නාරම්මල නගරය සහ ඒ අවට පිහිටි රාජ්‍ය ආයතනවලින් සියයට අනූ පහක්ම මදුරුවන් බෝවන ස්ථාන සහිතව පවත්වාගෙන යන බව අනාවරණය වෙයි.
නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, නාරම්මල ප‍්‍රාදේශීය සභාව සහ නාරම්මල පොලිසිය එක්ව කළ ස්ථානීය පරීක්ෂාවන්වලදී මේ බව අනාවරණය වී තිබේ. 2007 අංක 11 දරණ මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව කළ මෙම පරීක්ෂාවේදී නාරම්මල රාජ්‍ය ආයතන සියල්ලෙහිම පාහේ මදුරුවන් බෝවන ස්ථාන සහ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන ඊඩිප්ස් වර්ගයේ මදුරු කීටයින්ද බහුලව සිටියදී සොයාගෙන තිබේ. අදාල ආයතන පරිශ‍්‍ර කඩිනමින් පිරිසිදු කර මදුරුවන් බෝවීමේ ස්ථාන ඉවත්කරන ලෙසට එම ආයතන ප‍්‍රධානින් වෙත නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අවවාද කර ඇති අතර මදුරුවන් බෝවීමේ ස්ථාන බහුලව සොයාගත් නාරම්මල ආයුර්වේද රෝහල, ජල සම්පාදන මණ්ඩල කාර්යාලය, විදුලිබල මණ්ඩල කාර්යාලය සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරම්මල ඩිපෝව වෙත රතු නිවේදන නිකුත්කළ බවද නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. දින 14 ක් තුළ එම පරිශ‍්‍ර පිරිසුදු කර නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත වාර්තාවක් සපයන ලෙසටද එම ආයතනවල ප‍්‍රධානින් වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ. නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය ඩෙංගු අධි අවදානම් කලාපයක් ලෙස නම්කර තිබීම හේතුවෙන් ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතන මෙවැනි පරීක්ෂාවට ලක්කළ බවත්, පරීක්ෂාවට ලක්කෙරුණු රාජ්‍ය ආයතන තවදුරටත් මදුරුවන් බෝවන පරිශ‍්‍ර සහිතව පවත්වාගෙන යන්නේ නම් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.