මැතිවරණ ඡන්ද විමසීමේදී රට පුරා වෙසෙන ඡන්ද දායකයින් මහත් උද්යෝගයෙන් සිය ඡන්ද අයිතිය භාවිතා කරමින් සිටියහ. රටේ සතර දෙසින් ලැබුණු වාර්තා පදනම් කරගනිමින් දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් වෙතින් කියැවෙමින් තිබුණේ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණව පැවැත්වෙමින් ඇති බවකි. සියල්ල එසේ සිදුවෙද්දී කුරුණෑගල පැත්තෙන් ලැබුණු හදිසි ආරංචියකින් කියැවුණේ පක්ෂග‍්‍රාහීව කටයුතු කිරීම හේතුවෙන් මරඵවාව ප‍්‍රජාශාලාවේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරී කටයුතුවල යොදවා සිටි නිලධාරියෙකු මැතිවරණ රාජකාරීවලින් ඉවත් කරනු ලැබූ බවකි. මරඵවාව ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති වයෝවෘධ මවක් විසින් තමන්ගේ දෑස් හරි හැටි නොපෙනන බැවින් අලියා සලකුණ ඉදිරියේ කතිරය ගසන ලෙස පවසමින් භාරදුන් ඡන්ද පත‍්‍රිකාවක අදාළ නිලධාරියා විසින් බුලත් කොළය ඉදිරියේ කතිරය ගසාතිබීම මේ කලබලයට හේතු වූ බවද කියැවිණි.

කෙසේ වෙතත් මේ කතාවෙහි අගමුල නිවැරදිව සොයාගැනීම පිණිස මේ අත්දැකීමට මුහුණ දුන් වියපත් මාතාව දින කිහිපයක දුෂ්කර වෑයමකින් පසුව මුණගැසීමට අපට හැකි විය. ඇය කුරුණෑගල, මුත්තෙට්ටුගල ප‍්‍රදේශයේ පදිංචි ආර්. ඇගන්ස් නැමැති 80 හැවිරිදි වියපත් මාතාවකි. ඇගේ පුත‍්‍රයෙකු වන සුනිල් රාජරත්න මහතාද කුරුණැගල ප‍්‍රාදේශීය සභව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙකි. පාරම්පරික එක්සත් ජාතික පාක්ෂික පරපුරකින් පැවැත එන බව කියන ඇග්නස් මාතාව ඡන්දපොළේදී මුහුණදීමට සිදු වූ සිද්ධිය පිළිබදව මතකය අවදි කළේ මෙසේය.
” අපි පරම්පරාවෙන්ම හොද යූඇන්පීකාරයෝ මහත්තයෝ. මගේ ජීවිතේදී මම ඡන්ද විස්සක් විසිපහක් දාලා ඇති. කවදාවත් අලියාගෙන් පිට කතිරයත් ගහලා නෑ. දැන් මට අසූවක්. ඒ නිසා මගේ ඇස් දෙක දැන් පේනවා අඩුයි. අතිනුත් මොනවත් අල්ලන්න බැරි නිසා ලියන්න කියන්න බෑ. පහුගිය ඡන්ද හත අටක ඉදලා මම ඡන්දපොළේ ඉන්න මහත්තයෙකුට කියලා තමයි අලියට කතිරය ගහගත්තේ. අපේ දුර ඥාතියෙක් වෙන අජිත් රෝහණ මහත්තයායි, ජේ. සී. අලවතුවල මහත්තයායි, අශෝක අබේසිංහ මහත්තයායි මේ පාර ඡන්දෙට ඉල්ලන නිසා ඒ ගොල්ලන්ට මනාපයක් දෙන්න මට උවමනා වෙලා තිබුණා. ඡන්දේ දාන්න යන්න ඕනෑ කීවාම මගේ පුතයි, එයාගේ දරුවොයි එකතුවෙලා මාව වාහනේක නග්ගාගෙන මරඵවාව ඡන්දපොළට එක්කගෙන ගියා. තනියම ඇවිදින්න අමාරු නිසා මගේ මිණිබිරී තමයි මාව වත්තන් කරගෙන ඇතුළට එක්කගෙන ගියේ. ඡන්දපොළේ හිටපු මහත්තුරු පෝලිමේ ඉන්නැතුව මට ඇතුළට එන්න කියලා කිව්ව නිසා මමයි, මගේ මිණිබිරියි දෙන්නම ඇතුලට ගියා. මගේ ඇගිල්ල එහෙම පාට කරලා ඡන්දකොළේ අතට දුන්නාම මම ඒකේ හිටිය ලොකු මහත්තයාට කතාකරලා කිව්වා, අනේ මහත්තයෝ මගේ ඇස් දෙක පේන්නේ නෑ. මට මේකේ අලියාට කතිරේ ගහලා දෙන්න කියලා. පස්සේ ඒ මහත්තයා ඡන්ද පෙට්ටිය ළග අඩිරූලක් අරගෙන හිටිය තව මහත්තයෙකුට කතාකරලා කිව්වා ඔන්න ඔය ඡන්දේ දාලා දෙන්න කියලා. ඒ මහත්තයා මගේ ඡන්දකොළේත් අරගෙන මාත් එක්කම ඡන්දේ ලකුණු කරන තැනට ගියා. ඒ මහත්තයා ඡන්දේ ලකුණු කරනවා මම දැක්කත් පෙනීම දුර්වල නිසා කතිරේ ගැහැව්වේ කාටද කියලා පෙණුනේ නෑ. මම කිව්වා අනේ මහත්තයෝ ඕකේ අජිත් රෝහණ මහත්තයාගේ අංක තුනට මනාපයක් දෙන්න කියලා. අනික් දෙන්නගේ මනාප මතක නැති නිසා මම ආපහු හැරිලා මගේ මිණිපිරීගෙන් ඇහැව්වා , දුවේ අනික් මනාප අංක මොනවද කියලා. ඒක අහද්දී දුව මගේ ළගට කිට්ටු වුණා. ඒ කිට්ටු වෙනකොට දුව කොහොම හරි අර මහත්තයාගේ අතේ තිබුණු ඡන්ද කොළේ දැකලා. ඒ කොළේ කතිරේ ගහලා තියෙන්නේ අලියාට නෙ‍වෙයි, බුලත් කොළේට කියලා දුව කෑගහන්න පටන්ගත්තා.”

එතැන් සිට අපට කතාව කියන්නට ඉදිරිපත් වූයේ ආර්. ඇගන්ස් මාතාවගේ මිණිපිරියක වන සල්මලී රාජරත්නයි.

” ආච්චිට මනාප අංක අමතක වෙලා ආපහු හැරිලා මට කතා කළා. ඒකට කමක් නෑ ආචිචි , මතක තියෙන අංකේ විතරක් කියන්න කියාගෙන මම ආච්චි ළගට ගියා. ඒ අතරේ අර මහත්තයාගේ අතේ තිබුණු කොළේ එහා මෙහා වෙද්දී ඒ කොළේ කතිරෙ ගහලා තියෙන්නේ බුලත් කොළේට කියලා මම හොදටම දැක්කා. මම කිව්වා ආච්චි කතිරේ ගහන්න කිව්වේ අලියාට, ඒත් ඔයා කතිරේ ගහලා තියෙන්නේ බුලත් කොළේටනේ මහත්තයා කියලා. ඒක ඇහිලා එස් පී ඕ මහත්තයා අපි හිටපු තැනට ආවා. එයා අර මහත්තයාට බැණ බැණ එයාගේ අතේ තිබුණු කොළේ අරගෙන ඡන්දේ දාන තැනට ගියා. එතැනදී මොනව මොනවදෝ කරලා ඡන්දකොළේ දෙකට තුන නවලා ඡන්ද පෙට්ටියට දැම්මා. එහෙම කරලා අපිට කිව්වා ප‍්‍රශ්නයක් නෑ. මම ඒ ඡන්දේ අලියාට ලකුණු කරලා පෙට්ටියට දැම්මා කියලා. දැන් ඔයාලා යන්න කියලා. මම කිව්වා හරි වෙන්නේ කොහොමද ඒකේ බුලත් කොළේට කතිරේ ගහලා තියෙනවා කියලා මම හොදටම දැක්කනේ කියලා. නෑ, නෑ එතැන පොඩි ඉරි කෑල්ලක් විතරයි ගහලා තිබුණේ කියලා ඒ පාර එස් පී ඕ මහත්තයා මට කිව්වා. නමුත් මම හොදටම දැක්කා ආච්චිගේ බැලට් පේපර් එකේ බුලත් කොලේට කතිරේ ගහලා තියෙනවා. මට මගේ ඇස් දෙක විශ්වාසයි. ඒ නිසා මම ආචිචිත් එක්ක එළියට ඇවිත් ඒ වෙනකොට ඡන්දේ දාන්න ඇවිත් හිටපු අපේ ගෙවල් ළග අයියා කෙනෙකුට සිද්ධිය කිව්වා. මගේ කතාව අහලා මෙතැන ලොකු වැරුද්දක් වෙලා තියෙනවා කියලා එයා ඇතුළට ගිහින් එස් පී ඕ මහත්තයා හම්බ වුණා. එස් පී ඕ මහත්තයා ඒ වෙලාවේ හොදටම කලබල වෙලා එක එක ඒවා කියන්න ගත්තා. එයා එකපාරක් කිව්වා, ඔව් ඒකේ බුලත් කොළේට ගහලා තිබ්බා, මම අලියටත් ගැහැව්වා. දැන් ඒක කාටත් නැතිව කැන්සල් වෙනවා කියලා. ඒ අතරේ එළියේ හිටපු අය කුරුණෑගල මැතිවරණ කාර්යාලෙට කතාකරලා තිබුණා. ඒක හින්දා මැතිවරණ නිලධාරී ගොඩක් ඒ වෙලාවේ මරඵවාවේ ඡන්ද මධ්‍යස්ථානෙට ආවා. අපි ඒ ආපු හැමෝගෙන්ම ඉල්ලූවේ අපිට ආපහු ඡන්දයක් දාන්න දෙන්න කියලයි. නමුත් ඒ අය ඒක කරන්න බෑ කිව්වා. කොහොම හරි අපි ඡන්දේ දාන්න ගියේ මරඵවාවට ගියේ උදේ දහයට විතර. ආච්චිට තව ඡන්දයක් දාන්න දෙයි කියන බලාපොරොත්තුවෙන් අපි හවස 2 විතර වෙනකම් ඡන්දපොළේ හිටියා. නමුත් ඡන්දයක් ලැබෙන පාටක් නැති නැති නිසා අපි ආපහු ගෙදර ආවා.”

සිය මිණිපිරියගේ කතාව අවසන් වන තුරු බලා සිටි ඇගන්ස් මාතාව යළි කතා කළාය. ”මට ඒ ගැන හරි කණගාටුවක් තියෙන්නේ මහත්තයෝ. මේ පාර ආණ්ඩුවක් පිහිටවපු වෙලාවේ මට යූඇන්පියට ඡන්දයක් දීගන්න බැරි වුණානේ කියලා හිතෙනවා. අජිත් රෝහණ මහත්තයාට මනාපයක් දීගන්නත් බැරිවුණා. එහෙම කියලා මතක් වෙනකොට නම් හරිම දුකයි. මගේ ජීවිතේට මෙහෙම දෙයක් වුණාමයි.”

අප සමුගන්නට සැරසුණු මොහොතේදී ඇග්නස් මාතාව තවත් කාරුණික ඉල්ලීමක් කළාය. ” අන්තිමේදී මට ඡන්දයක් නැති වුණා. ඒ පාඩුව මටයි. හැබැයි මහත්තයෝ , මේකට සම්බන්ධ නිලධාරී මහත්තුරුන්ගේ රස්සා නැතිකරන්නවත්, එයාලගේ වැඩ තහනම් කරවන්නවත් මට උවමනාවක් නෑ. මොකද ඒ අයත් දරු පවුල්කාරයෝ වෙන්න ඇතිනේ. ඒ මහත්තුරුත් එක්ක මගේ තරහක්වත්. වෛරයක්වත් නෑ. මින් මතුවටවත් මේ වගේ දෙයක් නොකර හිටියොත් මට ඒ ඇති. ” ඇග්නස් මාතාව කරුණාබරිතව කිවාය.

යම් ආබාධිත පුද්ගලයෙකුගේ ඡන්දය සළකුණු කිරීම සදහා මැතිවරණ නිලධාරීන්ට ඇති නීතිමය තත්වය පිළිබදව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක‍්‍රියාකාරීත්වය ( කැෆේ ) විධායක අධ්‍යක්ෂ , කීර්ති තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම මෙලෙස පැවසීය.

” යම් ආබාධිත කෙනෙක් ඇවිත් එයාගේ ඡන්දය සළකුණු කරලා දෙන්න කියලා ඡන්දපොළ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා නම් කිසිවිටෙක ඒ ඡන්දය තනිවම සළකුණු කරන්න කිසිම නිලධාරියෙකුට අයිතියක් නෑ. අනිවාර්යයෙන්ම එය කළ යුත්තේ ජ්‍යෙෂ්ඨ ඡන්දපොළ ස්ථානාධිපති සහ කණිෂ්ඨ ඡන්දපොළ ස්ථානාධිපති යන දෙදෙනා විසිනුයි. ඒ වගේම ඡන්ද සළකුණු කිරීමේදී ඡන්ද පත‍්‍රිකාව පිළිබද යම් ගැටලූවක් මතුවුණොත් අදාළ ඡන්ද පත‍්‍රිකාව මුද්‍රා තබා සුරක්ෂිතව ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත ආපසු භාරදීමේ අනිවාර්ය වගකීමක් ජ්‍යෙෂ්ඨ ඡන්දපොළ ස්ථානාධිපතිවරයා වෙත පැවරෙනවා. කවුරු හෝ නිලධාරියෙක් මේ වගකීම්වලින් බැහැර වෙලා කටයුතු කරනවා නම් ඒක බරපතළ වරදක්. ” යැයි පැවසීය.

අජන්ත බණ්ඩාර රත්නායක.

ආර්. ඇගන්ස් මහත්මිය

maraluwawa1

ආර්. ඇගන්ස් මාතාව සහ ඇගේ මිණිපිරියක වන සල්මලී රාජරත්න

maraluwawa2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article