හෙරොයින් මිලදී ගත් හිමිනමක සහ හෙරොයින් අලෙවිකළ ජාවාරම්කරුවෙකු කුරුණෑගල නීතිය බලාත්මක කිරීමේ ඒකකය විසින් පෙරේදා (26 දා) කුරුණෑගල ඇත්කද විහාරය අසලදී අත්අඩංගුවට ගනු ලැබූහ.
23 හැවිරිදි සැකකාර භික්ෂුව වැල්ලව වරද්දන ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන බවත්, හෙතෙම මේ වනවිට අනුරාධපුර බුද්ධශ්රාවක විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින් සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. හෙරොයින් අලෙවිකරුගෙන් රුපියල් දහසක මුදලකට මිලදී ගත් හෙරොයින් පැකැට්ටුවක් භික්ෂුවගේ ගමන්මල්ලේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. හොරොයින් භාවිතයට ඇබ්බැහි වූ වැල්ලව ප්‍රදේශයේ තරුණ පිරිසක් ඇසුරුකිරීමෙන් තමන්ද ඒ සදහා පුරුදු වූ බවට භික්ෂුව විසින් පොලිසියට ප්‍රකාශ කර තිබේ. අත්අඩංගුවට ගත් ජාවාරම්කරු කුරුණෑගල ඇත්කද විහාරය ඉදිරිපිට පදිංචිකරුවෙකු වන අතර ඔහු සන්තකයේ තිබූ හෙරොයින් මිලිග්රැම් 40 ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාවාරම්කරු හෙට ( 29 දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, සැකකාර භික්ෂුව රුපියල් 50000 ක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ.
කුරුණෑගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත කුරුණෑගල කුරුණෑගල නීතිය බලාත්මක කිරීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. බී. පුණ්‍යසේන මහතා ඇතුලු නිලධාරීහු වැටලීම සිදුකළහ.
මූලාශ්‍රය – ලංකාදීප , පුෂ්පකුමාර ජයරත්න
(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූප නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )