Saturday, November 23, 2024

මන්ත‍්‍රී නලින් බණ්ඩාරට විරෝධය පා ගොවි නියාමකයින් දහස් ගණනක් කුරුණෑගලදී විරෝධතාවයක.

Must read

ගොවීන් කුලප්පු කරන උද්ඝෝෂණ පිටුපස සිටින්නේ පොහොරවලින් මුදල් ගසා කන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් බවට කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා විසින් කළ බව කියන ප‍්‍රකාශයකට විරෝධය දක්වමින් දිවයිනේ නන්දෙසින් පැමිණි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් පිරිසක් අද (09 දා ) දහවල් කුරුණෑගල නගර මධ්‍යයේදී විරෝධතාවයක යෙදුණහ.

ශ‍්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය සදහා දහසකට අධික කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් පිරිසක් එක් වී සිටියහ. කුරුණෑගල ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේ සිට කුරුණෑගල නගරය දක්වා පා ගමනින් පැමිණි මෙම පිරිස කුරුණෑගල ප‍්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතා වැකි ලියූ පුවරු ප‍්‍රදර්ශනය කරමින් සිය විරෝධතාවය ආරම්භ කළහ. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ ශ‍්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සංගමයේ සභාපති නවරත්න හේරත් මහතා මෙසේ පැවැසීය. ‘‘අද දවසේ සියලූම ගොවිජන සේවා මධ්‍යස්ථාන වහලා දාලා, කලූ කොඩි ඔසවලා, ලෙඩ නිවාඩු වාර්තා කරලා අපේ සියලූම නිලධාරීන් මේ විදිහට කුරුණෑගලට එකතුවුණේ නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා විසින් කරපු ඒ ප‍්‍රකාශය වහාම ඉල්ලා අස්කරගන්න කියලා බලකරන්නයි. එහෙම නොවුනොත් අද කුරුණෑගලින් ආරම්භ කරපු මේ විරෝධතාවය මේ රටේ අස්සක් මුල්ලක් නෑරම අරගෙන ගිහිල්ලා අපේ බලය ඔය බණ්ඩලාට පෙන්වන්නත් අපි ලෑස්තියි. අපිට බණ්ඩට කියන්න තියෙන්නේ බණ්ඩෝ ඔබ ඇණගත්තා කියලයි. මේ අහිංසක නිලධාරීන් කවදාකවත් හොරකම් කළේ නෑ. පොහොරවලට සල්ලි එකතුකළේ ගොවියොමයි. අපේ නිලධාරීන් කළේ ඒවාගේ තිබුණු අඩුපාඩු නිවැරදි කරපු එක විතරයි. ඒ ගැන කිසිම දෙයක් හරිහැටි නොදැන අපිත් එක්ක හැප්පෙන්න ලෑස්තිවෙන්න එපා කියලා අපි බණ්ඩට කියනවා. ’’

පැය භාගයකට වැඩි වේලාවක් එම ස්ථානයේ විරෝධතාවයේ යෙදුණු පිරිස කුරුණෑගල ඔරලෝසු කණුව වටරවුම අසලට යළිත් වරක් පා ගමනින් පැමිණීමෙන් අනතුරුව එතැනදී කෙටි රැස්වීමක් පවත්වා විසිරී ගියහ. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ මෙම විරෝධතාවය හේතුවෙන් කුරුණෑගල නගරය මැදින් දිවෙන මාර්ග සියල්ලක්ම පාහේ අවහිරවීම නිසා නගරය තුළ පැයකට වැඩි කාලයක් තිස්සේ දැඩි රථවාහන තදබදයක් පැවැතිණි.

nalin_protest_1 nalin_protest_2 nalin_protest_3 nalin_protest_4 nalin_protest_10 nalin_protest_5 nalin_protest_6 nalin_protest_7 nalin_protest_8 nalin_protest_11 nalin_protest_9

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article