Sunday, January 19, 2025

නැන්දේ, මාමේ කියා රවටාගෙන ආච්චිලා, සීයලාගේ අත කණ කරට විද්ද මහ කුඩ්ඩෙක් මාට්ටු.

Must read

කුරුණෑගල නගරයට පැමිණෙන වයස්ගත පුද්ගලයින්ට නැති නැදෑකම් කියා රවටාගෙන ඔවුන් පැළදගෙන සිටින රන් ආභරණ සොරකම් කිරීමේ ජාවාරමක කලක් තිස්සේ යෙදී සිටි බව කියන පුද්ගලයෙකු එලෙස සොරාගත් රන් භාණ්ඩ තොගයක්ද සමග කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ බොරලැස්ගමුව, කටුවාපල ප‍්‍රදේශයේ පදිංචි තොට්ටය හේවා සුජිත් සමන් කුමාර හෙවත් සුජිත් නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.

මගී ප‍්‍රවාහන සේවාවන් ඔස්සේ කුරුණෑගල නගරයට එන වයස්ගත පුද්ගලයින් පිළිබද අවධානයකින් පසු වී ඇතී මෙම පුද්ගලයා නැන්දේ , මාමේ කියා කියා ලෙන්ගතු ආකාරයට අමතමින් නැති නෑදෑකමක් මවා පා ඔවුන් සමග හිතවත්කමක් ගොඩනගාගන්නා බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පසුව තමන් ළගදී විවාහවීමට යන බැවින් ඒ සදහා මෝස්තරයක් තෝරාගැනීමට බව කියමින් එම වයස්ගත පුද්ගලයින් පැළද සිටින රන් භාණ්ඩ අතට ගන්නා මෙම සැකකරු එතැනින් පලා ගොස් ඇති බවද හෙළි වී තිබේ. මෙම පුද්ගලයාගේ රුවටිල්ලට හසු වී රන් බඩු අහිමි කරගත් සියලූ දෙනාම වයස අවුරුදු 60 ට වඩා වැඩි පුද්ගලයින් වීම විශේෂත්වයකි.

තදින්ම මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින සැකකරු සොරාගත් රන් භාණ්ඩ උගස් කර ලබා ගත් සියලූ මුදල් වැය කර ඇත්තේ මත්කුඩු පානය කිරීමට බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. කලක් කටාර් රාජ්‍යයෙහි රැකියාවක නිරත වී ඇති සැකකරු එහිදී මත්කුඩු වලට පුරුදු වී ඇති බවත් ආපසු දිවයිනට පැමිණීමෙන් පසුව කුඩු ඉරීම පිණිස මුදල් සොයාගෙන ඇත්තේ මේ ආකාරයෙන් පුද්ගලයින් මුලාකරමින් බවද පොලිසිය කියයි.

සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව කුරුණෑගල සහ කොළඹ ප‍්‍රදේශවල පුද්ගලික උගස් මධ්‍යස්ථාන කිහිපයකට උගස්කර තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් සහ පවුම් 13 කට වැඩි බරකින් යුත් රන් භාණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම රන් ආභරණ අතර රන් මාල 11 ක්, මුදු 05 ක් සහ පෙන්ඩන්ට් 03 ක්ද වන බව පොලිසිය කියයි. පසුගිය දෙසැම්බර් මාසයේ සිට කුරුණෑගල නගරයේ ගැවසෙමින් සොරකමේ යෙදී ඇති මෙම පුද්ගලයාට හසු වී රන් භාණ්ඩ අහිමි කර ගත් අයගෙන් ඒ පිළිබද පැමිණිලි 7 ක් කුරුණෑගල මූලස්ථාන පොලිසිය ලැබී ඇති අතර, ඒ පිළිබද විමසිල්ලෙන් පසු වූ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා කුරුණෑගල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති , ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත, එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. එම්. ටී. බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක එස්. පී. රාජපක්ෂ, පොලිස් සැරයන් සමරසිංහ (23832) , ප‍්‍රියන්ත (58187) , සහ පොලිස් කොස්තාපල් කීර්ති (36757) සහ උදයකුමාර (31838) නාමල් (30730) , මදුරංග (66071) යන නිලධාරීහු විසින් සැකකරු සහ රන් භාණ්ඩ තොගය අත්අඩංගුවට ගත්හ.

ran_badu1 ran_badu3 ran_badu2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article