Saturday, January 18, 2025

පොලිස් පඩිය වැඩි වෙයි.

Must read

sagalaමෙම වසරේ සිට ක‍්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන්ගේ වැටුප සියයට හතලිහකින් වැඩි කිරීමට රජය විසින් කටයුතු කර ඇති බවත් මෙම වසරේදී සියයට විස්සකින් සහ ලබන වසරේදී සියයට විස්සකින් පොලිසියේ වැටුප් ඉහළ යන බවත් නීතිය සහ සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් ලක්ෂ 315 ක මුදලක් වැයකරමින් ඉදිකරනු ලැබූ වැල්ලව පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (17දා ) පස්වරුවේ සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය.

මේ පොලිස් ස්ථාන හදලා ඔක්කොම ප‍්‍රශ්න විසදෙනවා කියලා අපි හිතන්නේ නෑ. විශේෂයෙන් පොලිස් පනත කියන්නේ පැරණි පනතක්. ඒක අලුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පොලිස් නිලධාරින්ගේ ගැටලු හදුනාගෙන විශේෂයෙන් උසස්වීම් සහ මාරුවීම් සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති හදලා ඒවා ස්ථාපිත කරන්න, ඒ වගේම පොලිසිය නවීකරණය කරලා තාක්ෂණය ගේන්න අපි වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි සියයට හතලිහකින් පොලිසියේ වැටුප් වැඩිකරන්න කටයුතු කරලා තියෙනවා. මේ අවුරුද්දේ විස්සයි. ලබන අවුරුද්දේ විස්සයි. ඒකට මුදල් අපිට වෙන්කරලා දීලා තියෙනවා. අපිට ගැටලු ටිකක් තියෙනවා. නමුත් ජනවාරි මාසේ ඉදන් ඒ මුදල් වෙන්වෙලා තියෙනවා. අපි අර ප‍්‍රශ්න ටික ඉතාම ඉක්මනින් විසදගෙන ඒ ගෙවීම් කටයුතු ටික කරනවා. ඊට අමතරව පුහුණුවීම්. මේක අතිශය වැදගත්. අපිට ගොඩක් උදව් ලැබිලා තියෙනවා මේක කරන්න. මම ගියා කලුතර පොලිස් අභ්‍යාස ආයතනයට. මට එදා හරි සතුටක් දැණුනා ඒ පුහුණුවීම් කටයුතු සිදුවෙන හැටි දැකලා. පොලිස් ඇකඩමිය දියුණු කරගෙන යනවා. ඒ වගේම විශ්ව විද්‍යාලයකුත් ස්ථාපිත කරන්න අපි කටයුතු කරනවා. තව සති කීපයක් යන්න කලින් ඒ කැබිනට් පත‍්‍රිකාව කැබිනට් එකට ඉදිරිපත් කරලා අනුමැතිය අරගෙන අපි ඒ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හැමදේකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ පොලිසියයි, ජනතාවයි ළගින් වැඩකරලා රටේ නීතිය හා සාමය ආරක්ෂාවෙයි කියන බලාපොරොත්තුවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article