Saturday, January 18, 2025

මාදම්පේ වැලි කැපීමට විරෝධය පා සිදුකළ උපවාසය අවසන් කරයි

Must read

01

මාදම්පේ ප්‍රදේශයේ සිදු කරන වැලි කැපීමට එරෙහිව ආරම්භ කර තිබූ උපවාසය 27 වැනිදා සවස අවසන් කරන ලදි.ඒ අනුව උපවාසකරුවන් තිදෙනාව ප්‍රතිකාර සදහා 1990 ගිලන් රථයක් මගින් මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ලදි.

මාදම්පේ ප්‍රදේශය තුළ සිදු කරන වැලි කැපීමට එරෙහිව එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 08 දෙනෙකු පසුගිය 23 වැනිදා සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදි.කිසිදු බලධාරියෙකු ඔවුන් හමුවීමට නොපැමිණීම නිසා ගම්වාසීන් තිදෙනෙකු 25 වැනිදා රාත්‍රීයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදි.

මාදම්පේ – සුදුවැල්ල ශ්‍රී සමයවර්ධනාරාර විහාරස්ථානය ඉදිරිපිට මෙම උපවාසය පැවැත්වුණි.

උපවාසකරුවන්ට සහාය පල කිරීම සදහා 27 වැනිදා පෙරවරුවේ ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවයක්ද පවත්වන ලදි.සුදුවැල්ල මංසන්ධියේ පැවති විරෝධතාවය හේතුවෙන් පැය 03 කට වැඩි කාලයක් මාදම්පේ කුලියාපිටිය ප්‍රධාන මාර්ගය අවහිර වී තිබුණි.

අනතුරුව විරෝධතාකරුවන් සුදුවැල්ල මංසන්ධියේ සිට පා ගමනින් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ගමන් කරන ලදි.අනතුරුව ඔවුන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටද විරෝධතාවයක් පවත්වන ලදි.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට පැවති විරෝධතාවය හේතුවෙන් පැය කීපයක් බාහිර පුද්ගලයින්ට කාර්යාලයට ඇතුළවීමට හෝ එහි සේවය කරන කිසිවෙකුට පිටතට යාමට අවස්ථාවක් නොලැබුණි.

අනතුරුව මාරවිල සහකාර පොලිස් අධිකාරීවරයා සහ මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ විරෝධතාකරුවන් අතර සාකච්ඡාවක් සිදු කළත් එයද සාර්ථක නොවීය.

පසුව විරෝධතාවයට එක්ව සිටි පිරිසෙන් නියෝජිතයින් කීප දෙනෙකු සහ මාදම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණි.එම සාකච්ඡාවෙන් අනතුරුව විරෝධතාවය මෙන්ම උපවාසයද අවසන් කිරීමට එයට එක්ව සිටි පිරිස කටයුතු කළේය.

මාදම්පේ ප්‍රදේශය තුළ සිදු කරන වැලි කැපීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ පොලිස් ස්ථානාධිපතිවරයාට කටයුතු කළ නොහැකි බවත්,මෙම ගැටළුව විසදා ගත යුත්තේ අධිකරණය හමුවේ බවත් ගම්වාසීන් හමුවේ ප්‍රකාශයක් සිදු කළ නාත්තන්ඩිය ධම්මිස්සර ස්වාමීන් වහන්සේ සදහන් කළේය.එමෙන්ම මෙම වැලි කැපීම සම්බන්ධයෙන් ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණයක් මේ වන විට පවත්වා ඇති බවත්,එම පරීක්ෂණයේ වාර්තාව ලබන බදාදා ලැබීමට නියමිත බැවින් එතෙක් උපවාසය අත්හිටුවීමට කටයුතු කළ යුතු බවද උන්වහන්සේ කියා සිටියේය.විශේෂයෙන්ම උපවාසයට එක්ව සිටින තිදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද සැළකිලිමත් විය යුතු බවද නාත්තන්ඩිය ධම්මිස්සර ස්වාමීන් වහන්සේ මෙහිදී කියා සිටියේය.

අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද උපවාසකරුවන් තිදෙනා ප්‍රතිකාර සදහා මාදම්පේ ප්‍රාදේශීය රෝහල කරා ගෙන යන ලදි.

උපවාසය අවසන් වුවත් ගැටළුවට ස්ථීර විසදුමක් ලැබෙන තුරු තමන් සත්‍යග්‍රහයක් පවත්වන බව මෙහිදී ගම්වාසීන් කියා සිටියේය. 02

 

ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article