සේවා මුරය අවසන් කළ ඇගලුම් සේවිකාවන් පිරිසක් නිවෙස් වෙත ප‍්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ඊයේ (04 දා ) රාත‍්‍රියේ ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගයේ කිරිබමුණ ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාම හේතුවෙන් එහි ගමන් කරමින් සිටි ඇගලුම් සේවිකාවන් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
ඊයේ රාත‍්‍රි හතට පමණ මෙලෙස අනතුරට ලක්වූයේ මාවතගම කර්මාන්තපුරයේ පිහිටි ඇගලුම් කම්හලක සිට පොල්පිතිගම දක්වා ඇගලුම් සේවිකාවන් ප‍්‍රවාහනය කරමින් සිටි බස් රථයකි.
මෙම බස් රථයේ රියදුරා විසින් ඉදිරියෙන් ගමන් කළ යතුරු පැදියක් පසුකර යාමට උත්සාහ කිරීමේදී බස් රථය යතුරු පැදියේ පසුපස කොටසේ ගැටී තිබේ. එහිදී බස් රථ රියදුරාට වේගය පාලනය කරගැනීමට නොහැකිවීම නිසා මාර්ගයෙන් ඉවතට පැන ඇති බස් රථය අසල තිබූ වෙල්යායකට පෙරළී ගොස් තිබිණි. ඒ වන විට බස් රථයේ ගමන් කරමින් සිටි ඇගලුම් සේවිකාවන් අට දෙනෙකු ප‍්‍රදේශවාසීන් විසින් ගලවාගෙන ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
ගොකරැල්ල දිසා රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී කේ. බී. රත්නායක මහතාගෙන් වයඹ ටුඩේ කළ විමසීමකදී හෙතෙම පැවසුවේ අනතුරින් තුවාල ලබා රෝහලට ඇතුළත් කළ ඇගලුම් සේවිකාවන් අට දෙනාගේ තත්වය බරපතල නොවන බවය. තැලුම් තුවාල ලබා සිටි සේවිකාවන් කිහිපදෙනෙකු මූලික ප‍්‍රතිකාර ලබාගැනීමෙන් පසුව නිවෙස් බලා පිටත් වී ගිය බවත්, ඉතිරි සේවිකාවන් පිරිසද ඔවුන් සේවය කළ ඇගලුම් කම්හල් පාලනාධිකාරියේ ඉල්ලීමක් මත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
බස් රථයේ ගැටුණු යතුරු පැදිය පැදවූ පුද්ගලයාද රෝහල් ගත කර ඇති අතර ගොකරැල්ල පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.