ලක්බිමට බුදු දහම ලැබීම සිහිපත් කෙරෙන උතුම් පොසාන් පුන් පොහොය පවා අමු අමුවේ කෙලෙසා දමමින් මහව, දිගන ක‍්‍රීඩාංගණයේදී දින අටක් තිස්සේ පවත්වාගෙන ගිය පොසොන් කලාපය , පොසොන් පොහාය දඩමීමා කරගනිමින් ගමට සූදුව බෝකිරීම පිණිස අටවාගෙන තිබූ දුරාචාර කලාපයකයැයි මහව ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.
මහව නාගරික වෙළද සංගමයේ අනුදැනුම ඇතිව මෙම පොසොන් කලාපය සංවිධානය කර තිබුණේ කොළඹට නුදුරුව පිහිටි සැණකෙලි සංවිධාන ආයතනයක් විසිනි.
ජූනි 19 වැනිදා සිට 26 වැනිදා දක්වා දර්ශණීය තොරණ සහිත පොසොන් කලාපයක් දිගන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව සදහන් කරමින් කටවුට් සහ පෝස්ටර් දහස් ගණනක් මහව සහ ඒ අවට ප‍්‍රදේශවල ප‍්‍රදර්ශණය කිරීමට අදාළ සැණකෙලි සංවිධාන ආයතනය විසින් පොසොන් පොහෝ දිනට සති ගණනාවකට පෙර සිටම කටයුතු කර තිබිණි.
ඒ අනුව පොසොන් පොහොයට දින කිහිපයකට පෙර අදාළ සැණකෙලි සංවිධාන ආයතනය විසින් පොසොන් කලාපයේ වැඩ ආරම්භ කළේ ඒ වනවිට දිගන කී‍්‍රඩාංගණය වටා ඉදිකෙරෙමින් තිබූ කම්බි වැටෙහි කොන්ක‍්‍රීට් කණු කඩා බිමට දැමීමෙන් පසුව ඔවුන්ට අවශ්‍ය ලෙස ප‍්‍රවේශ මාර්ග නිර්මාණය කරගනිමිනි. එලෙස ගලවා ඉවත්කළ කම්බිවැට වෙනුවට දිගන කී‍්‍රඩාංගණය සම්පූර්ණයෙන්ම වැසී යන පරිදි ඇලුමිනියම් තහඩු වලින් ආවරණය කෙරුණු අතර නානාවිධ විනෝද සැණකෙළි උපකරණ සහ යන්ත‍්‍ර සූත‍්‍ර පිටිය තුළ සවිකෙරිණි.
බුදු ගුණ සිහිපත් කෙරෙන පොසොන් කලාපයක් දැකගැනීම සදහා පොසාන් සතිය පුරා දිගන ක‍්‍රීඩාංගණයට ඇදුණු ප‍්‍රදේශවාසීන් විමතියට පත් වූයේ පොසාන් කලාපයට පා තැබූ සෑම වැඩිහිටියෙකුගෙන්ම ඊට ඇතුලූවීම සදහා රුපියල් සියයක් සහ දරුවකුගෙන් රුපියල් පනහක් අය කිරීම හේතුවෙනි. තොරණ බැලීමේ අරමුණින් මුදල ගෙවා ඊට ඇතුලු වූ ප‍්‍රදේශවාසීන්ට තමන් මහත් ප්‍රෝඩාවකට හසු වී ඇති බව තේරුම් ගියේ කටවුට් සහ පෝස්ටර්වල සදහන් වී තිබූ ආකාරයේ මහා තොරණ් රාජයෙකු තබා පොල් තොරණක්වත් මෙම පොසොන් කලාප භූමියේදී දක්නට නොලැබීම හේතුවෙනි. එමෙන්ම පූර්ව ප‍්‍රචාරයන්හි කියැවුණු පරිදි නොමිලේ නැරඹිය හැකි සංගීත ප‍්‍රසංගයන්ද එහිදී දැකගත නොහැකි වූ අතර සෑම දිනකම සංගීත ප‍්‍රසංග පැවැත්වුණු නමුත් ඒවා නැරඹීම සදහා වෙනම මුදල් අයකෙරිණි. ඊට අමතරව පොසොන් කලාපය තුළ ස්ථානගත කර තිබූ විනෝද සැණකෙළි විශේෂාංග භාවිතාකිරීම සදහා රුපියල් 100, රුපියල් 200 ආදී වශයෙන් මුදල් අයකෙරිණි.
පෝස්ටර්වල සදහන්ව තිබූ තොරණ ඉදිකර නොතිබූ නමුත් ඒවායේ සදහන් වී නොතිබූ සූදු කෙළි ගණනාවක් මෙම පොසාන් කලාපය තුළ යහමින් ක‍්‍රියාත්මක කරන්නට එහි සංවිධායකයින් විසින් වගබලාගෙන තිබිණි. රුපියල් දහසේ නෝට්ටු ඇමිණූ බීර බෝතල්වලට වළලු දැමීමේ සූදුවක් සහ සල්ලි මිටි තෑගි ලබාදෙන බව කියන පිං පොං බෝල සූදුවක් පොසාන් කලාප භූමියේ ජයටම ක‍්‍රියාත්මක විය. සුරාමේරය සදහා පොසොන් කලාපයේ දොරටු හොදහැටි විවර වී තිබීමෙන් මත් වූ තරුණ පිරිස් අතර ඇති වූ ගුටිකෙළි හේතුවෙන් සැලකිය යුතු තරුණ පිරිසක්ද රෝහල් ගත කිරීමට සිදු විය. පොසොන් කලාපයක් හරහා බොදුනුවන්ගේ සිත්වල බුද්ධාලම්භන ප‍්‍රීතියක් ජනිත කළ යුතු නමුත් ඒ වෙනුවට දින අටක් තිස්සේ දිගන කී‍්‍රඩාංගණය තුළ සුරාව, සූදුව මෙන්ම විසූක දස්සනයන් රජ කළ මහව පොසොන් කලාපය පසුගිය 26 වැනිදා රාත‍්‍රියෙන් අවසන් විය.
පොසොන් කලාපය අවසන් වී මේ වන විට සතියකට ආසන්න කාලයත් ගෙවී ඇතත් නාසයක් ඇති මිනිසෙකුට දිගන කී‍්‍රඩාංගණය පැත්ත පළාතක පස් පෑගිය හැකි තත්වයක් උදා වී නොමැත. දිගන කී‍්‍රඩාංගණය වෙතින් මේවන විට දැකගත හැක්කේ පොදු වැසිකිලියක ස්වභාවයකි. පොසොන් කලාපය සංවිධානය කළ සංවිධායකයින් විසින් එහි පැමිණෙන ජනතාවට කැසිකිලි වැසිකිළි පහසුකම් සකස්කර දී නොතිබීම නිසා ඊට පැමිණි පිරිස් විසින් තම ශරීර කෘත්‍යයන් සදහා දිගන පිටිය සහ අවට ප‍්‍රදේශ පාවිච්චිකර තිබීමෙන් ඉවසිය නොහැකි තරමේ දුර්ගන්ධයක් මේ වන විට ප‍්‍රදේශය පුරා හමායමින් තිබේ. තමන්ගේ සැණකෙළි උපකරණ අකුලාගැනීමෙන් පසුව දිගන කී‍්‍රඩාංගණය එලෙසම අතහැර දැමීමට එහි සංවිධායකයින් විසින් කටයුතු කර තිබීමෙන් පිටිය පුරා පොලිතීන් ඇතුලූ කුණු කන්දක් ගොඩගැසී ඇති අතර එම කැලිකසල සුළ`ගට හසුව ඒ මේ අත විසිරී යමින් මහත් පරිසර විනාශයක් සිදුවෙමින් පවතී.
පෝස්ටර්වල බොරු බේගල් මුද්‍රණය කර ජනතාව අද්දවාගෙන ඔවුන්ගේ මුදල් සූරා කෑ මෙම පොසොන් කලාපය මහව ප‍්‍රදේශයට, ජනතාවට පමණක් නොව බුදු දහමට පවා ඇති කළේ සුඵපටු කැළැලක් නොවන බව ප‍්‍රදේශවාසී ජනතාව දැන් කියති. පොසොන් කලාප නමින් සූදු පිටි පවත්වා ගමේ ජනතාවගේ ඉණ ඉහ අතගාගෙන යන්නට පිටස්තරයින්ට පාරවල් කපා දුන්නා මදිවාට ප‍්‍රදේශයට ඇති එකම පොදු කී‍්‍රඩාංගණයද වනසා දමන තුරු මහව නිල බලධාරීන් නින්දේ පසුවීම කණගාටුවට කරුණක් බවද ඔවුහු වැඩිදුරටත් කියති. ජනතාවටත්, දිගන කී‍්‍රඩාංගණයටත් මේ සා විනාශයක් ගෙනදෙමින් ඊනියා පොසොන් කලාපයක් සංවිධානය කිරීමට මුල් වූ සහ ඒ සදහා අවසර දුන් බව කියන රාජ්‍ය ආයතනයන් තවමත් මුනිවත රකිමින් සිටීම පිළිබදව ප‍්‍රදේශවාසීහු දැඩි අප‍්‍රසාදය පළකරති.