Friday, November 22, 2024

මහමගදී මිනිස්කම සුරකින – ‘සද්භාවයේ නීතිය’

Must read

ගෙවී යමින් පවතින්නේ මනුෂ්‍යත්වය පවා අභියෝගයට ලක් කරන කාලයකි. කොවිඩ් 19 වසංගතය මනුෂ්‍යත්වය ගැනද රටටම අගනා පාඩමක් උගන්වමින් සිටින්නේය. එක් අතෙකින් ලංකාවේ මිනිසුන් කවර රටකවත් නැති තරම් තමන්ගේ අනෙකාට ආහාර ද්‍රව්‍යය බෙදා හරිමින්, සෞඛ්‍ය අංශ වලට සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දෙමින්, මුදල් ආධාර ලබා දෙමින්, නිරෝධායන කටයුතු සදහා තමන්ගේ ගොඩනැගිලි භාර දෙමින් තම දෑත් දිගු කරමින් මනුෂ්‍යත්වය ප්‍රකාශ කරමින් සිටින්නෝය. නමුත් පසුගියදා දඹුල්ල බස් නැවතුම්පොළේදී ‍වැටී සිටි හමුදා සෙබළෙකු රෝහලක් වෙත ගෙන යාමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා පැය භාගයක් පමණ පොදු ස්ථානයක අසරණව අසිහියව සිට මිය යෑමේ පුවතක් පසුගිය දා වාර්තා වුනේ ඒ මනුෂ්‍යත්වයම නැවතත් අපගෙන් ප්‍රශ්න කරමිනි. 

මනුෂ්‍යත්වය යනු අනෙකා ද මිනිසෙකු වීම නිසා, එම මිනිස්කමට ගරු කරමින් සහානුභූතීව එකිනෙකාට උපකාර කිරීමට ඇති සහජ ලැදියාවයි. ඇදවැටුණු මිනිසා තමන් වැටුණේ තවත් මිනිසුන් සිටින තැනක නිසාම ගතවන මොහොතක් මොහොතක් පාසා දැන් දැන් තමනට උපකාරයක් ලැබෙතියි සිත සිතා මරණය කරා අසරණව ළං වෙද්දී, නොසැලී බලා සිටි වැසිකිලි දොරටුව ඉදිරිපිට මුදල් එකතු කළ මිනිසා ද ඇතුළුව එතැනින් ආ ගිය මිනිසුන් තමාගේ ආරක්ෂාව සලසා ගනිමින් සැනසුම් සුසුම් හෙලන්නට ඇත.

ඉහත සිද්ධිය සිදු වූයේ රටේ පැතිරෙන කොරෝනා අවදානම නිසා යැයි යමෙකුට තාවකාලික අස්වැසිල්ලක් ලැබිය හැකි වුව ද, මෑත කාලයේ රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ මෙවැනි සිදුවීම් කිහිපයකදීම අසල සිටි ජනයා තුවාල වූ හෝ රෝගී වූ නාඳුනන පුද්ගලයා රෝහල්ගත කිරීමට කඩිනම් පියවර නොගැනීම පිළිබඳ ඛේදජනක සිදුවීම් කොතෙකුත් සිදු වී ඇත.

පිටුපසින් සිට ගෙල කැපීමේදී දිවි ගලවා ගත්ත ද ඉන් තුවාල ලබා ලේ පෙරමින් තමන් රෝහලකට ගෙන යන ලෙස අයැදිමින් මහ මග දිව ආ ත්‍රිකුණාමල තරුණයාට පසුගිය වසරේදී  අත් වූ ඉරණම,  මාතර ප්‍රදේශයේ යෞවනයකු ඝාතනය වීම ඇතුළු මෑතකාලීන සිදුවීම් ද ඒ අතර වෙයි. එමෙන්ම රිය අනතුරුවලදී තුවාල ලැබූවන් විනාඩි පහේ සිට පැයක පමණ කාලයක් වුව ඉක්මවා යන තෙක් පොලීසිය හෝ ගිලන්රථ හෝ සැබෑ මනුෂ්‍යත්වයත් ඉදිරිපත්වීමත් ඇති අයෙකු පැමිණෙන තෙක් හෝ අනතුර වූ තැනම මියැදෙන හා වේදනා විඳින තත්ත්වයන් ද එමටය.

දෑත් දිගු කිරීමට ඇති බිය

ලොව පුරා දිනෙන් දින සිදුවන අනතුරු හා රෝගී තත්ත්වයන් හේතුවෙන් ඇතිවන හදිසි තත්ත්වයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, සිදුවන මරණ හා තුවාලකරුවන් සංඛ්‍යාව ද ඒ අනුව දිනෙන් දින ඉහළ යමින් පවතී. රටක සෞඛ්‍ය සේවා කෙතරම් දියුණු වුව ද, මෙවන් හදිසි අවස්ථාවකදී අසල සිටින පුද්ගලයාගේ සහාය රෝගී වූ පුද්ගලයාගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක සාධකයක් විය හැකිය.

සෑමවිටම මෙවැනි දෑ සිදුවන්නේ මිනිසත්කම නැතිකම නිසා හෝ තුවාල ලැබූ හා රෝගීවූවනට සහාය වීමට අකමැති නිසා හෝ කළ යුතු ප්‍රථමාධාරයක් නොදන්නා නිසා හෝ තමන්ගේ වැඩ පසෙක තබා අනපේක්ෂිතව මෙවැන්නක නිරත වීමට කාලය මඳවීම නිසාම හෝ නොවේ.

ඇතැම්විට අනතුර පත් වූ අයට/රෝගියාට උදව්වීමේදී තමන් අතින් අතපසුවීමක් සිදු වී  හානියක් සිදුවනු ඇතැයි බිය වීම, එවැනි හානියක් වුවහොත් තමන්ට දඬුවම් විඳීමට සිදුවෙතැයි සිතීම, පොලීසි හා උසාවිවල රස්තියාදුවීමට හා අඩන්තේට්ටම්වලට ලක්වීමට සිදුවෙතැයි සිතීම ආදී දෑ බොහෝ මිනිසුන්ව අධෛර්යමත් කිරීමට හේතු වී තිබේ.

මෙවැනි අවස්ථාවක අදාළ අනතුරට පත්වූ අයගේ/රෝගියාගේ පිහිටට එන ස්වේච්ඡා පුද්ගලයින්ට නීතිය මගින් ආරක්ෂාවක් ලබා දෙන ප්‍රතිපාදන ඇති විට මිනිසුන් විපතට පත්වූවන්ට හදිසි ආධාර ලබාදීමේ ප්‍රවණතාවය ඉහළ යන අතර, එමගින් රටෙහි අකාලයේ අහිමිවන වටිනා ජීවිත ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමටත්, අනතුරු මගින් ඇති වන සංකූලතා අවම කරගැනීමටත් හැකියාව  ඇති කරයි.  මේ සඳහා ලොව ඇතැම් රටවල් හඳුන්වා දී ඇති නෛතික ප්‍රතිපාදනය වන්නේ Good Samaritan Law හෙවත් ‘සද්භාවයේ නීතිය’යි.

‘සද්භාවයේ නීතිය’ (Good Samaritan Law)

b083fe955fbe1a5a4c2201

 

 

සද්භාවයේ නීතිය යනු හදිසි අනතුරු හෝ රෝගී අවස්ථාවකදී තුවාල වූ හෝ සිහිසුන්ව සිටින නාඳුනන පුද්ගලයෙකුට හදිසි ජීවිතාධාර ලබා දෙන ඕනෑම අයෙකුට;

  • සද්භාවයෙන් යුතුව ලබාදෙන ජීවිතාධාර සඳහා යොදාගත් ක්‍රියාවන් නිසා තුවාලකරුට ඇති වූ තුවාල හෝ මරණය සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැකි ලෙසත්

  • සද්භාවයෙන් ක්‍රියාකළ උදව්කරුවාට දඬුවම් පැනවිය නොහැකි ලෙසත්

  • පොලිස් කූඩුවල හෝ පොලිස්ථානවල පැය ගණන් හෝ දින ගණන් සිටීමට සිිදුවීමෙන් වැළකෙන ලෙසත්

  • තමා කළ මෙහෙවර හේතුවෙන් රෝහලේදී අපහසුතාවයක් ඇති නොවන ලෙසත්

  • අනතුරට හෝ රෝගවලට ගොදුරුවූවන්ට අසල සිටින ඕනෑම අයෙකුට විශ්වාසයෙන් යුතුව සහාය ලබා දීම ධෛර්යමත් කරන ලෙසත් විවිධ රටවල හඳුන්වා දී ඇති නීතියකි.

උදව්කරුවන් විසින් කළ දෙයක් හෝ නොසලකා හරිනු ලැබූ දෙයක් නිසා හෝ වේවා එසේ කිරීමට හෝ නොකර සිටීමට හෝ නීතිමය බැඳීමක් නොමැති නිසා සද්භාවයේ නීතිය මගින් මෙහිදී උදව්කරුවාව ආරක්ෂා කරයි.

ඇතැම් රටවල අනතුරකදී අසල සිටින අය රෝගී වූ පුද්ගලයාට සද්භාවයෙන් යුතුව සහාය විය යුතුය යන්න අනිවාර්ය කිරීමේ නීතියක් ලෙස ද මෙම නීතිය හඳුන්වා දී තිබේ. වෛද්‍යවරුන්, හෙදියන් හා අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයින් ද, සහතිකලත් ප්‍රථමාධාරකරුවන් මෙන්ම සද්භාවයෙන් ක්‍රියාකරන මහජනයා ද මෙම නීතියෙන් ආරක්ෂා වේ.

‘සද්භාවයේ නීතිය’ තියෙන තැන

රටක නීතිය නිල වශයෙන් පනවනු ලබන ආකාර කිහිපයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය, පනත්, රෙගුලාසි, ආඥා (ශ්‍රී ලංකාවේ නම් 1948 ට පෙර) හා ඉහළ අධිකරණවල නඩු තීන්දු ආදිය ඒ අතර වෙයි. ඇතැම් රටවල් එය සද්භාවයේ නීතිය ලෙස වෙනමම පනතක් මගින් හඳුන්වා දී ඇති අතර, ඇතැම් රටවල් දණ්ඩ නීති සංග්‍රහයේ හෝ සිවිල් නඩු විධාන සංග්‍රහයේ යම් යම් වගන්ති මගින් සද්භාවය පිළිබඳ නෛතික ප්‍රතිපාදන වක්‍රානුකූලව හඳුන්වා දී තිබේ. සමහර රටවල මෙම නීතිය ලේඛනගත නොවූව ද සම්ප්‍රදායක් ලෙස නීති ක්ෂේත්‍රය තුළ ක්‍රියාවේ යොදවන අතර, සමහර රටවල මේ පිළිබඳ කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැති විය හැකිය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

මෙරට සද්භාවයේ නීතිය වෙනමම පනතක් මගින් බලාත්මක කර නොතිබුණ ද, විවිධ නීතිමය ප්‍රතිපාදන සහ නීතිමය මූලධර්ම කිහිපයක් සද්භාවය සඳහා වන යුක්තිය ඉටු කිරීමට පෙළගැසී තිබේ.

  • දණ්ඩ නීති සංග්‍රහයේ 74 වන වගන්තිය මගින් සද්භාවයෙන් ක්‍රියා කිරීමේදී සිදුවන වැරදීමකින් ඇතිවන ප්‍රතිඵලයට අදාළ පුද්ගලයා වරදකරු නොවන බව සෘජුවම දක්වා තිබේ.

“පීඩාවක් කිරීමේ සාපරාධී අදහසක් නොමැතිව, පුද්ගලයන් හට හෝ දේපළවලට විය හැකි වෙනත් පීඩා වැළැක්වීමේ හෝ මගහැරවීමේ කාර්යය සඳහා සද්භාවයෙන් යම් ක්‍රියාවක් කරන ලද නම්, එය කරනු ලැබුවේ ඉන් පීඩාවක් විය හැකි බව දත් පමණකින් වූ විට ඒ ක්‍රියාව වරදක් බවට පත් නොවේ.”

මෙම වගන්තිය සඳහා වැඩිදුර පැහැදිලි කිරීම් හා නිදර්ශන කිහිපයක් ද දණ්ඩ නීති සංග්‍රහයේම ඇතුළත් වේ. එමෙන්ම මෙහි අඩංගු 86 හා තවත් වගන්ති කිහිපයක් ද මෙම අදහස වක්‍රව ආවරණය කරයි.

  • 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත මගින් ද සද්භාවී ක්‍රියාවන් සඳහා වන ආරක්ෂාව වක්‍රාකාරව පිළිගෙන ඇති බව පෙනී යයි.  

  • නෛතික ප්‍රතිපාදන කෙසේ වෙත ද, යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ ක්‍රියාවලිය මගින් යොදාගනු ලබන සාධාරණත්ව මූලධර්මය ක්‍රියාත්මක වීම මගින් යුක්තිය ඉටුවීමට ඇති හැකියාව තිබීම.

  • සාධාරණ පුරවැසියකු ලෙස හදිසි අවස්ථාවකදී තවත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට ඇති සදාචාරාත්මක යුතුකම හා සිවිල් වගකීම ඉටු කිරීමෙන් පසුව පැමිණිල්ලක් නිසා හෝ අපරාධමය සැකයක් නිසා පොලිස් විමර්ශන සිදු කිරීම දක්වා යම් ගැටලුවක් ඇතිවීමට ඉඩකඩක් තිබිය හැකි වුව ද, අධිකරණ ක්‍රියාවලිය තුළදී උදව්කරුවාගේ සිවිල් වගකීම හා සදාචාරාත්මක යුතුකම හඳුනාගැනීම තුළින් සෘජු නීතිමය ප්‍රතිපාදන නොමැති නම් වක්‍ර නීති ප්‍රතිපාදන ඇසුරින් හෝ උදව්කරුවාට නීතිමය සහනය හා යුක්තිය ඉටුවීම සිදු වේ.

ප්‍රමාණවත් නොවන මෙරට ‘සද්භාවයේ නීතිය’ 

මෙකී ප්‍රතිපාදන ශ්‍රී ලංකාව තුළ සද්භාවයේ නීතියේ පරමාර්ථය ප්‍රමාණවත්ව ඉටු කර නැත. මන්ද, ඇතැම් අවස්ථාවල නාඳුනන තුවාලකරුවන් හා රෝගීන් රෝහල්ගත කළ උදව්කරුවන්ට රෝහලේ හෝ පොලිස් කූඩුවේ සිටීමට හෝ එම ස්ථානවල රස්තියාදු වීමට සිදු වූ අවස්ථා වාර්තා වී තිබීම ඊට හේතුවයි. එමෙන්ම එවැනි කනගාටුදායක තත්ත්වයන් හේතුවෙන් බොහෝ පිරිස් හදිසි අවස්ථාවන්වලදී ජීවිතය ඉල්ලා මියැදෙන තුවාලකරුවන්ට හෝ රෝගීන්ට උදව් කිරීමෙන් වැළකී සිටීමටත්, අඩුම තරමේ ගිලන් රථයකට කතා කොට එය එනතෙක් රෝගියා හා කතා කිරීමටවත් නොපෙළඹෙන තත්ත්වයන් ද වාර්තා වී තිබීම ද ඊට සාක්ෂියකි. තමන්ගේ වාහනය රෝගී ප්‍රවාහනයට යොදා ගැනීමට ඇති අකමැත්ත සිදු වන්නේ ද, සමහර විට ඒවා ද නඩු භාණ්ඩ විය හැකි බවට වන අනියත බිය නිසා විය හැකිය.

ගිලන්රථ සේවයක් තිබුණ ද ගිලන් රථයක් පැමිණෙන තුරු අසල සිටින අයෙකු විධිමත් ප්‍රථමාධාර ඇතුළු කිසියම් සහායට රෝගියාට නිසි පරිදි ලබා නොදුනහොත්, ස්වසනය නොකරන රෝගියෙකු විනාඩි 10 ක් තුළ සපුරා මියයෑමටත්, අසිහි රෝගියෙකු ඉක්මනින් ස්වසන මාර්ගය අවහිර වී මිය යෑමටත්, දරුණු ලෙස රුධිර වහනය වන රෝගියෙකු කම්පනය, අසිහිවීම, ස්වසනය ඇණහිටීම ආදී අවස්ථා ක්‍රමයෙන් පසුකර විනාඩි 10 ක් තරම් සුළු කාලයක් තුළදී වුව මියැදීමට අවකාශ තිබේ.  ඒ අනුව හදිසි අවස්ථාවකදී  අන් සියල්ල සේම ඉතා වැදගත් වන්නේ අසල සිටින්නා විධිමත් සහායක් ක්ෂණිකව ලබා දෙන්නේ ද යන්නයි. එම සහාය රෝගියාගේ ජීවිතය ද මරණය ද යන්න ඉතා තියුණුව තීරණය කරන රෝගියා සමඟ වචන දහයක් කතා කිරීම වැනි ඉතා සියුම් ක්‍රියාවක සිට දරුණු රුධිර වහනයක් නතර කිරීම හෝ අසිහි රෝගියෙකු නම් ගෙල ඉදිරිපස දිගහැරෙන පරිදි නිකට ඉහළට එසවීම වැනි කායික වෙහෙසකින් කළ යුතු යමක් විය හැකිය. 

ඉන්දියාව දුන් විසඳුම – 2016

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මාර්ගෝපදේශවලට ඇතුළත් කොට 2016 දී සද්භාවයේ නීතිය හඳුන්වා දෙන ලදී. කර්නාටක ප්‍රාන්ත රජය ද පනතක් මගින් එම නීතිය තවදුරටත් වැඩිදියුණු කරමින් අනතුරකදී සහාය වන්නාට මූල්‍යමය දිරිගැන්වීමක් සිදු කිරීම දක්වා 2019 දී ව්‍යාප්ත කරන ලදී. ඉන්දියානු සද්භාවයේ නීතියේ අන්තර්ගත ප්‍රධාන ලක්ෂණ කිහිපයකි.

  • අනතුරකදී සද්භාවයෙන් ක්‍රියා කළ විට තුවාලකරුවෙකුට සිදුවන වැඩිදුර තුවාලයක් හෝ මරණය සම්බන්ධයෙන් කිසිදු සිවිල් හෝ අපරාධමය දණ්ඩනයකට සද්භාවයෙන් ක්‍රියා කළ පුද්ගලයා යටත් නොවීම

  • තුවාල ලැබූවකු පිළිබඳව ගිලන්රථයකට හෝ පොලීසියකට දන්වන සද්භාවයෙන් ක්‍රියා කරන පුද්ගලයකුගේ පුද්ගලික තොරතුරු පොලීසිය හෝ රෝහල වෙත සැපයීම අත්‍යවශ්‍ය නොවන බව.

  • එවැනි අයෙකුගේ පුද්ගලික තොරතුරු හෙළි කරන ලෙස බල කරන ලද රජයේ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම

  • රජයේ හෝ පුද්ගලික රෝහලක් මගින් සද්භාවයෙන් ක්‍රියාකළ අයෙකු නාඳුනන රෝගියෙකුව රෝහල්ගත කළ විට ඇතුළත් කිරීමේ, ලියාපදිංචි කිරීමේ හෝ ප්‍රතිකාර වියදම් සද්භාවී පුද්ගලයාගෙන් අය කළ නොහැකි බව

  • රෝහලකට කිිසිදු රෝගී ඇතුළත් කිරීමක් ප්‍රතික්ෂේප කළ නොහැකි බව

  • අධිකරණ ක්‍රියාවලියකදී සිද්ධිය ඇසින් දුටු අයෙකු ලෙස සද්භාවයෙන් ක්‍රියා කළ පුද්ගලයාගේ කැමැත්ත පරිදි පමණක් සාක්ෂි දිය හැකි බව

  • ඇසින් දුටු සාක්ෂි කැඳවිය හැක්කේ එක් වතාවක් පමණක් බව හා වීඩියෝ තාක්ෂණ ඔස්සේ වුව එය කළ හැකි බව

    SLF-infographic-on-GSL-803x1024

එනමුත් ඉන්දියාවේ ද බහුතර ජනයා තවමත් මෙම නීතිය පිළිබඳව නොදැන සිටීම, සද්භාවයෙන් ක්‍රියාකළ බොහෝ අය තවමත් පොලීසිය විසින් රඳවාගැනීම, සෞඛ්‍ය වෘත්තිකයින් ඇතැම් විට සද්භාවයෙන් යුතුව ක්‍රියා නොකිරීමේ පැමිණිලි ලැබීම ආදී ගැටලු නැතිවාම නොවේ. නමුත් කාලයත් සමඟ මෙම නීතිය ව්‍යාප්ත වී එහි ප්‍රතිඵල මහජනයා සුභවාදීව භුක්ති විඳිනු ඇත.

මනුෂ්‍යත්වයට – නෛතික සුරැකුමක්

ශ්‍රී ලංකාව තුළ රිය අනතුරුවලින් මිය යන ප්‍රමාණය දිනකට 08 දෙනෙක් පමණ වී තිබේ. එය වසරකට 3000 ක් පමණ වන විට එම අනතුරුවලින්ම බරපතළ තුවාල ලබන ප්‍රමාණය දස දහස ඉක්මවයි. එමෙන්ම මහමගදී සිදුවන හෘදයාබාධ, ඇදුම උත්සන්නවීම, මීමැස්මොරය, ක්ලාන්තය, කම්පනය, ආසාත්මිකතා ආදී රෝගී තත්ත්වයන් ද පුද්ගලයකු අසරණව ඇදවැටීමට හෝ මිය යෑමට වුව හේතු විය හැකිය. එවන් අවස්ථාවක නාඳුනන සද්භාවී පුද්ගලයකුට විශ්වාසයෙන්, අභිමානයෙන් හා කැමැත්තෙන් යුතුව රෝගී වූ පුද්ගලයාට උදව් කිරීමට නම් මෙම සද්භාවයේ නීතිය මෙරට තුළ ද ඉක්මනින් ස්ථාපිත කළ යුතුව තිබේ. මනුෂ්‍යත්වයේ නාමයෙන් තමාගේම අනෙකාට බියකින් සැකයකින් තොරව තම දෑත දිගු කිරීමට එකී නෛතික ප්‍රතිපාදනය පිටුවහලක් වනු ඇත.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හිටපු ප්‍රථමාධාර සහකාර කළමනාකරු ජයබුද්ධි ඥානතිලක විසින් සමබිමට ලියන ලද ලිපියකි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article