Sunday, January 19, 2025

පාරවල් අයිනේ තියෙන පොල් ඉඩම් කැඩුවාට පොල් වගාව විනාශ වෙන්නේ නැහැ !

Must read

real_estate_press_2

ප්‍රධාන මාර්ග අසල පිහිටි ඉඩම් කැබලි කළ පමණින් පොල් වගාව විනාශ වන්නේ හෝ පොල් මිල ඉහල යන්නේ නැති බවත්, පොල් වගාව විනාශ වන්නේ එම සම්පත රැකගැනීමට තරම් වැඩපිළිවෙලක් රජයට නැතිවීම නිසා බවත් වයඹ දේපොල වෙළදාම් සංගමයේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මෙලෙස පැවැසුවේ තෝරාගත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් කුරුණෑගල දී පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය.

“ වයඹ පළාතේ ඉඩම් අලෙවි කරන ව්‍යාපාරිකයින් මේ වනවිට කෝටි ගණන් ණය වෙලා ඉඩම් මිලදී අරගෙන රජයේ අනුමැතියත් ලබාගෙන සංවර්ධනය කර තිබේනවා. ඒ ඉඩම් ටික විකුණා ගන්නවත් කාලයක් ලබා දෙන්නේ නැතිව 2018 මාර්තු 07 වැනිදා තිබුණු කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධධීකරණ කමිටු රැස්විමේදී පොල් ඉඩම් කට්ටි කිරිම තාවකාලිකව අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයා නියෝග කළා. “

“ අපි කිසිම කෙනෙකුගේ ඔළුවට තුවක්කුව තියලා ඉඩම් කැබලි විකුනන්නේ නැහැ. හැම මිනිහෙක්ම කැමතියි ප්‍රවාහන, වෛද්‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය ආදි පහසුකම් තියෙන නගරයක ජීවත්වෙන්න. නමුත් ඔවුන්ගේ අතේ ඒ සදහා විශාල මුදලක් නැහැ. අපි ව්‍යාපාරිකයින් හැටියට ඔවුන්ගේ ඒ සිහිනය සැබෑ කරගන්නට අතදෙනවා. අපේ බිම් කැබැල්ලක වටිනාකම වසර දහයක්, පහළොවක් යන තුරු වාරික වශයෙන් ගෙවන්න දෙනවා. රජයට ඒක කරන්න බැහැ. රජයෙන් ඉඩම් ලබා දෙන්නනේ දුප්පත් ජනතාවට නෙවෙයි රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන්ටයි. දුප්පත් ජනතාවට දෙන්නේ පර්චස් තුනයි නැත්නම් පහයි. ඒවාට කොලනි, එහෙමත් නැත්නම් කොරියා කියලත් මිනිස්සු කියනවා. අපි කොලනි හදන්නේ නැහැ. ඒ වෙනුවට විදුලිය, ජලය, මාර්ග සියලු පහසුකම් සහිත ඉඩම් කැබැලි ලබා දෙනවා. එහෙම තියෙද්දී තමයි රජය මේ වගේ මන්ද බුද්ධික තීන්දු තීරණ ගන්නේ. “

“ ප්‍රධාන මාර්ගයක් ළග තියෙන පොල් ඉඩමක් කැබලි කරලා විකුණන බවට දැන්වීම් පුවරුවක් එල්ලපු ගමන් ඔන්න පොල් මිල ඉහල යනවා, දැන් ඉතිං පොල් වගාව ඉවරයි සමහරු කියනවා. නමුත් ප්‍රධාන මාර්ගයක් අසල තියෙන ඉඩමක් කැබලි කරපු සැනින් පොල් වගාව විනාශ වෙන්නෙත් නැහැ. පොල් මිල ඉහල යන්නෙත් නැහැ. පොල් වගාව ගම්වල ඉතා සාර්ථකව කරනවා. පොල් වගාව විනාශවෙන්නේ පොල් සම්පත රැකගැනීමට රජයට වැඩ පිළිවලක් නැති නිසයි. පොල් වගාවට අවශ්‍ය පොහොර නැහැ. වතුර නැහැ. උපදෙස් නැහැ. දෙවැනි වගාවක් නැහැ. මෙන්න මේ වගේ හේතු නිසයි පොල් වගාව විනාශ වෙන්නේ. පොල් සංවර්ධන නිලධාරීන් රජයෙන් පිං පඩි ගන්නවා. රාජකාරි වේලාවේදී දරුවෝ ටියුෂන් යවනවා. පාසල්වලට ගෙනත් දානවා, ගෙනියනවා. පොල් සංවර්ධන නිලධාරීන් පොල් ඉඩමක් දැකලත් නැහැ. එහෙම තියාගෙන පොල් මිල ඉහල යනවා කියලා අපට චෝදනා කරනවා. “ යැයි ඒ මහතා පැවසීය.

යන්තම්පලාව විජේසිංහ වැලිකන්ද 

real_estate_press_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article