Saturday, January 18, 2025

පූගල්ලේ නිවසකින් පැහැරගත් සේප්පුවක් බිද රන් පවුම් 75 ක් උස්සලා !

Must read

 

poogalle_safe_1

තමන් නිවසේ නොසිටි අවස්ථාවක, නිවසට ඇතුලු වී ඇති යම් කණ්ඩායමක් විසින් පවුම් 75 ක බරින් යුත් ස්වර්ණාභරණ සහිත සේප්පුවක් සොරකම් කරගෙන ගොස් ඇති බවට කුලියාපිටිය, පූගල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කළේ පසුගිය මාර්තු මාසයේ එක්තරා දිනකදීය. පැමිණිලිකරුගෙන් සටහන් කරගත් තොරතුරුවලට අනුව සොරකම් කරගෙන ගොස් තිබූ සේප්පුව කිලෝ 115 ක පමණ බරකින් යුතු එකක් බවට හෙළිවීමත් සමග පොලිස් නිලධාරින් තේරුම් ගත්තේ එය එසේ මෙසේ සොරකමක් නොවන බවය.

අදාල පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරින් පූගල්ලේ පිහිටි එම නිවසට ගොස් ස්ථානීය පරීක්ෂාවක යෙදුණු අතර, එම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියේ දර්ශණ පටිගත වන ඩී වී ආර් යන්ත‍්‍රයද සොරකම සදහා පැමිණි පුද්ගලයින් විසින් ගලවාගෙන ගොස් තිබීම හේතුවෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු තවත් අසීරුවන ලකුණු පහළ විය. සේප්පුවට අමතරව නිවසේ තිබූ ජංගම දුරකථනයක්ද සොරුන් විසින් රැගෙන ගොස් තිබිණි. හෝඩුවාවන් කිසිවක් ඉතිරි කර නොයන්නට කොල්ලකරුවන් විසින් වගබලාගෙන තිබූ නමුත්, කොල්ලකරුවන්ට අමතක වී ගිය එක්තරා හෝඩුවාවක් පසුපස යමින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරාහු පරීක්ෂණ ආරම්භ කළහ. මාස ගණනාවක් තිස්සේ දිවා රෑ නොතකමින් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සොරකමට සම්බන්ධ එක් සැකකරුවෙකු පිළිබදව අනාවරණය කරගැනීමට පොලිස් කණ්ඩායම සමත්විය. ගලේවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අදාල සැකකරු නාරම්මල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් වෙත පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර, ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව සොරාගත් රන් භාණ්ඩවලින් කොටසක් සොයාගැනීමට ද පොලිසිය සමත්විය. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු සේප්පු සොරකමේ සුලමුල දිග හරින්නට විය.

කතාව ඇරඹෙන්නේ නාරම්මල, පැන්තැනිගොඩ විහාරස්ථානයෙනි. පැවිදි දිවියට පිවිස සිටින සැකකරුගේ පුත්‍රයකු මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන අතර ඒ හේතුවෙන් සැකකරු ද කලක් තිස්සේ මෙම විහාරයට නිතර යාම්ඊම් කළේය. සේප්පු සොරකමේ අනෙක් හවුල්කරුවා වන නාරම්මල ප්‍රදේශයේ පදිංචි කාර්මික ශිල්පියෙකු සැකකරු විසින් දැන හදුනාගන්නේ පැන්තැතිගොඩ විහාරයේදීය. විහාරයේ කෙරුණු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සදහා පැමිණ සිටි අදාල කාර්මිකයා සහ ගලේවෙල සැකකරු අතර මිතුරුකමක් දලු ලා වැඩෙන්නට විය. ඒ මිතුරුකම හේතුවෙන් නිවාඩු වේලාවන්වලදී යතුරු පැදියෙන් ප්‍රදේශය පුරා සංචාරය කිරීමේ පුරුද්දක්ද දෙදෙනා විසින් ඇති කරගෙන තිබිණි. සේප්පු සොරකම සිදු වූ පූගල්ලේ නිවස දෙදෙනාගේ ඇස ගැටෙන්නේ එලෙස “රස්තියාදුවේ“ගිය අවස්ථාවකදීය. ඒ වනවිට නිවැසියන් කිසිවෙකුත් ගෙතුළ නොමැති බවට සැකකරුවන් තීරණය කරන්නේ අදාල නිවසේ ගේට්ටුවේ දෙකට නැවූ පුවත්පතක් රදවා තිබෙනු දැකීමෙනි. ඒ සමගම අදාල නිවසට සුද්දයක් දිය යුතු බවට ක්ෂණික තීරණයක් ගත් දෙදෙනා වහා ක්‍රියාත්මක විය. නිවසේ පිටුපස කෙටසට ගිය දෙදෙනා එහි දොරක් බිද නිවසට ඇතුලුවූහ. අස්සක් මුල්ලක් නෑර පීරමින් මුදල් සහ රන් භාණ්ඩ සෙවූ නමුත් වටිනා කියන කිසිවක් හමු නොවීම දෙදෙනා නොසන්සුන් කරවන්නට විය. රෙදිපිළි ඇද දමමින්, බඩු භාණ්ඩ පෙරලමින් මුදල් සෙවීම නිසා නිවස යකුන් නැටූ පිටියක ස්වභාවයට පෙරළෙමින් තිබිණි. අල්මාරියක් අසල තිබූ සේප්පුව දෙදෙනාගේ ඇස ගැටුණේ පැයකට ආසන්න කාලයක් තිස්සේ ගත් මහන්සිය වතුරේ යමින් තිබියදීය. නිවසේ කිසිම තැනකින් මුදල් හෝ රන් භාණ්ඩ කිසිවක් හමු නොවීම හේතුවෙන් නිවැසියන් සතු වටිනා කියන සියල්ල සේප්පුව විසින් ගිලගෙන සිටින බව කොල්ලකරුවන්ට වටහා ගැනීමට අපහසු නොවීය. යකඩ කුරූ, අඩු ආදිය දමා සේප්පුව විවර කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙද්දී දෙදෙනා තීරණය කළේ සේප්පුව නිවසින් සොරකම් කරගෙන යන්නටය.

කොල්ලකරුවන් දෙදෙනා තමන් සතු සියලු ශක්තිය යොදවා සේප්පුව නිවසින් පිටතට ගෙනයෑමට උත්සාහ කළ නමුත් කිලෝ 115 ක් පමණ බරින් යුතු සේප්පුව අගලක් දෙකක් එහා මෙහා කිරීමත් දැඩි අසීරු කාර්යක් බවට පත් වී තිබිණි. ඒ නිසා සේප්පුව පෙරළමින් නිවසේ පිටුපස කොටසට ගෙනඒමට කොල්ලකරුවෝ සමත් වූහ. සේප්පුව නිවසින් පිටකිරීමට බාධාවක් වූ තවත් දොරක් කඩා දැමීමටත් කොල්ලකරුවෝ පසුබට නොවූහ. දොර කඩා එළියට ගත් සේප්පුව නිවසේ තිබූ සරමකින් ඔතා ආවරණය කෙරිණි. තවත් දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසුව අඩි කිහිපයක් උසැති තාප්පයෙන් එහාට සේප්පුව පන්නා ගැනීමට දෙදෙනා සමත් වූහ. ඉන් අනතුරුව යළිත් නිවසට වැදුණු කොල්ලකරුවෝ තවත් කාර්යකට මුල පිරූහ. ඒ දක්වා තමන් විසින් කළ සියලු කෙරුම්කාරකම් සටහන් වී තිබූ ආරක්ෂිත කැමරා දර්ශණ සහිත ඩී වී ආර් යන්ත‍්‍රයද ගලවා අතට ගත් ඔවුහු එය තලා විනාශ කොට අසල පිහිටි වගා ළිදකට විසිකර දැමූහ. අනතුරුව කොල්ලකරුවන් මුහුණ දුන් ගැටලුව වූයේ අධික බරින් යුත් සේප්පුව ප්‍රවාහනය කිරීමය. ඒ සදහා වාහන සොයමින් සිටීම අනතුරුදායක බව වටහාගත් කොල්ලකරුවෝ තමන් පැමිණි ප්ලැටිනා වර්ගයේ යතුරු පැදිය යොදාගනිමින් සේප්පුව ප්‍රවාහනය කිරීමට තීරණය කළහ. ඒ අනුව යතුරු පැදියට ඔරොත්තු නොදෙන තරම් බරකින් යුත් සේප්පුව සහ කොල්ලකරුවන් දෙදෙනාත් පටවාගත් යතුරු පැදිය නාරම්මල දෙසට ඉගිලුණේය.

සැකකරුවන් සේප්පුවත් රැගෙන කෙලින්ම ආවේ පැන්තැනිගොඩ විහාරස්ථානයටය. පන්සල තුළ සිටි හිමිවරුන්ට නොපෙනෙන සේ, පන්සල පිටුපස පිහිටි ගල්තලාවක් සහිත කැලෑරොදක් වෙත සේප්පුව ගෙනයාමට කොල්ලකරුවෝ සමත් වූහ. අනතුරුව පන්සලේ තිබූ වයර් කැබැලි කිහිපයක් එකට අමුණා මීටර 200 ක් පමණ දිගින් යුතු වයර් රෝලක් සාදාගත් දෙදෙනා, විහාරස්ථානයට අයත් නාන කාමරයකින් විදුලි සබදතාවයක් ලබාගෙන ගල් තලාව වෙත විදුලිය ද ලබාගත්හ. විදුලි ග්‍රයින්ඩරයක් යොදාගනිමින් සේප්පුව විවර කිරීමේ මෙහෙයුම ආරම්භ කළ නමුත් සවිමත් බදක් සහිත සේප්පුව කපා දැමීම කොල්ලකරුවන් සිතූ තරමේ පහසු කටයුත්තක් නොවීය. දහදිය මුගුරු හලමින් පැය කිහිපයක් තිස්සේ ගත් දැඩි වෙහෙසකින් පසුව සේප්පුව තුළ තිබූ නිධානය විවර කර ගැනීමට දෙදෙනා සමත්වූහ. ඒ වනවිට තියුණු ග‍්‍රයින්ඩර තල දහයකට වැඩි ප්‍රමාණයක් සේප්පුවේ යකඩ බද කපාදැමීම වෙනුවෙන් වැය වී තිබිණි. සේප්පුව තුළ රන් පවුම් 75 ක් වූ අතර ගලේවෙල සැකකරුට රන් පවුම් 28 කුත්, අනෙකාට රන් පවුම් 47 කුත් ලැබෙන සේ රන් භාණ්ඩ තොගය බෙදා ගැනිණි. හිස් සේප්පුව විහාරස්ථානයේ වැසිකිළි වලකට විසිකෙරිණි.

තමන්ට ලැබුණු රන් භාණ්ඩ ද රැගෙන සිය ගම් ප්‍රදේශයට ගිය ගලේවෙල පදිංචිකරු ඒවායින් කොටසක් ගලේවෙල, පොල්පිතිගම, මාඑළිය ඇතුලු ප‍්‍රදේශවල පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැල්වලට විකුණා දැම්මේය. විකිණීමට නොහැකි වූ ඒවා උගස් කර මුදල් ලබා ගත්තේය. රන් භාණ්ඩ විකිණීමෙන් සහ උගස් තැබීමෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක පමණ මුදලක් අතට ගත් සැකකරු එම මුදල තමන් කලක් තිස්සේ දකිමින් සිටි සිහිනයක් සැබෑ කරගැනීම වෙනුවෙන් යොදවන්නට කල්පනා කළේය. ඒ අනුව අදාල මුදල මූලික ගෙවීමක් ලෙස යෙද වූ ඔහු ලීසිං ක්‍රමය යටතේ ත්‍රිරෝද රථයක්ද මිලදී ගත්තේය. ඒ වනවිටත් තමන් වටා පොලිස් දැලක් එළෙමින් ඇති බවක් නොදත් සැකකරු අලුතින් මිලදීගත් ත‍්‍රී රෝද රථයෙන් පැන්තැනිගොඩ විහාරයට ගොස් පැවිදිව සිටින පුතු බැහැදැකිය යුතු බවට කල්පනා කළේය. සියලු තොරතුරු අකුරටම සනාථ කරගෙන සිටි පොලිසිය පැන්තැනිගොඩ විහාරය බලා එමින් සිටි සැකකරු, ත්‍රිරෝද රථය ද සමග අතරමගදී අත්අඩංගුවට ගත්තේය. සැකකරු සන්තකයේ වූ ජංගම දුරකථනයේ ඉමි අංකය පූගල්ල නිවසින් සොරාගත් දුරකථනයේ ඉමි අංකයම වූ බැවින් එය එම නිවසින් සොරාගත් දුරකථනය බව ද අනාවරණය කර ගැණිනි.සැකකරු විසින් හෙළිකළ තොරතුරුවල අනුව යමින් ඔහු විසින් විකුණා තිබූ සහ උගස් කර තිබූ රන් භාණ්ඩද පොලිස් භාරයට ගැණනි. පොලිස් පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක වෙද්දී සැකකරු නිධන් කොල්ලයක් සම්බන්ධයෙන් මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකු බවද හෙළි විය. සේප්පු සොරකමේ මහ මොළකරු ලෙස සැලකෙන, නාරම්මල ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරු සොයා පොලිසිය දැන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කුලියාපිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ, සහකාර පොලිස් අධිකාරී ජාලිය හීන්කෙන්ද, කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක වික‍්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන් ජයකොඩි (52609), සිල්වා (10164), සෙනවිරත්න (33604), පියරත්න (20626), පොලිස් කොස්තාපල් චමිල (37525), සුමේධ (36232) , වීරසේකර (35826), ආනන්ද (49077), ජයමහ (40124), මධුසංඛ (74898), රෝහණ (57893) සහ ජයපාල (34530) යන නිලධාරීහු වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගත්හ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

සොරාගත් රන් භාණ්ඩවලින් කොටසක් සහ ජංගම දුරකථනය

poogalle_safe_2
 

වැසිකිළි වළකට දමා තිබූ කපා දැමූ සේප්පුව සහ එය කැපීමට යොදාගත් උපකරණ

poogalle_safe_3

සේප්පුව ප්‍රවාහනය කළ යතුරුපැදිය සහ සැකකරු විසින් මිලදී ගෙන තිබූ ත‍්‍රිරෝද රිය

poogalle_safe_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article