එටිසලාට් ලංකා සමාගමේ වයඹ පළාත් ඉන්ජිනේරු කාර්යාල භූමියේ ගබඩා කර තිබූ රුපියල් අනූපන් දහසක් වටිනා සංඥා කුඵණු බැටරි 45 ක් සොරකම් කළ බව කියන එම කාර්යාලයේ රියදුරෙකු සහ එම සමාගමේ සේවයෙන් නෙරපූ අයෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුරුණෑගල ප්රධාන මහේස්ත්රාත් ගීතානි විජේසිංහ මෙනවිය ඊයේ (08 දා ) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ බමුණාපොත, මිරිහාමුර ප්රදේශයේ පදිංචි වන්නි උන්නැහැලාගේ කසුන් දීපාල් අමරසිංහ සහ සුමිත් කුමාර යන අයවඵන්ය.
කුරුණෑගල, මීගමු පාරේ පිහිටි තම කාර්යාලයේ ගබඩා කර තිබූ සංඥා කුඵණු බැටරි 45 ක් සොරකම් ඇති බවට පසුගිය ජූනි මස 02 වැනිදා එටිසලාට් ලංකා සමාගමේ ඉන්ජිනේරුවරයෙකු විසින් කර තිබූ පැමිණිල්ලක් පිළිබදව මාසයකට ආසන්න කාලයක් තිස්සේ පරීක්ෂණ මෙහෙය වූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් මෙම සොරකමෙහි සුලමුල හෙළිකර ගැනීමෙන් පසුව අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ.
එකම ගමේ පදිංචි මිත්රයන් වන මෙම සැකකරුවන්ගෙන් පළමු සැකකරු අදාළ ඉන්ජිනේරු කාර්යාලයේ සේවාවන් සදහා තම ලොරි රථය කුලී පදනම මත යොදවා එහිම රියදුරු වශයෙන් සේවය කරමින් සිටින අයෙකු වන බවත්, දෙවැනි සැකකරු කලක් එම කාර්යාලයේ සේවය කර පසුව එම සමාගම විසින් සේවයෙන් ඉවත් කළ අයෙකු බවත් පොලිසිය කියයි. මෙම ඉන්ජිනේරු කාර්යාලය විසින් වයඹ පළාත පුරා සවි කර ඇති එටිසලාට් ලංකා සමාගමට අයත් දුරකථන සංඥා කුඵණු නඩත්තු කිරීම සිදුකරන අතර, එම කාර්යාලය භූමියෙහි ගබඩා කර තිබූ සංඥා කුඵණුවලින් ඉවත් කළ පැරණි බැටරි තොගයක් සොරාගැනීම සදහා සැකකරුවන් විසින් කලක් තිස්සේ සැලසුම් කර ඇති බවද පොලිසිය කියයි.
ඒ අනුව පළමු සැකකාර ලොරි රියදුරු පසුගිය ජූනි මස 02 වැනිදා උදෑසන කල්පිටිය ප්රදේශය බලා භාණ්ඩ තොගයක් ප්රවාහනය කිරීමේ යෙදී ඇති අතර එම කාර්යය නිමකිරීමෙන් පසු එදින පස්වරු 4 ට පමණ නොරොච්චෝලේ ප්රදේශයේ පිහිටි එටිසලාට් ලංකා සමාගමට අයත් ජංගම දුරකථන සංඥා කුඵණ වෙත ගොස් එය ක්රියාවිරහිත කර ආපසු කුරුණෑගල බලා පිටත් වී තිබේ. නොරොච්චෝලේ දුරකථන සංඥා කුඵණ අක්රිය වී ඇති බවට එටිසලාට් ලංකා සමාගමෙන් ලැබුණු දැනුම්දීමකට අනුව කුරුණෑගල පිහිටි ඉන්ජිනේරු කාර්යාලයේ සේවයේ යෙදී සිටි සියලුදෙනා එය පිළිසකර කිරීම සදහා නොරොච්චෝලේ බලා පිටත් වී ගොස් ඇති අතර එම අවස්ථාව ප්රයෝජනයට ගනිමින් එදින රාත්රියේ ඉන්ජිනේරු කාර්යාලය වෙත පැමිණි සැකකරුවන් දෙදෙනා විසින් අදාළ බැටරි තොගය සොරකම් කර ලොරි රථයක පටවාගෙන පලාගොස් තිබේ.
අදාළ පැමිණිල්ලට අනුව ජංගම දුරකථන සංඥා කුඵණ යම් අයෙකු විසින් හිතාමතා ක්රියාවිරහිතකර තිබීම පිළිබදව සහ ජංගම දුරකථන ඇමැතුම් දත්ත ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් ලොරි රියදුරු සහ ඔහුගේ සහායකයා පිළිබදව අනාවරණය කරගෙන තිබේ. පසුව ඔවුන්ගෙන් කළ ප්රශ්නකිරීම්වලදී සොරාගත් බැටරි ගලවා වෙන්කර ඒවා තුළ තිබූ ඊයම් වෙන් කරගත් බවත්, ඊයම් කිලෝ හත්සියයක් පමණ මාස්පොත ප්රදේශයේ පිහිටි වැඩපොළකට විකිණූ බවටත් පාපොච්චාරණය කර තිබේ. සැකකරුවන්ගෙන් ලත් තොරතුරුවලට අනුව ඊයම් වෙන්කර ගැනීමෙන් පසුව බමුණාපොත ප්රදේශයේ පිහිටි කැලෑවක් තුළදී ගිනිතබා විනාශ කර තිබූ අදාළ බැටරි තොගයේ සුන්බුන් සහ විකුණා තිබූ ඊයම්වලින් කොටසක්ද සොයාගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.
කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක මංගල වික්රමනායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිංලක බාලසූරිය මහතාගේ මෙහයවීමෙන්, උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ , පොලිස් සැරයන් කුවින්ටස් (23832 ), පොලිස් කොස්තාපල් අධිකාරි (46604) , පොලිස් කොස්තාපල් කීර්ති (36757) , පොලිස් කොස්තාපල් උදයකුමාර (31832) සහ බණ්ඩාර (58677 ) යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.