Saturday, January 18, 2025

මාවතගම ගුරුවරයෙක් තුන වසර සිසුවෙකුට මළමුත‍්‍ර පිටවෙන තුරුම වද දීලා ! ( VIDEO )

Must read

mawatagama_chaild_abuse_1

 

මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරයෙකු විසින් එම විද්‍යාලයේ තෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකු, පන්තියේ අනෙකුත් සිසුන් යොදවා අමානුෂික අන්දමින් වද හිංසාවට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාවතගම පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මාවතගම ජාතික පාසලේ ප‍්‍රාථමික අංශයට අයත් එළිමහන් පරිශ‍්‍රයකදී පසුගිය 22 වැනිදා දහවල් මෙලෙස වදහිංසාවට ලක්වී ඇත්තේ පසිදු නිම්සර කුමාර නැමැති 8 හැවිරිදි සිසුවෙකි.

තමන් මුහුණදුන් සිදුවීම පිළිබදව වයඹ ටුඩේ වෙත විස්තර කළ පසිදු නිම්සර දරුවා මෙලෙස පැවැසීය.  “ අශෝක සර් ළමයින්ට කිව්වා හයියෙන් මගේ පිටට ගහන්න කියලා. ඉතිං ළමයි ඔක්කොම එකතුවෙලා මිටි ගුලියෙන් මට ගැහැව්වා. ඊට පස්සේ සර් ළමයින්ට කිව්වා මගේ ඔලුවට කෙළ ගහන්න කියලා. ළමයි කෙළත් ගැහැව්වා. ඊට පස්සේ මගේ අත් දෙක දම්වැලකින් බැදලා ඉබ්බෙක් දැම්මා. උණ බටයක් පිටට තියලා ලණුවකින් බැන්දා. මම ඇදෙගන හිටපු ඇදුම් ටිකත් ඔක්කොම ගැලෙව්වා.  “ යැයි පැවසීය.

පහරකෑමට ලක් වූ සිසුවා විසින් අදාල පන්තිභාර ගුරුවරයාට අපහාසාත්මක වචනයකින් ඇමැතීම නිසා උරණවීමෙන් මෙලෙස දඩුවමට ලක්කළ බව එම පන්තියේ ඉගෙනුම ලබන අනෙක් සිසු සිසුවියෝ පවසති. අදාල සිදුවීම පිළිබදව විස්තර කරමින් අදහස් දැක් වූ සිසු සිසුවියන් පිරිසක් මෙලෙස පැවැසූහ. “ පසිදු ඊයේ (21 දා) සර්ට බූරුවා කියලා කිව්වා. ළමයි ගිහින් ඒක සර්ට කිව්වා. සර් ඒකට හොදටම තරහ ගිහින් , “ අනේ මම නම් මේ පන්තියේ ඉන්නේ නෑ. ඕනේ කෙනෙකුට කරගන්න දීලා මම යනවා.  “ කියලා කිව්වා. ඊට පස්සේ තමයි සර්, පසිදු එක වසරේදී කවීෂට ගහපු එකක් මතක් කරලා පසිදුට ගහන්න කියලා ළමයින්ට කිව්වේ. ඊට පස්සේ තමයි ළමයි පසිදුට ගැහැව්වේ. සර් ළමයින්ට කිව්වා ලොක් එකකුයි දම්වැලකුයි ගේන්න කියලා. රශ්මිකයි, ගයන්තයි එහෙම කට්ටියක් ගිහින් දම්වැල ගෙනාවා. උණ බටයක් පිටට තියලා පසිදු ඒකට දාලා ලොක් කරන්න කියලා සර් කිව්වා. ඊට පස්සේ කලිසමයි ටී ෂර්ට් එකයි ගලවන්න කියලත් කිව්වා. යුනෙත් පසිදුගේ ඇදුම් ගැලෙව්වා. පන්තියේ ලී කෝට්ටක් තිබුණා. එකේ උල් උල් තිබුණා. සර් ඒකෙන් පසිදුට ගහන්න හැදුවා. ළමයි කෑ ගැහැව්වා එපා එපා කියලා. හැබැයි ඊට පස්සේ සර් ගැහැව්වේ නෑ . පසිදුට හොදටම බයවෙලා අඩ අඩා හිටියේ. එයාට බයට කක්කත් ගිහින් තිබුණා. ළමයි පසිදුට ගහනවා බල බලා සර් හොදට හිනාවේවි පුටුවක වාඩිවෙලා හිටියා. සර් ඔයිට කලින් දවසක සිත්මිණිවත් කැලේට ඇදලා දැම්මා. එදාත් එයාගේ ගවමුත් ගලවන්නත් හැදුවා. “  එම සිසු සිසුවියෝ කීහ.

පාසල නිමා වී දරුවා නිවසට රැගෙනයාමට පැමිණි පසිදුගේ මව්පියන් විසින් මෙම සිදුවීම පිළිබදව දැනගැනීමෙන් පසුව දරුවා මාවතගම දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර මාවතගම පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. මෙම සිදුවීම මාවතගම ජාතික පාසලේ විදුහල්පති ආර්. එම්. සී. බී. රත්නායක මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම මාධ්‍යයට ප‍්‍රකාශයක් ලබාදීම ප‍්‍රතික්ෂේප කළේය. කෙසේවෙතත් අදාල චෝදනාව පිළිබදව විදුහලේ ප‍්‍රාථමික අංශ භාර විදුහල්පතිවරයා යොදවා පරීක්ෂණයක් සිදුකර ඇති බවත්, එහි වාර්තාව මාවතගම කලාප අධ්‍යාපන කාර්යාලය හරහා වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලයට ලැබීමට සලස්වන බවත් විදුහල්පතිවරයා කීය.

අදාල පහරදීම සිදු වී දින හතරක් ඉක්ම ගොස් ඇතත් චෝදනා එල්ල වන ගුරුවරයා තවමත් අත්අඩංගුවට ගෙන නැති බවට පසිදු නිම්සර දරුවාගේ මව්පියන් චෝදනා කරති. මේ පිළිබදව කළ විමසීමකට පිළිතුරු දුන් මාවතගම පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ මෙම ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සදහා අවස්ථා කිහිපයකදී ඔහුගේ නිවසට ගිය නමුත් ඔහු නිවසේ රැදී නොසිටීම හේතුවෙන් මෙතෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවය. චෝදනාවට ලක් වී සිටින ගුරුවරයා ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට පැතිර යන ආරංචිවල සත්‍ය අසත්‍යතාවය සනාථ කරගැනීම පිණිස අප ඊයේ දිනයේදී අදාල ගුරුවරයා පදිංචි පුස්සැලිතැන්න, බෝගමුව ප්‍රදේශයේ සංචාරයක යෙදුණු අතර එහිදී ගම්වාසීන් විසින් පැවැසුවේ අදාල සිදුවීම වූ දිනයේ සිට මෙම ගුරුවරයා ප්‍රදේශයෙන් පලාගොස් සිටින බවය.

තමන් වද හිංසාවට ලක් වූ ආකාරය සිද්ධියට මුහුණ පෑ දරුවා විසින් වයඹ ටුඩේ වෙත විස්තර කළ අයුරු සහ එම පන්තියේ ඉගෙනුම ලබමින් සිටින සිසු සිසුවියන් විසින් එකාවන්ව එම සිදුවීම තහවුරු කළ අයුරු පහත වීඩියෝවෙහි දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article