පොහොය දිනවලදී සහ ඉරිදා දිනවල උදය වරුවේදී වයඹ පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1994 අංක 1 දරණ වයඹ මානව සම්පත් අධිකාරි ප්රඥප්තියේ අංක 18/2 වගන්තිය යටතේ , 2015 මාර්තු මස 09 වැනි දින නිකුත් කරන ලද අංක 1780/4 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම තහනම පනවා තිබේ.
අදාළ ගැසට් නිවේදනයට අනුව ඉරිදා දිනවල පෙරවරු 6 සිට පස්වරු 1.30 දක්වා කාල සීමාව තුළ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ( අ.පො.ස. සාමාන්‍ය පෙළ) පන්තිවල ඉගෙනුම ලබන පාසල් සිසුන් සදහා උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහහම් කර තිබේ. ඊට අමතරව පොහොය දිනවලදී කිසිදු ආකාරයක උපකාරක පන්තියක් වයඹ පළාත තුළ පැවැත්වීමද මෙම ගැසට් නිවේදනයෙන් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
මීට අමතරව උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානවලට ඕනෑම අවස්ථාවක ඇතුල්වීමට , එම ස්ථාන පරීක්ෂාකිරීමට සහ තොරතුරු ලබාගැනීමට මෙම ගැසට් නිවේදනයෙන් වයඹ මානව සම්පත් අධිකාරිය වෙත බලය පවරා දී ඇති අතර ඒවායේ හිමිකරුවන් විසින් මානව සම්පත් අධිකාරිය ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක තොරතුරු ලබාදීමට හා සහයෝගය ලබාදිය යුතු බවටද අදාළ ගැසට් නිවේදනයෙහි වැඩිදුරටත් නියෝග කර තිබේ.
මෙම නියෝග කඩකරන උපකාරක පන්ති ගුරුවරුන් හෝ ආයතන හිමිකරුවන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරිය හැකි ලෙසටත්, එහිදී වැරදිකරු බවට ඔප්පුවුවහොත් රුපියල් පනස් දහසක් දක්වා වූ දඩ මුදලක් සහ වසරක් දක්වා වූ සිර දඩුවමක් හෝ ඒ දෙකම නියම කළ හැකි පරිදි මෙම ගැසට් නිවේදනයෙන් බලය පවරා දී තිබේ.
මෙම ගැසට් නිවේදනයත් සමග පොහොය දිනවල සහ ඉරිදා දිනවල උදය වරුවේ උපකාරක පන්ති පැවැත්වීම ගැසට් නිවේදනයක් මගින් තහනම් කරනු ලැබූ දිවයිනේ පළමු පළාත බවට වයඹ පළාත පත් වෙයි. පොහොය සහ ඉරිදා දිනවල වයඹ පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බවට මීට පෙර වයඹ පළාත් සභාව වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවක්ද එහි මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරගනු ලැබූහ.