(13.24pm)පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන සැකකරුවෙකුව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාත්තන්ඩිය – අගාරවත්ත පදිංචි 48 හැවිරිදි අයෙකුවය.සැකකරු සතුව ඉතාලියේ නිෂ්පාදිත ගිනි අවියක් සහ මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 46 ක්ද පොලීසිය විසින් තම බාරයට ගෙන ඇත.
පසුගිය 24 වැනිදා රාත්රීයේ සැකකරු අගාරවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකුගේ නිවසට ගොස් ඔහු සමග ඇති වූ බහින් බස් වීමකින් පසුව වෙඩි තැබීමක් සිදු කර ඇත.වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව පොලීසිය කියයි. 24 වැනිදා රාත්රීයේම මාරවිල පොලීසිය වෙත මෙම තොරතුර වාර්තා වී ඇත.ඒ අනුව එම ස්ථානයට ගොස් සිදු කරන ලද විමර්ශණයකදී මිලි මීටර් 9 වර්ගයේ හිස් පතුරමේ කොපුවක් පමණක් සොයා ගැනීමට හැකියාව ලැබී ඇත. 25 වැනිදා පෙරවරුවේ සිදු කරන ලද පරීක්ෂණයකදී සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇති ගිනි අවිය සහ ජීව පතුරම් සැකකරුට ලැබුනේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි. මාරවිල පොලිසීයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ධම්මික විජේසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේමසිංහ මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.