Sunday, January 19, 2025

මලියදේව පිහිනුම් තටාකයෙන් දේශපාලනය පිටාර ගලයි ! (වයඹ අළු යට ගිනි – ජූනි 30 වැනිදා )

Must read

devaරටේ දේශපාලනය සම්බන්ධයෙන් කතාකිරීමේදී ගෙවී ගිය සතිය කුරුණෑගල නාමය වැඩිපුර කියැවුණු සතියකි. ඊට හේතු වී තිබුණේ ජනාධිපතිවරයා, අගමැතිවරයා පමණක් නොව හිටපු ජනාධිපතිවරයාද පසුගිය සතිඅන්තයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක පස් පාගා තිබූ බැවිනි. ලංකාවේ දේශපාලන තත්වය ගැන නොදන්නා අයෙකුට නම් එක්වරම සිතන්නේ මේ තිදෙනා කතාබහ කරගෙන කුරුණෑගලට එන්නට දින නියම කරගෙන ඇතැයි වැනි හැගීමකි. මක්නිසාදයත් ජනපති මෛත‍්‍රී සිකුරාදා කුරුණෑගලය. අගමැති රනිල් සෙනසුරාදා කුලියාපිටියේය. අන්තිමට මහින්ද ඉරිදා දවස පුරාම නාරම්මල සහ පඩුවස්නුවරය. ජනපති කුරුණෑගලට ආවේ මලියදේව විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරුණු පිහිනුම් තටාකය සහ පේ‍්‍රක්ෂකාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයටය. ඊට පසුදින අගමැති රනිල් කුලියාපිටියට ආවේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනකටය. රනිල් සහ මෛත‍්‍රී ඇවිත් ගිය කුරුණෑගලට මහින්ද පා තැබුවේ නාරම්මල රණස්ගල්ල විහාරස්ථානයේ සහ පඩුවස්නුවර, තෙන්ගොඩගෙදර විහාරස්ථානයේ පැවැති විවෘත කිරීමේ උත්සව දෙකකට සහභාගිවීමටය. කෙසේවෙතත් මේ තිදෙනාගේ කුරුණෑගල සංචාරයන් හරහා දේශපාලනය තුළ උණුසුම් ප‍්‍රවෘත්ති ගණනාවක් නිර්මාණය වීමෙන් රටේම අවධානය රනිල් – මෛත‍්‍රී – මහින්ද කුරුණෑගලදී කළ කී දෑ පිළිබදව යොමු වී තිබිණි.

දේශපාලන තොණ්ඩුව මලියදේවයට ?

ජනපති මෛත‍්‍රී අතින් විවෘත වූ මලියදේව පිහිණුම් තටාකය පසුගිය සතියේදී රටේ වැඩිම අවධානයට ලක් වූ විවෘතකිරීම යැයි කිවහොත් නිවැරදිය. කුරුණෑගලට පමණක් නොව වයඹටම ආභරණයක් බදු කීර්තිමත් මලියදේව නාමය පසුගිය සතිය පුරාම දේශපාලන වේදිකාවන්වල පවා රැව් පිළිරැව් දෙමින් තිබිණි. ඒ මලියදේව විද්‍යාලයේ පිහිනුම් තටාකයට අයිතිවාසිකම් කියන්නට පාර්ශ්ව ගණනාවක් ඉදිරිපත්වීම හේතුවෙනි. කෙසේවෙතත් පසුගිය සිකුරාදා ජනපති අතින් විවෘත වන මලියදේව පිහිනුම් තටාකයේ වැඩ අවසන් කෙරෙන්නේ එක් පුද්ගලයෙකුගේ හෝ එක් සංවිධානයක කටයුත්තක් ලෙසට නොව පුද්ගලයින් සහ සංවිධාන ගණනාවකගේ මුල්‍යමය හයියේ සහ දහදියේ ප‍්‍රතිඵලයක් ලෙසටය. මීට වසර ගණනාවකට පෙර චමල් රාජපක්ෂ අතින් මුල්ගල් තැබුණු මලියදේව විද්‍යාලයේ ඉදිකිරීම් වසර ගණනක් එකතැන පල්වුණේ එහි ඉදිකිරීම් වෙනුවෙන් මූල්‍ය අනුග‍්‍රහයක් නොලැබීම හේතුවෙනි. ඇමැති චමල් රාජපක්ෂගේ මැදිහත්වීමෙන් මලියදේව විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉදිකිරීම සදහා ඩී. ඒ. රාජපක්ෂ පදනමින් මුදල් ලැබුණු බව කියැවෙයි. එමෙන්ම හිටපු ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් මහපොළ අරමුදල හරහාද ඊට සැලකිය යුතු මුදලක් වෙන්කරදී තිබේ. මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සභාපතිවරයා මෙන්ම වයඹ සෞඛ්‍ය ඇමැතිවරයාද වන ලක්ෂ්මන් වේඩරුව විසින්ද මේ සදහා මුදල් වෙන්කර දී තිබේ. මලියදේව ආදි ශිෂ්‍යයෙකු වන හිටපු හමුදාපති දයා රත්නායක විසින් පිහිනුම් තටාකය ඉදිකිරීම පිණිස සිය දායකත්වය ලබාදුන්නේ එම ඉදිකිරීම් සදහා යුද හමුදා ශ‍්‍රමය ලබාදෙමිනි. එමෙන්ම මලියදේව ආදි ශිෂ්‍ය සංගමයද පිහිනුම් තටාකය ඉදිකිරීමේදී වැඩි බරක් ඇද තිබිණි. මලියදේව පිහිනුම් තටාකයේ වැඩ අවසන් වන්නේ පෙර කී සියලුදෙනාගේ මෙන්ම ඉහත නම් සදහන් නොවන පුද්ගලයින් සහ ආයතන ගණනාවකාගේ පරිත්‍යාගය සහ කැපවීම මතය. එලෙස වැඩ අවසන් කෙරුණු පිහිනුම් තටාකය විවෘත කිරීම වෙනුවෙන් පාසල් මට්ටමින් සහ ආදි ශිෂ්‍ය සංගම් මට්ටමින් පැවැති සාකච්ඡාවන් වලදී පැහැදිලි මත දෙකක් දැකගත හැකි වූ අතර එක් පාර්ශ්වයකින් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ගෙන්වා පිහිනුම් තටාකය විවෘතකිරීමට යෝජනා වූ අතර අනෙක් පාර්ශ්වයෙන් යෝජනා වූයේ පිහිනුම් තටාකය ඉදිකිරීමට දේශපාලනඥයින් ගණනාවක් සම්බන්ධ වී ඇති බැවින්, කිසිදු දේශපාලනඥයෙකු සෘජුවම සම්බන්ධ කර නොගෙන විද්‍යාලයේ ආදි සිසුවෙකු වන වත්මන් නීතිපතිවරයා හෝ පිහිනුම් ශූර මැතිව් අබේසිංහ වැනි අයෙකු අතින් පිහිනුම් තටාකය විවෘත කළ යුතු බවටය. කෙසේවෙතත් එහාට මෙහාට හුවමාරු වූ අදහස් උදහස් අවසානයේ අනතුරුව ජනාධිපතිවරයාගේ අතින් පිහිනුම් තටාකය විවෘත කිරීමේ යෝජනාව සම්මත වී තිබිණි. ඒ සදහා ඇරයුම් කිරීමේදී සංවිධායක කමිටුව විසින් චමල් රාජපක්ෂට ආරාධනාවක් ලබා දී ඇතත් මහින්දට නිල වශයෙන් ආරාධනා කළ බවක් දැනගන්නට නැත. එමෙන්ම ජොන්ස්ටන්ට ආරාධනා කිරීම සදහා සංවිධායක කමිටුවේ කිහිපදෙනෙකු යම් උත්සාහයක් දරා ඇති නමුත් එය සාර්ථක වී නැත්තේ ජොන්ස්ටන් සම්බන්ධ කරගැනීමට නොහැකිවීමෙන් බවද කියැවෙයි. පිහිනුම් තටාකය සදහා හමුදාවේ ශ‍්‍රම දායකත්වය සැපයූ හිටපු හමුදාපති දයා රත්නායක අතට උත්සවයට ආරාධනා ලැබී තිබුණේද ඊට පෙර දිනයේදී බවද වාර්තා වෙයි. ජනපති මෛත‍්‍රී සිකුරාදා උදෑසන මලියදේව පිහිනුම් තටාකය විවෘත කරන්නේ අළු යට ගිනි පුපුරු දැල්වෙමින් තිබූ මෙවැනි පසුබිමකය. පුදුමයට කාරණාව වන්නේ උත්සවයේ කතා කළ හැමකෙනෙකුම පාහේ මහපොළ අරමුදලින් සහ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග‍්‍රහයෙන් පිහිනුම් තටාකය ඉදිකෙරුණු බව කීම විනා ඒ පිටුපස සිටි රාජපක්ෂ පදනම, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, දයා රත්නායක වැනි පුද්ගල හෝ සංවිධාන ගැන වචනයක හෝ සදහනක් නොකිරීමය. ජනපති මෛත‍්‍රී මලියදේව පිහිනුම් තටාකය විවෘත කරනවාත් සමගම මන්ත‍්‍රී ජොන්ස්ටන්ගේ මාධ්‍ය කණ්ඩායමද වැඩ අල්ලා තිබූ බව දැකගත හැකි විය. පිහිනුම් තටාකය හැදුවේ ජොන්ස්ටන් සහ මහින්ද බව කියමින් අපහාස, උපහාස සහ විවේචන තොග ගණනින් මුහුණුපොත වෙත මුදාහැරෙමින් තිබූ අතර ඒවා වෙත පොදු ජනයාගෙන් හොද සහ නරක ප‍්‍රතිචාරයන්ද සම සමව ගලාඑමින් තිබිණි. කෙසේවෙතත් උත්සවය අවසන්වීමෙන් දින ගණනාවක් ගෙවී ගොස් ඇතත් පිහිනුම් තටාක විවෘතකිරීමේ උත්සවයේදී මහින්ද, ජොන්ස්ටන්, දයා රත්නායකගේ නම් අමතකවීම පිළිබදව දැනටත් සාකච්ඡාවට ලක්වෙමින් තිබිණි. මධ්‍යස්ථ අදහස් දැරූ හැම කෙනෙකුගේම මතය වූයේ යටත් පිරිසෙයින් ඒ නම් කිහිපය හෝ කියැවුණා නම් වඩාත් හොද බවය. කෙසේවෙතත් සමාජය තුළ මලියදේව පිහිනුම් තටාක මාතෘකාව ප‍්‍රබලව කතාවෙද්දී හිටපු ජනපති මහින්ද ඊට දෙදිනකට පසුව නාරම්මල, රණස්ගල්ල පන්සලේදී ප‍්‍රතිචාර දැක්වීය. ‘‘හාමුදුරුවනේ, මේ ඊයේ පෙරේදා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කරනවා මම දැක්කා. මේ පිහිනුම් තටාකයට දුන්නෙ රජයේ මුදලුත් නෙවෙයි. මම ලබා දුන්නු මුදල්. රාජපක්‍ෂ පදනමෙන් මුදල් දීලා තමයි ඕක හැදුවෙ. මුල්ගල තියන්න අවෙ චමල් රාජපක්‍ෂ හිටපු කථානායකවරයා. හිටපු හමුදාපතිවරයාගෙ පිරිස් බලය යොදවලා මේක හැදුවෙ. මේ අය ගිහින් විවෘත කරනවා. අඩුගානෙ මමත් දැන් කුරුණෑගල මන්ත‍්‍රීවරයෙක්නේ. ඒක හින්දා හරි එන්න කියපියකෝ. එහෙමවත් නෑ.’’මහින්ද කීවේය.
දේශපාලනික වශයෙන් අදහස් පළකිරීම නවතා නිර්දේශපාලනික ඇසකින් මෙම සිදුවීම දෙස බැලුවහොත් අදාල සිදුවීම හරහා මලියදේව නාමයට සිදු වූ හානිය සුලුපටු නොවන බව ලියුම්කරුගේ හැගීම වෙයි. පෙර ලියා ඇතිවා සේම මලියදේවය යනු කුරුණෑගලට පමණක් නොව වයඹට සම්පතකි. මලියදේවය හරහා බිහි වුනු වයඹ පුතුන්ගේ සුරවිරුකම් ගැන කියා පෑම විනා මලියදේවය යනු දේශපාලන වේදිකා ගානේ පතුරු ගැසෙන මට්ටමක පැවැතිය යුතු නාමයක් නොවන බව මලියදේවයට ආදරය කරන හැම කෙනෙකුගේම මතය වී තිබේ. පාසලකට දේශපාලනය රිංගීම මෙරටේ අනාගතය භාරගැනීමට සිටින දරු පරපුර කෙරෙහි පවා කෙතරම් අයහපත් අන්දමින් බලපාන්නේ දැයි උදාහරණ ගණනාවක් පසුගිය සතියේදී මලියදේවය පැත්තෙන් දැකගත හැකි විය. ඉන් එකක් පමණක් මෙහි සටහන් කිරීමට ලියුම්කරු අදහස් කරයි. සිය අධ්‍යාපන කටයුතු අවසන් කර මලියදේව විද්‍යාලයෙන් මෑතකදී සමුගැනීමෙන් පසුව මාධ්‍යවේදියෙකු ලෙස අත්පොක් තබමින් සිටින එක්තරා තරුණයෙකු තම මුහුණුපොතේ තබන සටහනකින් තියා තිබුණේ පිහිනුම් තටාකය හදන්නට මුල් වූ අයගේ නම් කියැවීමට ඉඩ ඇති නිසා තමන්ට උත්සවයේ නිවේදන කටයුතු මෙහෙයවීමේ අවස්ථාව අහිමි වී ගිය බවය. ඔහු එම සටහන තිබුණේ මන්ත‍්‍රී ජොන්ස්ටන්ගේ ෆේස්බුක් ගිණුම ඇතුලු තවත් ෆේස්බුක් ගිණුම් ගණනාවක් ටැග් කරමින් වීම නිසා අදාල උත්සවය විවේචනය කරන්නයට බලා සිටි අයට එය හොද ආයුධයක් වී තිබිණි. තරුණයාගේ කලකිරීම සිය දහස් ගුණයකින් වැඩිකරන ආකාරයේ අදහස් දැක්වීම් තොග ගණනින් ඊට එකතු වී තිබූ ඔහුව සනසන ආකාරයේ යහපත් අදහස් දැක්වීම් තිබුණේ එකක් දෙකක් පමණි. පාසල් උත්සවයක නිවේදනය කටයුතු පවා දේශපාලනය මත තීරණය වෙතැයි අදහස් පළකෙරෙමින් පවතින වකවානුවක ආණ්ඩුව වේවා, විපක්ෂය වේවා, ඒකාබද්ධ විපක්ෂය වේවා ඒ කවර තරාතිරම නියෝජනය කළත් සිය පටු අරමුණු තකා පාසල් තුළට දේශපාලනය රිංගවීමේ අශිෂ්ට ක‍්‍රියාවලියට නැවතීමේ තිත තැබීම මෙරට හැම දේශපාලඥයෙකු අතින්ම සිදුවිය යුතු අනිවාර්ය යුතුකමක් සහ වගකීමක් බව මලියදේවය විසින් පසුගිය සතියේදී ඔප්පු කර පෙන්වීය.

දයාසිරි, ටී. බී. ඉදිරිපිටදී මෛත‍්‍රී අකිල අගයයි.

පිහිනුම් තටාකය විවෘත කරන්නට ආ ජනපති තමා සුව ඇමැති ලෙස කටයුතු කළ කාලයේ මලියදේවයට පැමිණි අයුරු සිහිපත් කළේ අපූරු සදහනක්ද කරමිනි. ‘‘2014 හය වැනි මාසේ 24 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ඇවිත් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන වැඩසටහනට සහභාගි වෙච්ච වෙලාවේ, රටේ ජනාධිපතිවරයා විදිහට අද ඔබව හමුවෙන්න ලැබෙයි කියලා මම එදා කිසිසේත්ම විශ්වාස කළේ නැහැ. නමුත් අධ්‍යාපන ඇමැතිතුමාලා එකතුවෙලා මාව ජනාධිපති කෙනෙක් කළා. ’’ අකිලගේ තනි ගිණුමට ලකුණු ටිකක් බැර කරමින් ජනපති එලෙස කියද්දී ඒ වේදිකාවේම ඇමැති දයාසිරි ජයසේකර, ඇමැති ටී. බී. ඒකනායක, වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක, ඇමැති නාවින්න ඇතුලු නම් නොකියැවුණු පිරිසක්ද අසුන්ගෙන සිටීම විශේෂත්වයක් විය.

පන්සල් මිදුලේ දේශපාලන ගුටි කෙළි.

පඩුවස්නුවර තෙන්ගොඩගෙදර ශ‍්‍රී තාලවනාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු බෝධි ප‍්‍රාකාරය විවෘත කිරීමේ උත්සවය පසුගිය ඉරිදා පැවැත්වුණේ මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙනි. මෙම උත්සවයට නොසිතූ විරූ ප‍්‍රසිද්ධියක් ලැබී තිබුණේ එම උත්සවයට එක් වී සිටි ඇමැති දයාසිරි ජයසේකරට ජනතාවගෙන් හූ හඩක් නැගීමේ සිදුවීමත් සමගය. මහින්දට අමතරව මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සාලින්ද දිසානායක, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන ඩී. බී. හේරත්, සමන්ප‍්‍රිය හේරත් ඇතුලු මහින්දවාදී මන්ත‍්‍රීවරුන් පිරිසක්ද උත්සවයට එක් වී සිටියහ. ඇමැති දයාසිරි මහින්ද එන්නට පෙරම උත්සවයට පැමිණ සිටි අතර ඒ වන විට උත්සවයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් තිබිණි. මහින්දගේ පැමිණීමත් සමග උත්සවය ආරම්භ වූ අතර ආරාධිතයින් සියලුදෙනාම වේදිකාවේ අසුන්ගත්හ. ඇමැති දයාසිරි ජොන්ස්ටන්ට යාබද පුටුව හිස්ව තිබෙනු දැක එහි අසුන් ගත්තේය. උත්සව සභාව ආරම්භ කරමින් විහාරාධිපති වෙල්ලගිරියේ සීවලී හිමියන් මුලදී කීවේ තමන් විසින් දයාසිරිට ආරාධනා කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා පැමිණෙන්නේ නම් තමාද අනිවාර්යෙන්ම උත්සවයට සහභාගිවන බව මෙන්ම ඕනෑම උපකාරයක්ද කරන බවට දයාසිරි විසින් සහතික වූ බවයි. එලෙස මුලදී කී සීවලී හිමියන් පසුව කීවේ දෙලාවක් අතර සිට වුවත් මෙම උත්සවයට දයාසිරි සහභාගිවීම අගය කරන බවය. හිමියන්ගේ එම ප‍්‍රකාශයත් සමග උත්සවයට පැමිණ සිටි පිරිස ඇවිස්සී ගිය අතර පිරිස දයාසිරිට හූ හඬ නගන්නට වූහ. ඒ අතරේ මහින්ද අතින් සංඥා කරමින් පිරිස සන්සුන් කිරීමට උත්සාහ ගනු පෙණිනි. මේ අවස්ථාවේ ජොන්ස්ටන්ට යමක් කී මහින්ද ජොන්ස්ටන් එතැනින් නැගිට්ටවා දයාසිරි තමා ළග පුටුවට ගෙන්වාගෙන වාඩිකරගන්නා ආකාරයද පෙණිනි. කොස්වෙතත් මහින්දගේ ඉල්ලීමත් සමග පිරිස සන්සුන් වූ අතර මහින්ද සහ දයාසිරි විනාඩි පහළොවකට වැඩි වේලාවක් සුහද කතාබහක යෙදී සිටිනු දැකගත හැකි විය. විහාරාධිපති සීවලී හිමියන්ගේ පිළිගැනීමේ කතාව අවසන් වනවාත් සමග දයාසිරි වේදිකාවෙන් බැස උත්සවයෙන් පිට වී ගියේය. එලෙස පිට වී යමින් සිටි දයාසිරිගෙන් උත්සව සභාවේ සිටි තරුණයෙකු ‘කොන්ද කෙළින්ද ? ’යැයි ඇසූ බවත්, තරුණයාගේ ප‍්‍රකාශයෙන් කෝපයට පත් දයාසිරි ‘මොකක්ද කිව්වේ ’යැයි අසමින් උත්සව භූමිය ආවරණය කර තිබූ යකඩ වැට වෙත ගිය බවද වාර්තාවෙයි. පසුව තවත් තරුණයන් පිරිසක් පෙර තරුණයාගේ සහයට පැමිණීම හේතුවෙන් දයාසිරි සහ තරුණයින් අතර ආරවුලක් නිර්මාණයවීම නිසා වේදිකාවේ සිටි මන්ත‍්‍රී ජොන්ස්ටන්, ඩී. බී. හේරත්, සමන්ප‍්‍රිය හේරත්ද එතැනට පැමිණ ආරවුල සමථයකට පත් කිරීමට මැදිහත් වූ බවද කියැවෙයි. ආරවුල දුරදිගයන්නට ඉඩ නොතබා තරුණයින් පිරිස එතැනින් ඉවත් කර දයාසිරි වාහනයට නංවා පිටත්කර හැරීමට පොලිසිය සහ ඇමැති ආරක්ෂක අංශයේ මැදිහත්වීමෙන් පියවර ගත් බවද කියැවෙයි. කෙසේවෙතත් දයාසිරි පිට වී ගිය පසුව වුවත් ආගමික උත්සවයක පැවතිය යුතු ශාන්ත බව එම වේදිකාවේදී දැකගත නොහැකි වූ අතර දේශපාලන කෝන්තර වේදිකාව පුරා දිගහැරිණි. එහිදී අනුශාසනාවක් පැවැත් වූ වයඹ ප‍්‍රධාන සංඝනායක රැකව ජිනරතන නාහිමියන් මහින්ද පැරදවීම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බවට වදාරමින් දිගු අනුශාසනාවක්ද පැවැත්වීය. අනුශාසනාව අතරතුරදී නාහිමියන්ට කැස්සක් මතුවීම නිසා වතුර වීදුරුවක් පිළිගන්වන්නටද සංවිධායක මණ්ඩලයට සිදු වූ අතර වතුර පානය කරමින් හිමියන් නොනවත්වාම කතා කළහ. අන්තිමේදී නාහිමියන් විසින් සිය අනුශාසනාව නැවැත්වූයේ එය කෙටි කරන්නැයි සංවිධායක මණ්ඩලය විසින් තුණ්ඩු කැබැල්ලක් පිළිගැන්වීමෙන් පසුවය. අනතුරුව තවත් අනුශාසනාවක් පැවැත් වූ කුරුණෑගල දිසාවේ ප‍්‍රධාන සංඝනායක හේනේගෙදර සිද්ධාර්ථ හිමියන්ද ඇමැති දයාසිරිගේ මෙන්ම නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායකගේ නම් ගම්ද සහිතව වදාරමින් කියා සිටියේ මහින්ද අතැර ගිය අය යළි කිසිදනෙක එකතුකර නොගන්නා ලෙසටය. මහින්ද විසින්ද රටේ තොටේ දේශපාලනය විග‍්‍රහ කරමින් පිළිබද සැර කතාවක් පන්සල් මිදුලේදීම පැවැත්වීමෙන් පසුව ආගමික උත්සවය අවසන් විය.

alu_yata_ gini_march_17_3

උපුටාගැනීම – මව්බිම පුවත්පත- 2016 ජූනි 30 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article