අද ශ්රී ලංකාවේ කොවිඩ් මරණ දහස ඉක්මවා ගිය බව මීට මොහොතකට පෙර දැනගතිමි.
28 දෙනෙකුට කොවිඩ් ආසාදනය වූ විට රට වසා දමා රෝගය පැතිරීම පාලනය කරගන්නැයි ඉල්ලා සිටීම සමබන්ධයෙන් “28ක් ලෙඩවෙලා රටක් වහනවදැ”යි අසමින් ජනාධිපතිවරයා මාධ්ය ඉදිරියේ ප්රසිද්ධියේ හිකි හිකි ගා සිනාසුණේය.
ගුවන්තොටුපොලේ මැෂින් හයිකර ඇති බවත් පිටරටින් රෝගය මෙරටට පැමිණීම පිළිබඳ බියක් ඇතිකරගතයුතු නැති බවත් ඇමති දිනේෂ් ගුණවර්ධන කීවේය.
ඔයින් මෙයින් “වටේටම මහ මුහුදින් වටවූ දූපතක් වන ශ්රී ලංකාව” කොරෝනා මාරයා වෙලා ගන්නා ලදී. දූපතකට වසංගතයක් නිකම් එන්නේ නැත. ගොඩබිම් දේශසීමා ඇති රටකට වඩා දූපතක් වසංගතයකින් බේරාගැනීම අත්යන්තයෙන්ම පහසු විය යුතුමය. නමුත් අද දොඹෙන් කෙළවී ඇත.
එසේ අවදානම උපරිමයේ තිබියදී රට වසාගන්නට අපිට බැරිය.
වැසුවොත් දුවන්නට සල්ලි නැත.
කඩිනමින් පී.සී.ආර් පරීක්ෂණ කිරීමට අපට පහසුකම් නැත.
පහසුකම් ගන්නට මුදල් නැත.
කොවිඩ් රෝගීන් සියල්ලන්ම රෝහල්ගත කිරීමට අපට පහසුකම් නැත.
ඒ පහසුකම් ගන්ටත් මුදල් නැත. එසේ තිබියදී ක්රීඩා ඇමතිවරයා රට පුරා ජිම් හදන්ට යයි.
ඇමති මණ්ඩලයේ කීදෙනෙකු සිටීදැයි හැබෑවටම මට මතක නැත.
එච්චරකට සිටී. ඒ හැමෝටම කප්පරක කාර්යමණ්ඩල ඇත.
යාන වාහන ඇත. පහසුකම් ඇත. ඒවා බොහොමයකින් මේ දිනවල කෙරෙන වැඩක් නැත.
හැමෝම බැණ බැණ හිටියාටත් පළක් නැත.
කෙරෙන විදිය නොහොඳ නම් විසඳුම යෝජනා කළ යුතුය. මා යෝජනා කරන විසඳුම සැකෙවින් මේය:-
1. අපිට දොඹෙන් කෙළවී ඇත. මුළින්ම එය තේරුම් ගත යුතුය. එබැවින් මදක් කරබාගත යුතුය. තාවකාලිකව රටේ ක්රියාකාරීත්වය මඳකට අඩාළ කළ යුතුය. එය දැන් වෙන විදියට නිකම්ම වන අඩාල වීමක් නොව පාලනයක් යටතේ වන අඩාල කිරීමකි. තවදුරටත් කරගෙන යෑම අත්යවශ්ය නොවන වැඩ සියල්ල මසකට දෙකකට පමණ වහාම නැවැත්විය යුතුය. කැබිනට් මණ්ඩලය වහාම සංශෝධනය කළ යුතුය. ජනාධිපතිවරයා අගමැතිවරයා සහ තවත් ඇමතිවරු 10ක් පමණක් තබාගෙන අනෙක් ඇමතිවරු ඔවුන්ගේ මහා පරිමාණ කාර්ය මණ්ඩල සහ යාන වාහන දීමනා ආදී වියදම්ද අත්හිටුවා වහාම විසුරුවාහැරිය යුතුය. මාස දෙකක් මන්ත්රී වැටුප ලැබුවාට එඋන්දලා මැරෙන්නේ නැත.
2. රටේ ප්රධාන කාර්යයන් 3කි.
i. රෝගය පැතිරීම පාලනය.
ii. එය පාලනය කරන තුරු රටේ ජනතාවගේ ආහාර බේත්හේත් සහ අනෙකුත් මූලික අවශ්යතා.
iii. පිටතින් රෝගය රටට ඇතුළු වීම වැලැක්වීම
ඔය කී අරමුණු තුන රටේ මූලික සහ ප්රමුඛතම දැක්ම බවට පත්කරගෙන ඒ ඔස්සේ ඊට අත්යවශ්ය නොවන දෑ තීරණය කොට මාස දෙකක කාලයකට එවන් අනවශ්ය වියදම්කාරී සියලු දේ වහාම අත්හිටුවිය යුතුය.
3. රට අර්ථාන්විතව සම්පූර්ණයෙන්ම දින 21ක් එක දිගට වසා තැබිය යුතුය. රටට ඇතුළුවීම පිටවීම මෙන්ම රට තුල ගමනාගමනයද ඇඳිරිනීතිය පණවා අත්යවශ්ය ගමන්බිමන් සඳහා පමණක් සීමා කළ යුතුය. එම වසා තබන කාලය තුල ජනතාවගේ මූලික අවශ්යතා ඉහත 2 (ii) පරිදි ඉටුකිරීම රජයේ මූලික වගකීම විය යුතුය. දින 21කින් පසු ක්රමයෙන් යථා තත්වයට පත් වී 31 වැනි දින සිට 100%ක ක්රියාකාරීත්වයට නැවත ළඟා වීම ඉලක්ක කළ යුතුය.
4. රෝගය පාලනයට සෞඛ්ය අංශ වලට මූලිකත්වය දිය යුතුය. ආරක්ෂක හමුදාවන්ට ඉහත 2(ii) ට දායක විය හැක. දන්නා අය දන්නා දේ කිරීම මිස නොදන්නා උන් හොදි හැඳිගෑම අත්හිටවිය යුතුය.
5. දේශීය වෛද්ය ක්රම හරහා රෝගයට විසඳුමක් සෙවීමට ප්රමාණවත් අවධානයක් යොමු කළ යුතුය. (තැන් තැන් වල ඉන්න ඔරංඔටංලාට තමා හදන මොන මොනවා හෝ ජනතාව පෝලිං ගස්සා විකිණීමට ඉඩදිය යුතු බවක් ඉන් අදහස් නොවේ)
6. රටේ සියලුම අභ්යන්තර ණය ඇතුළු සියලුම ගෙවීම් සඳහා මාස 2ක රික්තකයක් ප්රකාශයට පත්කළ යුතුය. එනම් මාස දෙකක කාලයක් සඳහා පොළී ගණන් බැලීමකින් තොරව සියල්ල අත්හිටුවා තැබීමයි.
මේවා බරපතළ වැඩි යැයි කෙනෙකුට සිතෙන්ට පුළුවන. නමුත් දැන් ඇති තත්වය ඊට වඩා යහපත්ද? රට ඇරලාත් නැත වහලාත් නැත. කාර්යාල වහලා නැත. නමුත් කෙරෙන වැඩකුත් නැත. රටේ පාලකයෝ මොන මොනවාදෝ කරති. රාජ්ය නායකත්වය ඉන්නවාද නැද්ද ඒ ලංකාවේද දන්නේ නැත.
දැන් ප්රශ්නය දොරකඩටම පැමිණ තිබේ.
එයට හරිහැටි මුහුණදීම හැර විකල්පයක් නැත.
අතිල ආතාවුද