Saturday, November 23, 2024

මහ රෑ පෙම්වතා එක්ක ගෙදරින් පැන්න 15 දැරිය අතේ රෝලක් හදා පොලිසියත් වටේ යවලා.

Must read

love-is-in-the-air-featනන්නාදුනන හැඩි දැඩි පුද්ගලයෙකු විසින් තමන් පැහැරගෙන ගිය බවට 15 හැවිරිදි දැරියක විසින් පොලිසිය වෙත ලබා දුන් ප‍්‍රකාශයකට අනුව පරීක්ෂණ ආරම්භ කළ කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු අදාළ පැහැරගෙනයාමේ සිදුවීම පොලිසිය සහ ඇගේ මව්පියන් නොමග යැවීමේ අරමුණින් දැරිය විසින් නිර්මාණය කළ සිදුවීමක් බවට හෙළිකරගෙන ඇති අතර එම පැහැරගැනීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ පෙම්වතා බව කියන 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 19 වැනිදා රාත‍්‍රියේ මෙම දැරිය නිවසින් අතුරුදන් වී ඇති බව දැනගත් ඇගේ දෙමාපියන් ඒ පිළිබදව අසල්වාසින්ද දැනුම්වත් කර රාත‍්‍රිය පුරාම දැරිය සොයා ඇත. පසුදින උදෑසනවන විටත් දැරිය හමුනොවීම නිසා ඇගේ හදිසි අතුරුදන්වීම පිළිබදව පොලිසියට පැමිණිලි කිරීමට යමින් සිටි දැරියගේ මව්පියන්ට නිවසට යාබදව පිහිටි ළදු කැලෑවක නිදාගෙන සිටි මෙම දැරිය හමු වී තිබේ. පසුව ඇය කැටුව පොලිසියට පැමිණි මව්පියන් විසින් පැමිණිල්ලක් කර ඇති අතර උස මහත හැඩි දැඩි සිරුරකින් සහ ශරීරය පුරා රෝම පිරුණු පුද්ගලයෙකු විසින් තමන් පැහැරගෙන ගිය බවට දැරිය විසින් ලබා දුන් ප‍්‍රකාශයකට අනුව එවැනි අයෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලිසිය විසින් දින කිහිපයක් තිස්සේ කළ විමර්ශණවලදී එවැනි පුද්ගලයෙකු පිළිබදව හෝඩුවාවක් හෝ වාර්තා නොවීම නිසා පොලිසිය විසින් යළිත් වතාවක් සූක්ෂ්ම අයුරින් දැරියගෙන් කළ ප‍්‍රශ්නකිරීම්වලදී මෙම පැහැරගෙනයාමේ සිද්ධිය ඇය විසින් නිර්මාණය කළ හිතලූවක් බවට අනාවරණය වී තිබේ.

මෙම දැරියගේ පෙම්වතා විසින් හොර රහසේ ඇය වෙත ලබා දී තිබූ ජංගම දුරකථනයක් ඔස්සේ කතාබස් කරගත් පරිදි රාත‍්‍රී 10ට පමණ ඔහු සමග නිවසින් පැනගොස් ගිරිඋල්ල පොලිස් වසමේ මැද්දේපොල ප‍්‍රදේශයට ගොස් අලූයම් කාලයේදී ආපසු පැමිණ ඇති බවත් , ඒ එන අතරවාරයේදී දැරියගේ දෙමාපියන් කලබලයට පත්ව ඇය සොයනු දුටු දැරිය නිවස අසළ ළදු කැලෑවේ සැගවී ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. එහිදී නින්දකට වැටී ඇති දැරිය අවදි වී ඇත්තේ පසුදින උදෑසන පොලිසියට යමින් සිටි ඇගේ මව්පියන් විසින් දැක අවදිකළ අවස්ථාවේදී බවත්, ඔවුන් තමන්ට දඩුවම් කරාවියැයි යන බියෙන් පැහැරගැනීමේ සිද්ධියක් නිර්මාණය කර මව්පියන්ට සහ පොලිසියට ප‍්‍රකාශ කළ බවද හෙළි වී ඇත.

උස මහත හැඩි දැඩි සහ ශරීරය පුරා රෝම පිරුණු පුද්ගලයෙකු කෙසේවෙතත් කෙසග සිරුරකට හිමිකම් කියන දැරියගේ පෙම්වතා බව කියන 21 හැවිරිදි තරුණයා සහ මෙම දැරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

(ඉහත දැක්රූවෙන ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article