Sunday, January 19, 2025

ඉස්කෝලේ හදාගන්න පුඵවන්ද ? බැරිද ? කුලියාපිටිය මහේස්ත‍්‍රාත් සාරනාත් විදුහල්පතිගෙන් අසයි.

Must read

saranatahකුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ විනය නිසි අයුරින් පවත්වාගෙන, එහි පරිපාලන කටයුතු නිසි ලෙස පවත්වාගෙන යා හැකිදැයි හෝ එසේ නොහැකිදැයි කුලියාපිටිය මහේස්තාත් බන්ධුල ගුණරත්න මහතා කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ විදුහල්පති ආර්. පී. ඩී. ජයතිලක මහතාගෙන් අද (02 දා ) විවෘත අධිකරණයේදී ප‍්‍රශ්න කළේය.

මහේස්ත‍්‍රාත්වරයා විසින් මෙලෙස ප‍්‍රශ්නකර සිටියේ කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුට දරුණු ලෙස පහරදුන් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම විද්‍යාලයෙහිම 13 වැනි වසරෙහි ඉගෙනුම ලබන සිසුහු පස්දෙනෙක් අද අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සාරානාත් විද්‍යාලයේ 12 වැනි වසරෙහි ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුට දරුණු ලෙස පහරදුන් බවට සැකපිට කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (01 දා ) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විත්තිකාර සිසුහු පස්දෙනා අද යළි කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මගින් කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබූ නොතිසියකට අනුව කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ වත්මන් විදුහල්පති ආර්. පී. ඩී. ජයතිලක මහතාද අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ තෝල්ක මුදලිවරයා මගින් අදහස් දැක් වූ මහේස්තාත් බන්දුල ගුණරත්න මහතා පාසල තුළදී ඇති වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ගයක් නොගෙන එය අධිකරණය දක්වා ගෙන ඒමට සැලැස්වූයේ ඇයිදැයි විදුහල්පතිවරයාගෙන් ප‍්‍රශ්න කර සිටියේය.

විදුහල්පති – මෙම පහරදීමට සම්බන්ධ සිසුන්ගේ දෙමව්පියන් පාසලට කැදවා අවවාද කළා.

විත්තිකාර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් – මෙම සිදුවීමට සම්බන්ධ සිසුන්ගේ දෙමව්පියන්ගෙන් එක් සිසුවෙකුගේ පියෙක් පමණයි ස්වාමීනි පාසල වෙත කැදවා තිබෙන්නේ. අනෙක් කිසිදු සිසුවෙකුගේ මව්පියෙක් මෙම සිදුවීම සම්බන්ධයෙන් පාසලට කැදවා නැහැ.

මහේස්ත‍්‍රාත් – දෙමව්පියන්ට පාසලට එන්න කියලා දැනුම් දුන්නේ කොහොමද ?

විදුහල්පති – දුරකථනයෙන්

විත්තිකාර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් – මෙම සිසුන්ගෙන් එක් අයෙකුගේ පියෙකුට හැරෙන්නට අනෙක් කිසිදු සිසුවෙකුගේ දෙමව්පියෙකුට පාසලෙන් දුරකථන ඇමැතුම් ලැබී නැහැ.

මෙහිදී කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ ස්ථාවර දුරකථනයෙන් අදාළ දිනයේදී ලබා ගත් සහ ලැබුණු ඇමැතුම් පිළිබද පුඵල් විමර්ශණයක් පවත්වන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා විසින් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වෙත නියෝග කළේය.

අනතුරුව විවෘත අධිකරණය හමුවේ විත්තිකාර සිසුන්ගේ මව්පියන් ඇමැතූ කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයා විත්තිකාර සිසුන් අධිකරණය වෙත පළමුවරට ඉදිරිපත් කළ ඊයේ දිනයේදී ඔවුන් හැද සිටි ඇදුම්වලින්ම ඔවුන්ගේ තරම ප‍්‍රදර්ශනය වූ බවත්, එම ඇදුම්වලින්ම ඔවුන්ගේ මව්පියන් එම සිසුන් වෙත දක්වන සැලකිල්ලේ තරම මැන ගත හැකි බවද පැවසීය. මෙවැනි පහරදීමක්
සම්බන්ධයෙන් දැඩි දඩුවම් පැමිණවීමට අධිකරණයට නීති ප‍්‍රතිපාදන පවතින නමුත් ,පාසල් වියේදීම අධිකරණයකින් දඩුවම් නියමවීම මෙම සිසුන්ගේ අනාගත ජීවිතවලට අයහපත් ලෙස බලපාන්නට ඉඩතිබීම පිළිබදව සලකා ඔවුන් වෙත ඇප නියම කරන බවත්, තම දරුවන් ඉදිරියේදී මෙවැනි ප‍්‍රචණ්ඩකාරී හැසිරීම්වලට නොයවා ඔවුන් යහපත් පුරවැසියන් බවට පත්කරවීමේ
වගකීම දෙමව්පියන් විසින් භාරගත යුතු බවත් පැවසීය.

එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත අදාළ සිසුන් මුදාහරින ලෙසට නියෝග කළ මහේස්තාත් බන්ධුල ගුණරත්න මහතා, විත්තිකාර සිසුන්ට ඇප ලබාදීමේදී ඇපකරුවන් ලෙස ඔවුන්ගේ දෙමව්පියන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් විය යුතු බවත්, එම දෙමව්පියන් විසින් විත්තිකාර සිසුන්ගේ ඉදිරි හැසිරීම් පිළිබද සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවටත් වූ දැඩි ඇප කොන්දේසි නියම කළේය.

අනතුරුව කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ විදුහල්පති ආර්. පී. ඩී. ජයතිලක මහතා ඇමැතූ මහේස්ත‍්‍රාත්වරයා මීට පෙර අවස්ථා කිහිපයකදීම සාරානාත් විද්‍යාලය තුල මෙවැනි ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් සිදු වී ඇති බවට පොලිසිය විසින් අධිකරණය වෙත කළ කරුණු වාර්තා කර ඇති බවත්, මින් ඉදිරියට සාරානාත් විද්‍යාලය පිළිබද කිසිදු පැමිණිල්ලක් පොලිසිය හෝ අධිකරණය වෙත වාර්තා නොවීමට වගබලා ගන්නා ලෙසටත් තරයේ අවවාද කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් අදහස් දැක් වූ කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක බන්දුල විජේලත් මහතා මීට පෙර අවස්ථාවක කුලියාපිටිය , පූගල්ල විද්‍යාලය තුළ සිදු වූ මෙවැනි පහරදීමක් පිළිබදව නඩුවක් මෙම අධිකරණයේදීම විභාගයට ගැණුනු බවත්, එහිදී අධිකරණය විසින් අදාළ සිසුන්ට, විදුහල්පතිවරයාට සහ දෙමව්පියන්ට අවවාද කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට එම විද්‍යාලය තුළ සාමකාමී වටපිටාවක් නිර්මාණය වී ඇති බවත්, එවැනි පසුබිමක් නිර්මාණය කරදීම පිළිබදව අධිකරණයට ස්තූතිය පළකරන බවද පැවසීය.

විත්තිකාර සිසුන් වෙනුවෙන් නීතිඥ කැලූම් හෙට්ටිගමගේ සහ නීතිඥ චම්පික ලසිත කුමාර යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක බන්දුල විජේලත් මහතා පැමිණිල්ල මෙහෙයවීය.

මේ සම්බන්ධ නඩුව නොවැම්බර් මස 30 වැනිදා කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවීමට නියමිතය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article