Saturday, January 18, 2025

පොලිසියෙන් කෝටි පනහක් ඉල්ලන, කවුද මේ ලෝයර් ධම්මික ?

Must read

police_board
නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සහ පදනම් විරහිත චෝදනා නැගීමෙන් තම කීර්තිනාමයට සිදු වූ හානිය සහ විදීමට සිදු වූ ශාරීරික සහ මානසික පීඩාවන් වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක ( 500,000,000/-) වන්දියක් ගෙවන්නැයි ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට නියෝග කරන්නැයි ඉල්ලා නීතිඥ වසන්ත ධම්මික ගමආරච්චි මහතා විසින් කුරුණෑගල දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

නීතිඥ ඩිලානි ජයනෙත්ති මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලෙන් පැමිණිලිකාර වසන්ත ධම්මික ගමආරච්චි මහතා කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ වසර 20 කට අධික කාලයක් විවිධ අධිකරණවල සේවය කරන බවත්, දැනට කුරුණෑගල නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු බවත්, කුරුණෑගල ස්ථීර පදිංචියක් ඇති ප‍්‍රදේශයේ ඉතා විශිෂ්ට කිර්තියක් සහ උසස් සමාජ තත්ත්වයක් දරණ තැනැත්තෙකු වශයෙන් සිටින පුද්ගලයෙකු බවත් දක්වා තිබේ.

නීතිඥ වසන්ත ධම්මික ගමආරච්චි මහතා වෙනුවෙන් නීතිඥ ඩිලානි ජයනෙත්ති මහත්මිය විසින් ඔක්තෝම්බර් මස 02 වැනිදා කුරුණෑගල දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති මෙම නඩුවෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ආනන්ද අබේරත්න, එහි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සොයිසා, පොලිස් කොස්තාපල් බණ්ඩාර යන මහත්වරුන් සහ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාද වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

2015 ජූලි මස 4 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කිසිදු සාධාරණ හෝ යුක්ති සහගත හේතුවකින් තොරව පළමුවැනි විත්තිකාර ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත දෙවැනි විත්තිකාර පොලිස් පරීක්ෂක නිශාන්ත සොයිසා විසින් පැමිණිලිකරුව අත්අඩංගුවට ගත් බවත්, එම අත්අඩංගුවට ගැනීම නීති විරෝධී සහ ද්වේශසහගත බවද එහි දැක්වෙයි.

එලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසු කිසිදු සාධාරණ සහ යුක්තිසහගත හේතුවකින් තොරව 2015 ජූලි මස 4 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පළමුවැනි සහ දෙවැනි විත්තිකරුවන්ගේ අනුදැනුම පිට මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු ලෙස නම් කර සිටින පොලිස් කොස්තාපල් බණ්ඩාර විසින් පැමිණිලිකාර වසන්ත ධම්මික ගමආරච්චි මහතා කුරුණෑගල වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත්කරන ලද බවත් එහි වැඩිදුරටත් සදහන්ය. එහිදී විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා විසින් අසත්‍ය කරුණු පදනම්කරගෙන හා සත්‍ය කරුණු සගවමින් පැමිණිලිකරුව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඉල්ලා සිටි නමුත් වසන්ත ධම්මික ගමආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා පැමිණිලිකරු රුපියල් දස දහසක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලද බවත්, මුදල් ඇප තැබීම සඳහා 2015.07.09 වැනි දින විවෘත අධිකරණයේ එකී නඩුව කැඳවීමට නියෝගකළ බවද අධිකරණය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලෙහි දක්වා තිබේ.

ඒ අනුව 2015 ජූලි මස 09 වැනිදා ඇප මුදල් තැන්පත් කිරීම සඳහා කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී පළමුවැනි සහ දෙවැනි විත්තිකරුවන්ගේ අනුදැනුම සහ උපදෙස් මත තුන්වැනි විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා විසින් අධිකරණය නොමග යවන සුළුවූත්, අසත්‍යවූත් පදනම් විරහිතවූත් ,වැඩිදුර වාර්තාවක් ද්වේශසහගතව ගොනුකරන ලද බවත්, එම වාර්තාව මගින් නීති විරෝධි ලෙස සහ හෝ අයුක්ති සහගත ලෙස පැමිණිලිකාර වසන්ත ධම්මික ගමආරච්චි මහතා 2015 ජූලි මස 13 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ බවත් අදාළ පැමිණිල්ලෙහි වැඩිදුරටත් සදහන් වී තිබේ.

විත්තිකරුවන් විසින් පැමිණිලිකාර වසන්ත ධම්මික ගමආරච්චි මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට සැලැස්වීම නිසා ඒ මහතාට බලවත් කීර්ති හානියක් අපහාසයක් , අපකිර්තියක් සහ බරපතල ශාරිරික හා මානසික පීඩාවක් සිදුවන බව දැන දැනම ද්වේශසහගත සහ හිංසාකාරී චේතනාවෙන් යුතුව කටයුතු කර ඇති බවද පැමිණිල්ලෙහි දැක්වෙයි.

වසන්ත ධම්මික ගමආරච්චි මහතා බන්ධනාගාරගත කිරීමෙන් පසු එම පුවත මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල අතිශයෝක්තියෙන් වාර්තා කිරීම හේතුවෙන් පැමිණිලිකරුට සිදුවූ අපකීර්තිය සහ මානසික පීඩාව වඩාත් තීව‍්‍ර වූ බවත් , එම මාධ්‍ය ආයතනවලට සහ තමන්ට එරෙහිව ද්වේශසහගතව පැමිණිලි කළ පාර්ශවයන්ට විරුද්ධව සිවිල් නඩු පැවරීමට ඇති අයිතිය රඳවා තබාගන්නා බව පැමිණිලිකාර වසන්ත ධම්මික ගමආරච්චි මහතා සිය පැමිණිල්ලෙන් කියා සිටී.

පළමු, දෙවැනි සහ තෙවැනි විත්තිකරුවන්ගේ කි‍්‍රයාකලාපය හේතුවෙන් පැමිණිලිකරු අත්අඩංගුවට ගැනීමත්, පැමිණිලිකරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට සැලැස්වීමත් එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම නීති විරෝධී සහ අයුක්ති සහගත බවත්, එකී සියළු කි‍්‍රයා විත්තිකරුවන් විසින් සිදුකරන ලද්දේ ද්වේශසහගත සහ හිංසාකාරී චේතනාවෙන් බවට සහ එම කි‍්‍රයාකලාපය හේතුවෙන් පැමිණිලිකරුට බලවත් කීර්ති හානියක්, අපහාසයක්, අසාධාරණයක් සහ බලවත් සිත් වේදනාවක් සහ ශාරිරික සහ මානසික පීඩාවක් ඇතිවූ බවත් කියා සිටී.

පැමිණිලිකාර වසන්ත ධම්මික ගමආරච්චි මහතාගේ සිදුවූ කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක මුදලක් පළමු, දෙවැනි සහ තෙවැනි විත්තිකරුවන් විසින් ගෙවිය යුතු බවට ඉල්ලා එන්තරවාසි ලිපියක් 2015.09.16 වැනි දින සිය නීතීඥ සුදර්ශනා එස් රාජපක්‍ෂ මහත්මිය මගින් ලියාපදිංචි තැපෑලෙන් එම විත්තිකරුවන්ට යවා ඇතත් එම එන්තරවාසියට කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වීමට හෝ පිළිතුරු ලිපියක් එවීමට මේ දක්වා ඔවුන් අපොහොසත් වී ඇති බවත් එහි සදහන්ය.

මේ හේතුවෙන් පළමු, දෙවැනි සහ තෙවැනි විත්තිකරුවන් තම බලතල ද්වේශසහගතව, නොසැලකිලිමත්, අනිසි සහ අසද්භාවයෙන් යුතුව භාවිතාකරමින් පැමිණිලිකරුට හිංසා කිරීමේ චේතනාවෙන් යුතුව කි‍්‍රයාකර ඇති බව තීන්දුකර ප‍්‍රකාශකරන ලෙසත්, එම කි‍්‍රයාකලාපය හේතුවෙන් තමාට බලවත් කීර්තිහානියක් සහ ශාරිරික සහ මානසික පීඩාවක් සිදුවූ බවට තීන්දුකොට ප‍්‍රකාශකරන ලෙසත්, තමාට සිදුවූ කීර්තිහානිය සහ මානසික සහ ශාරීරික පීඩාව උදෙසා වන්දි ලෙස රුපියල් මිලියන පන්සියයක මුදලක් විත්තිකරුවන් විසින් ගෙවිය යුතු බවට තීන්දුකොට ප‍්‍රකාශකරන ලෙසත් නීතිඥ වසන්ත ධම්මික ගමආරච්චි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article