පුත්තලම ප්‍රදේශයේ දහම් පාසැල් දරු දැරියන් 7500 කට අධික පිරිසකට සෑම ඉරිදා දිනයකදීම නොමිලයේ බනිස් බෙදාදෙන පාලවිය, අනුර හෝටලය අධිපති ඒ.ඒ ජයසේන මහතාට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2000 වර්ෂයේ දී පමණ ජයසේන මහතා විසින් දහම් පාසැල් කිහිපයක දරු දැරියන්ට බනිස් බෙදාදෙමින් ආරම්භ කළ මෙම සත් ක්‍රියාව වසර පහළොවක් තිස්සේ අඛණ්ඩවම පවත්වාගෙන එමින් සිටින අතර දැන්ට ඒ මහතා විසින් පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන යන බෞද්ධ , කතෝලික, හින්දු දහම් පාසැල් 62 ක ඉගෙනුම ලබන දහම් පාසැල් දරු දැරියන් 7500 දෙනෙකුටම සෑම ඉරිදා දිනයකදීම නොමිලයේ බනිස් බෙදාදෙනු ලබයි.
දහම් පාසැල් දරු දැරියන් අතර බනිස් මාමා නමින් ප්‍රචලිතව සිටින පත් ජයසේන මහතා පසුගියදා අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශවයෙන් ‘ලංකා පුත්‍ර දේශබන්දු’ සම්මානයෙන් පිදුම් ලැබීමත් , ඒ මහතාගේ සේවය ඇගයීම සදහාත් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණි.
උත්සවයේ ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා පැවැත් වූ අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් එල් .එච්. එම් චිත්‍රානන්ද මහතා විසින් ජයසේන මහතාගේ සේවය අගය කරමින් උපහාර තිළිණයක්ද මෙහිදී ප්‍රදානය කළේය.
මෙම අවස්ථාවට පුත්තලම මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරි වෛද්‍ය අශෝක පෙරේරා , පුත්තලම ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී සෙනරත් සදුන්ගහවත්ත යන මහත්වරුන් සහ ප්‍රදේශයේ දහම් පාසැල් දරු දැරියන් හා ගුරුවරුන් පිරිසක්ද සහභාගි වී සිටියහ.
පුත්තලම නලින් හෙන්දුරුගොඩ