කුලියාපිටිය ප්‍රදේශයේ බුලත් ගොවියෙකුගෙන් රුපියල් එක් කෝටි නව ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් බුලත් ලබාගෙන මුදල් ගෙවීම පැහැරහැරිය බව කියන ව්‍යාපාරිකයෙකු හෙට (15 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.
මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ පකිස්තානයට බුලත් අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව කියන රාගම, කැන්දලියද්දපාලුව ප‍්‍රදේශයේ පදිංචි කේ. ඒ. ඩී. සුමනදාස නැමැති අයෙකි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ පකිස්ථානයට බුලත් යැවූ පසු මුදල් ගෙවීම වෙනුවට එම මුදලට සරිලන ලෙස අල වැනි පාරිභෝගික ද්‍රව්‍ය එරටින් එවීම හේතුවෙන් විත්තිකාර ව්‍යාපාරිකයා දැඩි අසීරුතාවයකට පත් වී සිටින බවය. එවැනි පාරිභෝගික ද්‍රව්‍ය මුදල් බවට පත් කර බුලත් ගොවීන් වෙත මුදල් ගෙවීමට කලක් ගතවන නිසා හිග මුදල් ගෙවීම අතපසු වී ඇති බව කී නීතිඥයින් විත්තිකරු උග්‍ර දියවැඩියා රෝගියෙන් පෙළෙන අයෙකු බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුට ඇප නියම කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියහ. විත්තියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත‍්‍රාත්වරයා සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කළ අතර සැකකරුට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර නිසි කලට ලබාදෙන ලෙසටද බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝග කළේය.
මෙම නඩුවට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙය වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින්කළ ඉල්ලීමක්ද මෙහිදී මහේස්ත‍්‍රාත්වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ එම වැඩිදුර වාර්තාවෙන් සැකකරු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටීමත්, නිලධාරියා විසින් වාචිකව ඇප සම්බන්ධ සුදුසු නියොගයක් ලබා දෙන ඉල්ලා සිටීමත් දෝෂ දර්ශනයට ලක්කළ මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා පැමිණිලි මෙහෙයවන පොලිස් නිලධාරීන් අධිකරණ කටයුතුවලදී වගකීමෙන් සහ නිරවුල්ව කරුණු දැක්විය යුතු බවට අවධාරණය කළේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුපුන් අධිකාරි හා දයානි එදිරිසිංහ යන මහත්ම මහත්මීන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් නීතිඥ චන්දන යාපා සහ ශිරාල් වන්නිආරච්චි යන මහත්වරුන් පෙනීසිටියහ.