Sunday, January 19, 2025

මගුරු ඔයෙන් මාලු බාන්න ගිය දෙදෙනෙක් දියේ ගිලී මියයති.

Must read

maguru _oya_drawer

වාරියපොල – කුඹුක්ගැටේ මාර්ගයේ, ගෝනගම පාලම ආසන්නයේදී මගුරු ඔයෙන් මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් ඊයේ  (21 දා )ජීවිතක්ෂයට පත්වූහ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වැල්ලව, හදිරවලාන ප‍්‍රදේශයේ පදිංචි සේවුද් ආබ්දීන් සේගු දාවුද් නැමැති 55 හැවිරිදි පුද්ගලයෙක් සහ මොහොමඩ් මුනාස් ෆාහිම් නැමැති 44 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයින් දෙදෙනා ඥාතීන් වන අතර මුනාස් ෆාහිම් නැමැත්තා දිගු කලක් තිස්සේ විදේශගත වී සිට ආපසු දිවයිනට පැමිණ ඇත්තේ මීට සති කිහිපයකට පෙරදී බව ඔහුගේ ඥාතීහු කියති.

ඊයේ උදෑසන මගුරු ඔය පාලමට නුදුරින් පිහිටි ස්ථානයකට පැමිණ ඇති මෙම දෙදෙනා එහිදී බිලී පිති ආධාරයෙන් මසුන් ඇල්ලීමේ යෙදී තිබේ. වාරියපොල නගරය වෙත ජලය සැපයීම සදහා මගුරු ඔය හරහා ඉදිකරන ලද බැම්මක් මෙම ස්ථානයේ ඇති අතර මසුන් ඇල්ලූ දෙදෙනා එම බැම්ම මත සිට තම කාර්යයේ යෙදී ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. එලෙස මසුන් අල්ලමින් සිටි එක් අයෙකු පය ලිස්සීමෙන් එක්වරම දියට ඇදවැටී ඇති අතර ඔහුව බේරාගැනීම සදහා අනෙක් පුද්ගලයාද ඔයට පැන ඇති බවත්, ඉන් අනතුරුව දෙදෙනාම දියේ ගිලී නොපෙනී ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එම ස්ථානයේ මසුන් අල්ලමින් සිටි අනෙක් පුද්ගලයින්ගේ දැනුම්දීමකට අනුව ප‍්‍රදේශවාසී තරුණ පිරිසක් මගුරු ඔයට බැස පැය ගණනාවක් තිස්සේ කළ පරීක්ෂාවකින් අනතුරුව සේවුද් ආබ්දීන් සේතු දාවුත් නැමැති පුද්ගලයාගේ මළ සිරුර ඊයේ පස්වරුවේ සොයාගනු ලැබීය. අනෙක් පුද්ගලයාගේ මළ සිරුර සොයාගැනීම සදහා ප‍්‍රදේශවාසින් විසින් ඇදිරිවැටෙන තෙක්ම මහත් පරිශ‍්‍රමයක් දැරූ නමුත් සිරුර සොයාගත නොහැකිවිය. ඒ අනුව කුරුණෑගල පොලිසිය විසින් කළ දැනුම්දීමකට අනුව කල්පිටිය නාවික හමුදා කදවුරේ සිට අද  (22 දා) උදෑසන එහි පැමිණි නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් දියේ ගිලුණු අනෙක් පුද්ගලයාගේ මළ සිරුරද සොයාගත්හ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන එනු ලැබූ මළ සිරුරු අද  දහවල් ඔවුන්ගේ ඥාතීහු වෙත භාරදෙනු ලැබීය.

කුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප  – වාරියපොල රවින්ද්‍ර නෙත්තසිංහ

maguru _oya _drawer_1

maguru _oya _drawer_2

maguru _oya _drawer_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article