Sunday, January 19, 2025

මහකුඹුක්කවල මාර්ගයේදී වල් අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යයි

Must read

WhatsApp Image 2020-08-09 at 5.53.54 PM

500
වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇත. අද (10 )  වැනිදා අළුයම ආණමඩුව – මහකුඹුක්කඩවල මාර්ගයේ කොහොඹගස්වැව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී තිබේ.

මිය ගොස් ඇත්තේ කොහොඹගස්වැව පදිංචිකරුවෙකු වන සංජීව බාලසූරිය (අවු:40)  නම් අයෙකු බවට හදුනා ගෙන ඇත.ඔහු තම යතුරු පැදියෙන් රැකියාව සදහා ගමන් කරමින් සිටින විට වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බව ගම්වාසීන් සදන් කරයි.මිය ගොස් ඇති අය ඇගළුම් කර්මාන්ත ශාලාවක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.

වනඅලින් ගම් වැදීම නිසා මහකුඹුක්කවල ප්‍රදේශයේ ජනතාව වසර කීපයක සිට දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටී.වන අලින් විසින් පහර දීම නිසා එම ප්‍රදේශයේදී පුද්ගලයින් හතර (04) දෙනෙකු මේ වන විට මිය ගොස් ඇත.මිය ගොස් ඇති අය අතර වන ජීවී නිලධාරියෙකු ද වේ.

පවතින වන අලි ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මැතිවරණ සමයේ පුත්තලම පැමිණි ජනාධිපතිවරයා දැණුවත් කිරීමටද මහකුඹුක්කඩවල ප්‍රදේශවාසීන් කටයුතු කළේය.මේ අතර ගම් වැදී සිටින වන අලින් විල්පත්තුව වනෝද්‍යානය දක්වා පලවා හැරීමේ මෙහෙයුමක් පසුගිය දෙසැම්බර් මාසයේදී ආරම්භ වුවද එය අතර මග ඇණ හිටියේය.රට පුරා පැතිර ගිය කොරෝනා වසංගතය ඊට හේතු විය.

ගම් වැදී සිටින වන අලින් තම ජනතාවට හිස රදයක් බවට පත්ව ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පැවසීය.පවතින වන අලි ගැටළුවට ස්ථීර විසදුමක් ලබා දිය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් සමග අවස්ථා කීපයකදී සාකච්ඡා පවත්වා ඇති බවද ප්‍රියංකර ජයරත්න මහතා සදහන් කරයි.

දේශපාලකයින් සහ නිලධාරීන් විසින් විවිධ සාකච්ඡා පවත්වා ඇති බව දැන ගැනීමට ඇතත් තමන් මුහුණ දී ඇති ගැටළුවට මේ වන තුරු ස්ථීර විසදුමක් ලැබී නොමැති බව මහකුඹුක්කඩවල සහ අවට ගම්මාන වල ජනතාව සදහන් කරයි.වසර 05 කට පමණ පෙර වන අලින් එක් දෙනෙකු දෙදෙනෙකු ගම් වැදුනද මේ වන විට 70 ක් පමණ වන අලි රංචුවක් සිටින බවද ඔවුන් කියා සිටී.ඒ අතර දළ ඇතුන් දෙදෙනෙකුද සිටින බව කියති.

මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ඇති රජයේ රක්ෂිත වනාන්තරයක සහ වගා නොකර අතහැර ඇති විශාල ඉඩම් වල දිවා කාලය ගෙවන වන අලින් රාත්‍රී කාලයේදී ගම් වැදීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවද ඔවුන් කියා සිටී.

මේ සම්බන්ධයෙන් අප පුත්තලම වන ජීවී සහකාර අධ්‍යක්ෂක කාර්යලෙයන්ද විමසා සිටියේය.එහි නිලධාරියෙකු මෙසේ පැවසීය.”මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ගම් වැදී සිටින වන අලින් තබ්බෝව අභය භූමිය දක්වා පලවා හැරීමේ සැළසුමක් මේ වන විට තිබෙනවා.නමුත් ඇතැම් කුඹුරු තවමත් අස්වැන්න නෙලමින් සිටින නිස එම කාර්ය ආරම්භ කර නැහැ.එමෙන්ම මෙම අලි රංචුවට විශාල ප්‍රමාණයේ ඇතෙක් සිටින බවද අප නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබෙනවා.වන අලින් පලවා හැරීම ආරම්භ කිරීමට පෙර එම වන ඇතා නිර්වින්දනය කර අල්ලා ගෙන වෙනත් ප්‍රදේශයකට ගෙන ගොස් මුදැ හැරිය යුතුයි.එතෙක් වන අලින් පලවා හැරීම සිදු කරන්න අපහසු වී තිබෙනවා.කෙහොම වුනත් වැඩි දිනක් යාමට පෙර මහකුඹුක්කඩවල ප්‍රදේශයේ සිටින වන අලින් පලවා හැරීම ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කර තිබෙනවා.”

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය මගින්ද අවස්ථා ගනනාවකදී හෙලි කර ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article