වැසි ජලය බැසනොයාම හේතුවෙන් පුත්තලම නගරයේ පිහිටි පාසල් දෙකකට අද දිනයේදී නිවාඩු ලබාදෙන්නට පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් අද කටයුතු කළ අතර ජලය පිරි පවතින තවත් රාජ්‍ය සහ පුද්ගලික ආයතන ගණනාවක දෛනික කටයුතු මේවන විට අඩාල වී තිබේ.
අද දින මෙලෙස නිවාඩු ලබාදෙනු ලැබුවේ පුත්තලම සහිරා විද්‍යාලයට සහ පුත්තලම හින්දු විද්‍යාලයටය. මෙම පාසල් දෙකෙහිම ගොඩනැගිලි සහ පාසල් භූමියෙන් වැඩි ප්‍රමාණයක් අද උදෑසන වනවිටත් ජලයෙන් යට වී පැවැතිණි.
මීට අමතරව පුත්තලම නගරයේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, පුරා විද්‍යා කාර්යාලය ඇතුඵ රාජ්‍ය ආයතන ගණනාවක පිරී පවතින ජලය බැස නොයාම නිසා ඒවායේ දෛනික රාජකාරී කටයුතුද අත්හිටුවීමට සිදු වී තිබේ. මීට අමතරව සහ පුත්තලම සහ ඒ අවට පිහිටි නිවාස ගණනාව පිරී ඇති ජලය බැස නොයාම නිසා එම ජනතාවද දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.
මේ අතර තබ්බෝව ජලාශයේ ජලමට්ටම ඉහළයාම නිසා එහි තවත් වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට එහි ඉංජිනේරුවන් විසින් අද උදෑසන කටයුතු කළහ. ඒ අනුව තබ්බෝව ජලාශයේ වාන් දොරටු විස්සෙන් අටක් මේ වන විට විවර කර පිටාර ජලය මුදාහරිමින් තිබේ.