Saturday, January 18, 2025

නාවින්න මහින්ද මග හරී !

Must read

58359(4)

ඇමැති දෙහිගම සමුපකාර වප්මගුලට නෑ.

වයඹ පළාත් සමූපකාර වප් මගුල් උත්සවය පසුගිය සිකුරාදා පැවැත්වුණේ ඉබ්බාගමුව, මානපාය වෙල්යායේදීය. වප් මගුලේ බර කරටගෙන එහි සංවිධාන කටයුතු අලංකාර ලෙස සිදුකර තිබුණේ හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ මූලිකත්වයෙනි. වප් මගුල් උත්සවයේ මහගොවියා බවට පත් වී සිටියේ මහඇමැති ධර්මසිරි දසනායකය. සමූපකාර විෂය මෙන්ම කෘෂිකර්ම විෂයත් මහඇමැති ධර්මසිරිට අයත් නොවන බැවින් ධර්මසිරි වප් මගුලේ මුල් තැන ගෙන සිටීම පළාත් සභාව ගැන දන්නා හැම කෙනෙකුගේම අවධානයට ලක් වී තිබිණි. වඩාත් කැපී පෙනෙන සිදුවීම වූයේ සමූපකාර විෂය හිමි ඇමැති ගුණදාස දෙහිගම හෝ කෘෂිකර්ම විෂය හිමි ඇමැති සුමල් තිසේරා මෙම වප්මගුලට සහභාගී නොවී සිටීමය. දෙහිගම සහ සුමල් වප් මගුලේ දකින්නට නොසිටීම පිළිබදව විමසූ අයට සංවිධායකයින්ගෙන් ලැබුණු පිළිතුර වූයේ එම දෙපළ පුද්ගලිකවම හමු වී මෙම උත්සවය සදහා ආරාධනා කළ බවය. එලෙස නිල වශයෙන්ම ආරාධනා ලැබී තිබූ නමුත් සුමල් සහ දෙහිගම හිරියාලේ වප් මගුල මගහැර ගියේ ඇයිදැයි කිසිවෙකු වෙත නිල දැනුම්දීමක් ලැබී නොතිබිණි. විශේෂයෙන්ම සමූපකාරයේ සෘජු මැදිහත්වීම මත සංවිධානය කළ අවස්ථාවක්වීම නිසාම විෂයභාර අමාත්‍යවරයා ලෙස ඇමැති දෙහිගම වප් මගුල සදහා සහභාගී නොවීමේ අඩුව හොදින්ම පෙනෙන්නට තිබිණි.
උත්සවය සදහා පැමිණි මහඇමැති ධර්මසිරිටද සමූපකාරයෙන් සරමක් සහ බැනියමක් ලැබුණු අතර ධර්මසිරි උත්සවයට පැවැත්වුණු තැනට ආවේ එම ඇදුමින් සැරසීගෙනය. ධර්මසිරි එන්නටත් පෙර වප්මගුල තිබූ තැනට හිරියාල ශ‍්‍රීලනිප සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක පැමිණ සිටියේය. හිරියාලේ මහ ගොවියා ලෙස හැදින්වෙන නමුත් උත්සවයේ ටික වේලාවක් පමණක් රැදුණු සාලින්ද වප්මගුලේ සීසෑම් ආදි කටයුතු ආරම්භවීමටත් පෙර ධර්මසිරිට කතා කර එතැනින් පිට වී ගියේය. සමූපකාර නිලධාරීන් හැරුණු විට ධර්මසිරිට තනි නොතනියට ඉතිරිවූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ හිරියාල හිටපු සංවිධායක නිශාන්ත බණ්ඩාර පමණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ආයුබෝවන් කියා යළි එක්සත් ජාතික පක්ෂය පැත්තට යළි කරණමක් ගැසූ බව කියන නිශාන්ත බණ්ඩාරද සරමකින් සහ බැනියමකින් සැරසී ධර්මසිරි ළගින්ම සිටි අයුරු දැකගත හැකි විය. වප්මගුලේ ආරාධිතයින්ගේ කතාබහ ආදිය නිමවීමෙන් පසුව එළැඹුණේ සුබ මොහොතින් සී සෑමේ වාරයයි. උත්සවය පැවැති තැන සිට සී සෑමට සූදානම් කර තිබූ කුඹුර වෙත ධර්මසිරි කැදවාගෙන යනු ලැබුවේ ගොවීන්ගේ උඩැක්කි නැටුම් සහිත පෙරහැරකිනි. සරම්වලින් සහ බැනියමින් සැරසී ගොවි වෙස් ගෙන සිටි නිශාන්ත බණ්ඩාර මෙන්ම වයඹ පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලධාරීන්ද උඩැක්කි පෙරහැරින්ම ධර්මසිරි පෙරටුකරගෙන කුඹුර වෙත ගමන් කළහ. මහ ඇමැති ධර්මසිරි මෙන්ම නිශාන්ත බණ්ඩාරද සිය සරොම් කැසපොට කවාගනිමින් කුඹුරට බැස්සේ පළපුරුදු ගොවීන් දෙදෙනෙකු මෙනි. ඒ වන විට සී සෑමට සූදානම් කර සිටි මීහරක් බාන් අසලට ගිය ධර්මසිරි ඉන් එක් මීහරක් බානක ගැට ගසා තිබූ නගුල අතට ගත්තේය. ඒ සමගම මහ ඇමැති ධර්මසිරිගේ අතට කෙවිටක්ද ලැබිණි. නිශාන්ත බණ්ඩාරටද ධර්මසිරි පිටුපසින් සිටි මීහරක් බාන අල්ලාගෙන සීසෑමට සූදානම්වනු පෙණිනි. ගොවි මහතුන් දෙපළගේ උදව්වද ඇතිව ධර්මසිරි සහ නිශාන්ත සී සෑම ආරම්භ කළහ. නිශාන්තට ලැබුණු මී හරක් බාන කලබලයකින් තොරව තමුන් වෙත පැවරුණු කාරිය ඉටු කළ නමුත් ධර්මසිරිට ලැබුණු ගොන් බාන ආං බාං කරගැනීම තරමක් අසීරු වූ බවක් පෙණිනි. උදෑසන සිටම කුඹුරේ ලගින්නටවීම නිසාදෝ නොසන්සුන්ව සිටි බවක් පෙණුනු ධර්මසිරිගේ මී හරක් බාන ගියේ හීයේ හාන අතට නොව රුයිතෙටමය. මීහරක් බානේ කුලප්පුව නිසාම හීයේ වට දෙකකට වඩා සම්පූර්ණ කරන්නට ධර්මසිරි අවස්ථාව නොලැබිණි. ඒ නිසාම හරක් බාන මේච්චල් කරගැනීම ගොවියෙකුට භාර දුන් ධර්මසිරි කෙවිට සහ නගුල අතහැර නියරකට ගොඩවුණේය. ධර්මසිරි වෙළෙන් ගොඩ වූ නමුත් නිශාන්ත බණ්ඩාර නම් වෙළෙන් ගොඩ වූයේ හීයේ වට කිහිපයක්ම ඉවර කිරීමෙන් පසුවය. කුඹුරෙන් ගොඩට පැමිණි මහඇමැති ධර්මසිරි ඇතුඵ ගොවියෝ ගොවි ගෙදර සකස් කර තිබූ ස්ථානයට පැමිණියහ. ගොවි ගෙදර පිලේ හිදගත් මහ ඇමැති ධර්මසිරි ඇතුඵ ආරාධිතයින් අතට රෙද්ද සහ හැට්ටයෙන් සැරසී ඇඹුල ගෙනා යුවතියන් අතින් නෙඵම් කොළ බෙදිණි. ඉඹුල් කිරිබත්, කුරහන් රොටී, අතිරස ආදී කැවිලි පෙවිලිවලින් සරු වූ ඇඹුලක රසවිදීමට ධර්මසිරි ඇතුඵ පිරිසට අනතුරුව අවස්ථාව උදා විය. හිරියාල එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක ජගත් යාපා වල්මගුලට ආවේ මහඇමැති ධර්මසිරි සහ නිශාන්ත බණ්ඩාර ගොවිගෙදර පිලෙහි හිදගෙන ඇඹුල රස විදින අතරතුරේදීය. ”මෙතැනටම එන්න මල්ලි. ” යැයි කියූ මහ ඇමැති ධර්මසිරි සහ නිශාන්ත බණ්ඩාර එහා මෙහා වී තමන් වාඩි වී සිටි පිලෙන්ම ජගත්ටත් ඉඩක් ලබා දුන්හ. පිලෙහි වාඩි වූ ජගත්ගේ අතටත් නෙඵම් කොළයක් ලැබුණු අතර ජගත්ද පිල මත්තේම හිදගෙන ධර්මසිරි සහ නිශාන්ත සම`ග එක්ව ඇඹුලේ රස බැලීය. අනතුරුව පොල් කට්ටේ පිළිගැන්වුණු තේ කහටකින්ද සප්පායම් වූ ධර්මසිරි එතැනින් නික්ම ගියේ ගොවීන් වෙත බිත්තර වී මලු කිහිපයක්ද බෙදාදීමෙන් අනතුරුවය. වප්මගුලෙන් නික්ම යන්නට සූදානම් වූ මහඇමැති ධර්මසිරි වෙත පැමිණි ඇමැති ආරක්ෂක නිලධාරීන් විසින් ධර්මසිරිගේ සුපුරුදු ඇදුම් ලබා දුන් නමුත් ” ඕවා ඕනෑ නෑ. මෙහෙමම යමු. ” යැයි කී ධර්මසිරි සරම සහ බැනියම පිටින්ම සිය නිල රථයට නැග්ගේය.

වප්මගුල දා ඇමැති දුමින්දගේ පච්චයකුත් එළියට එයි.

මහ ඇමැති ධර්මසිරිගේ ප‍්‍රධානත්වයෙන් පැවැති වප්මගුලේ උණුසුම මැකී යන්නටත් පෙර, ඊට පසුදිනම තවත් වප් මගුලක් පැවැත්වුණේ වාරියපොළ, නෙල්ලිය වෙල්යායේදීය. නෙල්ලිය ගොවි සංවිධානයේ සංවිධානත්වයෙන් පැවැති මෙම වප්මගුලේ ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වී සිටියේ මධ්‍යම රජයේ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකය. හිරියාල වප් මගුලේදී දැකගත නොහැකි වූ නමුත් පළාත් කෘෂිකර්ම ඇමැති සුමල් තිසේරා මෙම වප් මගුලට නම් සහභාගී වී සිටි අතර වයඹ පළාත් සභා මන්ත‍්‍රී මංජුල බණ්ඩාර මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීනී මැණිකේ ගුණසේකරද මෙම උත්සවයට සහභාගි වී සිටියහ. නිකවැරටිය වප් මගුලට තවත් සුවිශේෂි අයෙක්ද සහභාගී වී සිටියේය. ඒ පෙර දින හිරියාලේ වප් මගුලටද සහභාගි වූ මන්ත‍්‍රී සාලින්දය. සුපුරුදු ලෙසම සාලින්ද මෙම උත්සවයේත් වැඩි වේලාවක් ගත නොකළ අතර පහන් දල්වා උත්සවයේ කටයුතු ආරම්භ වීමෙන් පසු එතැනින් නික්ම ගියේය. නෙල්ලියේ වප් මගුල එක් අතකින් සර්ව පාක්ෂික වේදිකාවක්ද තනා තිබූ අතර කලෙකට පසුව පක්ෂ විපක්ෂ සියඵ දෙනාම පාහේ වාරියපොළදී එක් වේදිකාවකට එකතු වී සිටි අතර අඩුවකට තිබුණේ වාරියපොළ එජාප සංවිධායක ඇමැති නාවින්නගේ අඩුව පමණි. කොඩි එසවීමෙන් අනතුරුව වප්මගුල ආරම්භ වූ අතර එහි පළමු අංගය ලෙසම යෙදී තිබුණේ සී සෑමේ කටයුත්තය. ඒ අනුව ඇමැති දුමින්ද සහ පළාත් ඇමැති සුමල් මෙන්ම මංජුල බණ්ඩාරද සිය සිරොම් කැසපොට කවාගනිමින් සී සෑම පිණිස කුඹුරට බැස්සාහ. ඇමැති දුමින්ද මෙන්ම මංජුල බණ්ඩාරද මී හරක් බානක් අල්ලාගෙන සී සෑමට එක් වූ අතර මුහුදුකරයේ උපන් නමුත් තමනුත් හොද ගොවියෙකු බව කියන්නට මෙන් ඇමැති සුමල්ද ඔවුන් සමග එක් වී හරි හරියට සී සෑවේය. සී සෑමට එක් වී සිටි මැති ඇමැතිවරුන් අතරින් රැස්ව සිටි පිරිසගේ වැඩිම අවධානයක් යොමු වී තිබුණේ ඇමැති දුමින්ද දිසානායක දෙසටය. ඒ දුමින්දගේ සී සෑමේ තිබූ හොදකමක් නිසා නොව දුමින්දගේ කකුලක සටහන් වී තිබූ අපූරු පච්චයක් නිසාය. දුමින්ද වෙළට බසින්නට හැද සිටි සරොම කැසපොට කවාගැනීමේදී ඔහුගේ වම් කකුලේ අඩි තුනක පමණ දිගට සටහන් වී තිබූ පච්චය හොදින්ම දැක ගත හැකි විය. සී සෑම නිමා කළ ඇමැති දුමින්ද වෙළෙන් ගොඩ වී සභාව අමතා එතැනින් නික්ම ගිය අතර උත්සවයේ ඉතිරි වැඩකටයුතු සිදු කෙරුණේ ඇමැති සුමල්ගේ සහ මන්ත‍්‍රී මංජුලගේ මූලිකත්වයෙනි.

එස්. බී. නාවින්න මහින්ද මග හරී.

අපවත් වී වදාළ වෑඋඩවිල්ලි හත්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක එළවිටිගම ඉන්ද්‍රරතන නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පසුගිය බදාදා සිදුකෙරුණේ මාවතගම සාමෝදය ක‍්‍රීඩාංගණයේදීය. ‘බෝයගොඩ නායක හාමුදුරුවෝ ’නමින් ප‍්‍රකටව සිටි උන්වහන්සේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් බොහෝ දෙනකු සමීපව ඇසුරු කළහ. සිය දේශපාලන කටයුතුවලදී මෙන්ම වැදගත් තීන්දු තීරණ ගැනීමේදී බෝයගොඩ නායක හාමුදුරුවන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමට වයඹ පළාතේ බොහෝ මැති ඇමැතිවරුන් පුරුදු වී සිටියහ. එමෙන්ම බෝයගොඩ නායක හාමුදුරුවන් විසින් අනුගමනය කළ ආගම්වාදය සහ ජාතිවාදය පිටුදැකීමේ ස්ථාවරය හේතුවෙන් බොහෝ මුස්ලිම් ජාතිකයින් පවා උන්වහන්සේ සමීපව ඇසුරු කළහ. ඒ නිසාම උන්වහන්සේ වැඩ වාසය කළ බෝගොඩ පන්සලට නුදුරුව පිහිටි පරගහදෙණියේ වෙසෙන මුස්ලිම් ජනතාව විසින් උන්වහන්සේගේ අභාවය පිළිබදව ශෝකය පළකරමින් බැනර් එල්ලා තිබූ අයුරු දැක ගත හැකිවිය. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදු වූ පසුගිය බදාදා දිනයේදී පරගහදෙණියේ පිහිටි සියඵ මුස්ලිම් වෙළදසැල් වැසී ගියා පමණක් නොව උන්වහන්සේගේ චිතකය අසලදී කදුඵ සැලූ මුස්ලිම් ජාතිකයින් බොහෝ දෙනෙකුද වූහ.
බෝයගොඩ නායක හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක්ම සහභාගී වී සිටියහ. ඇමැති දයාසිරි ජයසේකර, ඇමැති එස්. බී. නාවින්න, රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර , පාර්ලිමේන්තූ මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල, මහ ඇමැති ධර්මසිරි දසනායක සහ ආණ්ඩුකාර අමරා පියසීලිද ඇතුඵ මැති ඇමැතිවරුන් ගණනාවක් සාමෝදය පිටියට පැමිණ සිටියහ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ආදාහන පූජෝත්සවය සදහා පැමිණෙන බවට ආරංචිය ලැබුණේ මෙම පිරිස මැති ඇමැතිවරුන් වෙනුවෙන් වෙන්කර තිබූ කූඩාරමෙහි ඉදිරිපෙළ අසුන්වල වාඩි වී සිටියදීය. මහින්ද එන බව ආරංචිවීමත් සමග එතෙක් එක පෙළට වාඩි වී සිටි මැති ඇමැතිවරුන්ගෙන් කිහිපදෙනෙකු ඇසිපිය හෙළන ඇසිල්ලකින් සිය ස්ථාන වෙනස් කරගෙන තිබිණි. දයාසිරි සහ ධර්මසිරි ඔවුන් එතෙක් අසුන්ගෙන සිටි ඉදිරිපෙළ අසුන් අත්හැර පසුපස පෙළකට ගියහ. ”ඇයි මොකද බයද? ” අලවතුවල විහිඵවක ස්වරයෙන් දයාසිරිගෙන් ඇසීය. ”නෑ, නෑ. අපි කාටවත් බය නෑ. මේ වැඩි හොදට.” දයාසිරිද සිනාමසු මුහුණින්ම ඊට උත්තර දුන්නේය. මහින්ද එන ආරංචිය ඇසීමත් සමග ඇමැති නාවින්නද තමන් හිද සිටි අසුනෙන් නැගිට්ටේය. සංවිධායකයින් විසින් මහින්ද සදහා ආසනයක් සූදානම් කරනු නාවින්න දුටුවේ ඔය අතරේදීය. සංවිධායකයින් විසින් මහින්ද වෙනුවෙන් සූදානම් කරමින් සිටියේ ‘ගරු ඇමැතිවරු’ යනුවෙන් සදහන් කර තිබූ පුටුවකි. ඒ දුටු නාවින්න ”එයා මොන ඇමතිද ? ඔන්න ඕකේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කියලා ගහන්න.” යැයි කියමින් පිට්ටනිය මැදට ඇවිද ගොස් සෙනග අතරට එක් විය. ඉන් ටික වේලාවකට පසුව මහින්ද සාමෝදය පිටියට පැමිණි අතර හිමියන්ගේ දේහයට ගරු බුහුමන් දක්වා අවසන් වන විට දයාසිරි සහ ධර්මසිරි මහින්ද ළගට කිට්ටු කළහ. ”චිතකෙට ගිනි තියනකම් සර් ඉන්නවා නේද ? ”දයාසිරි මහින්දගෙන් ඇසීය. ”ඔයා මෙතැන ඉන්නකොට මම මොකටද ආයේ මෙතැන ඉන්නේ. මම පාර්ලිමේන්තු මන්ත‍්‍රී. ඔයා කැබිනට් ඇමැති. ඒ නිසා ඔයා දිගටම ඉන්න. මම යන්නම් ” යැයි කියමින් සිනාමුසු මුහුණින්ම දයාසිරි වෙත හීනියට හින්ට් එකකුත් පාස් කළ මහින්ද මහින්ද සාමෝදය පිටියෙන් පිට වී ගියේය.

කුරුණෑගල පිහිණුම් තටාකයේ කඵ තෙල්ද ? මස් තෙල්ද ?

මීට දෙසතියකට පමණ පෙර ‘අඵ යට ගිනි’ ඔස්සේ හෙළි කෙරුණු කරුණක් සම්බන්ධයෙන් ඇති වූ කතා බහ පසුගිය සතියේදී යළි අඵත් වී ගියේය. ඒ කුරුණෑගල මහනගර සභාවට අයත් පිහිණුම් තටාකය පිළිබදවය. කුරුණෑගල නාගරික කොමසාරිස් ජී. කේ. චන්ද්‍රලතා විසින් මහ නගර සභා පිහිණුම් තටාකය සිය සෘජු අධික්ෂණට යටතට ගැනීමත් සමග එහි ආදායම්වල සැලකිය යුතු වැඩිවීමක් සිදු වී ඇති බව ‘අඵ යට ගිනි’ වෙත ලැබී තිබූ තොරතුරු පදනම් කරගනිමින් පසුගිය 15 වැනිදා මෙම පිටුවෙන් අනාවරණය කෙරිණි. අදාළ අනාවරණයට පසුව ලියුම්කරු ඇමැතූ පාර්ශ්වයන් ගණනාවක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් යම් අදහස් පළ කළ නමුත්, ඒ කිසිදු පාර්ශ්වයක් විසින් අදාළ අනාවරණය බිදහෙළීමට තරමේ සාධකයක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම නිසා මෙන්ම දැනට මේ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුවෙමින් පවතින නිසා ඒ පිළිබද තවත් තොරතුරු හෙළිකිරීමෙන් ‘අඵ යට ගිනි’ සිතාමතාම වැළැකී සිටියේය. නමුත් පසුගිය සතියේ කුරුණෑගල නගරය හරහා ඉගිළ ගිය ආරංචියකින් කියැවුණේ කුරුණෑගල මහ නගර සභා පිහිණුම් තටාකයට කිසියම් පිරිසක් විසින් කඵ තෙල් ප‍්‍රහාරයක් එල්ලකර ඇති බවයි. මේ දිනවල ක‍්‍රියාත්මක වෙමින් පවතින කුරුණෑගල මහනගර සභාවේ අදායම් ප‍්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිව කිසියම් පිරිසක් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සිතන බවත්, ඒ පිළිබදව කඩිනම් පරීක්ෂණයක් පවත්වන බවත් නගරාධිපති ගාමිණී පෙරමුණගේ විසින් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක්ද ලබා දී තිබිණි. ඒ අනුව අදාල කඵතෙල් ප‍්‍රහාරය ‘අඵ යට ගිනි’ අනාවරණය සමග බොහෝ දෙනෙකු විසින් සසදා තිබූ අතර පිහිණුම් තටාකයේ ආදායම් පිළිබද කතාබහද ඒ සමග යළිත් අඵත් වී ගියේය. ඒ හේතුවෙන්ම අදාළ සිදුවීම පිළිබදව වැඩිදුර සොයාබැලීමකට ‘අඵ යට ගිනි’ නිතැතින්ම යොමු වූ අතර මෙම සිදුවීමේදී නොකියැවෙන තවත් කතාවක් පිළිබදවද එහිදී අනාවරණය කර ගැනීමට හැකි විය. පිහිණුම් තටාකයට එල්ල වී තිබුණේ කඵතෙල් ප‍්‍රහාරයක් නොව, යම් කිසි සතෙකු විසින් තටාකයට ගෙනැවිත් දමා තිබූ මස් කැබැල්ලකින් පිට වූ තෙල් තට්ටුවක් බව තවත් පාර්ශ්වයකින් කියැවෙන කතාවකි. පිහිණුම් තටාකය අවට බල්ලන් සහ කපුටන් අනන්තවත් සැරිසරන බැවින් එවැනි සතෙකු විසින් ගෙනා මස් කැබැල්ලක් තටාකයට වැටෙන්නට ඇති බවත්, එයින් පිට වූ සත්ව තෙල් තට්ටුව අවසානයේදි කඵ තෙල් තට්ටුවක් දක්වා පරිවර්තනය ඇතියිද එහිදී කියැවෙයි. පිහිණුම් තටාකය සම්බන්ධ මෙවැනි සිදුවීමක් සිදු වූ පළමු වතාවද මෙය නොවන බවත්, වෙනත් දිනවලදී මෙවැනි සිදුවීමක් වූ විටෙක එහි භාරකරුවන් විසින් සාමාන්‍ය පරිදි ජලය මාරුකර හැරෙන නමුත් මතු වී ඇති ප‍්‍රශ්නගත තත්වය හමුවේ එය නගර සභාවේ නාගරික ඉංජිනේරුවරයා ඇතුඵ ඉහළ නිලධාරීන් දැනුම්වත්කර සිදුකරන්නට යාම නිසා කතාව වෙනත් අතකට හැරුණු බවටත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩි ප‍්‍රසිද්ධියක් නොලැබුණු කතාවක් කියැවෙමින් තිබේ.
අදාළ කඵ තෙල් ප‍්‍රහාරය නොවූ දෙයක් ලෙස සහතික කිරීමට තරම් ‘අඵ යට ගිනි’ මෙහිදී ඉක්මන් නොවෙයි. මෙම සිදුවීම පළමුවරට අනාවරණය කළ ජනමාධ්‍යය වශයෙන් අපට ඇත්තේ පිහිණුම් තටාකය සම්බන්ධයෙන් සිදුවන බව කියන විගණන පරීක්ෂණ නිවැරදි සහ ස්වාධීන වියයුතුය යන අපේක්ෂාව පමණක් වන අතර කළ වැරදි ඇත්නම් මිස නොකළ වැරදි වෙනුවෙන් කිසිවෙකුත් දඩුවම් විදිය යුතු නොවන බව අපගේ බලාපොරොත්තුව වන බැවිනි. පෙර කීවාක් මෙන් මෙම මස් කැබැල්ලේ කතාව ඉස් මුදුනින් පිළිගැනීමට ‘අඵ යට ගිනි’ සූදානම් නැතත් නාගරික කොමසාරිස්වරියගේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන සහ ඒ පිළිබදව විගණන පරීක්ෂණයක් පැවැත්වෙමින් ඇති ස්ථානයකට කඵතෙල් ප‍්‍රහාරයක් එල්ල කිරීමට මුල්වන්නේ කවුරුන්දැයි සහ එහි වැඩි වාසි සැලසෙන්නේ කාටදැයි නගරාධිපතිවරයා විසින් මේ පිළිබදව පවත්වන බව කියන පරීක්ෂණයේදී අනිවාර්යෙන්ම සොයැබැලීම වටී. පිහිණුම් තටාකයේ පාවුණේ කඵ තෙල් වේවා, මස් තෙල් වේවා ඒ තෙල් තට්ටුවට දඩමීමා කරගෙන කෙන්ද කන්ද කිරීමට හෝ තැලෙන යකඬේ තවත් තලන්නට ඉඩනොදීමටද නගරාධිපති ගාමිණී පෙරමුණගේ මෙන්ම නාගරික කොමසාරිස්වරිය වෙතද අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබේ. එමෙන්ම මේ සිදුවීම මුවා වී අදාළ විගණන පරීක්ෂණයන්වලදී හාවා බේරා වෙනුවට පදුරට විදිනු දැකීමේ සිදුවීමක් සහ සියඹලා ගෙනල්ලාම නැති කතාවක් කුරුණෑගල නගරවාසීන්ට අසන්නට දකින්නට නොදීමේ නියත වගකීමක්ද ඒ දෙපළ වෙත පැවරී ඇත්තේය. කුරුණෑගල පිහිණුම් තටාකය සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාව වෙත අපට කරන්නට ඇති සරලම යෝජනාව නම් පිහිණුම් තටාකයේ පාවුණේ කඵ තෙල් වේවා, මස් තෙල් වේවා ඒ තෙල පිළිබදව සෙවීම පසුවට තබා මුලින් ආරම්භ කළ විගණන පරීක්ෂණය අවසන් කරන ලෙසටය. අදාළ විගණනයට කඵ තෙල් හෝ මස් තෙල් පටලවාගැනීමෙන් සිදුවිය හැකිවන්නේ අදාළ පරීක්ෂණ දෙකම අපේක්ෂිත ප‍්‍රතිඵලය වලින් තොරව අවසන්වීම මෙන්ම නාගරික කොමසාරිස්වරියගේ මහන්සියද වතුරේ යාම විය හැකිය. එබැවින් පිහිණුම් තටාකය සම්බන්ධයෙන් අන්තිමටත් කියන්නට ඇත්තේ වක්කඩ වහගත්තාට පසුව ඉතිරිවෙන කක්කුටු බෙණ ටික හීන්සීරුවේ වසාගත හැකි බවයි.

මහින්ද අරක්කු ගැන කියද්දී ජොනීට හිනායයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තවත් පන්සල් වන්දනා වටයක් ආරම්භ කර ඇති බවක් පසුගිය සතියේදී දැකගත හැකි විය. පසුගිය සතියේ දිවයින පුරා පිහිටි විහාරස්ථාන ගණනාවකට ගිය මහින්ද පසුගිය ඉරිදා පස්වරුවේ කුරුණෑගල ආවේය. ඒ දෙමටඵව, වෑදණ්ඩ ශ‍්‍රී සුගතරාමයේ පැවැති බෝධි පූජා පින්කමකට සහභාගීවීමටය. මීට මාස කිහිපයකට පෙරදී නම් මහින්ද සමග පන්සල් වන්දනාවේ යාමට මැති ඇමැති මහ පිරිසක් පෙළගැසී සිටි නමුත් ජාතික ආණ්ඩුවේ අනුහසින් අද වන විට ඒ ගණන දෑතේ ඇගිලි ගණනටත් අඩුවෙන් වූ ගණනක් දක්වා පහළ බැස තිබේ. මහින්දගේ තනි නොතනියට එදින සුගතරාම පන්සලට එදින පැමිණ සිටියේ සාලින්ද දිසානායක, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, පළාත් සභා මන්ත‍්‍රීනි මංජුලා දිසානායක, ඞී. බී. හේරත්, කුරුණෑගල හිටපු නාගරික මන්ත‍්‍රීවරුන් වන අබ්දුල් සත්තාර් සහ තුෂාර සංජීව ඇතුඵ කිහිපදෙනෙකි. පස්වරු 7 පමණ වන විට සුගතරාමයට පැමිණි මහින්ද බෝධි පූජා පින්කමට සහභාගී වූ අතර අනතුරුව රැස්ව සිටි පිරිසද කෙටියෙන් ඇමතුවේය. ”පෝය දවසේ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට නිවාඩු දීලා තියෙන්නේ එදාට පන්සල් ගිහින් පිනක් දහමක් කරගන්න. ඒත් අපේ කට්ටිය වැඩිපුරම කරන්නේ පෝයට කලින් දවසේ අරක්කු අරන් ස්ටොක් කරගන්න එකයි. මාසේ වැඩියෙන්ම අරක්කු විකිණෙන්නේ පෝයට කලින් දවසේ කියලනේ කියන්නේ. ” මහින්ද කීය. මහින්ද මෙසේ කියද්දී ඊට පහළ වාඩි වී සිටි මන්ත‍්‍රී ජොන්ස්ටන්ට කට පුරා සිනාවක් ඇදී ගිය ආකාරය බෝධි පූජාවේ සිටි හැම දෙනෙකුටම දැක ගත හැකි විය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත ,ඔක්තෝම්බර් 29 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article