Saturday, January 18, 2025

‘ නර්ස්ලා ස්ට්‍රයික් කළාට ඉස්පිරිතාලවල වැඩ‍‍ කෙරෙනවා.’ වයඹ සුව ඇමැති

Must read

වයඹ පළාතේ රෝහල්වල හෙද කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට විසදුමක් ලබාදීම පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය වෙත භාර දී ඇති බවත්, ආණ්ඩුකාරවරියගෙන් ලැබෙන උපදෙස් මත ඉදිරි කටයුතු කිරීමට විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් සූදානමින් සිටින බවත් වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඞී. බී. හේරත් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ වයඹ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලබාදී ඇති බව කියන අවිධිමත් ස්ථාන මාරුවීම් වහා අවලංගු කරන්නැයි ඉල්ලමින් වයඹ පළාත තුළ පිහිටි රජයේ රෝහල්වල හෙද හෙදියන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට විසදුමක් ලබාදෙන්නේදැයි වයඹ ටු‍ඩේ වෙබ් අඩවිය අමාත්‍යවරයාගෙන් අද ( 9 දා ) කළ විමසීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී. බී. හේරත් මහතා මෙසේද පැවසීය.

වයඹ පළාතේ හෙද කාර්ය මණ්ඩලවල ස්ථානමාරුවීම් ක‍්‍රියාත්මක කරවන්න මූලික වශයෙන් කාරණා හතරක් බලපෑවා. ඉන් පළමුවැනි එක තමයි, අනුමත සංඛ්‍යාවට වඩා හෙදියන් පිරිසක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තියෙන රෝහල්වල සේවය කරනවා කියලා සහ ඒ නිසා රාජ්‍ය මුදල් අවභාවිතා වෙන බවටත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාට වයඹ පළාත් සභාවේ ගිණුම් කාරක සභාවෙන් චෝදනාවක් එල්ලවුණා. දෙවැනි කාරණාව විදිහට පුත්තලම් දිස්ත‍්‍රික්කය තුළ ඇතිවෙලා තියෙන හෙද පුරප්පාඩු විශාල ප‍්‍රමාණයක් නිසා ඒ රෝහල්වල කටයුතු අඩාලවෙලා කියලා තවත් චෝදනාවක් එල්ල වුණා. තුන්වැනි කාරණාව විදිහට පුත්තලමේ රෝහල්වල වසර හත, අට, දහය ආදී වශයෙන් දිගු කාලයක් තිස්සේ සේවය කරමින් ඉන්න කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ ස්ථිර පදංචි හෙදියන් විශාල පිරිසක් කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ තියෙන රෝහලකට ස්ථාන මාරුවීම් ඉල්ලලා තියෙනවා. අනෙක් කාරණය තමයි, රාජ්‍ය සේවයේ ආයතන සංග‍්‍රහය අනුව වසර පහකට වරක් ස්ථාන මාරුවීම් සිදු විය යුතුවීම සහ රෝහල්වල වෛද්‍ය, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සහ රියදුරු ඇතුඵ සෑම අංශයකම මේ ස්ථානමාරු කිරීම් නිසි පරිදි ක‍්‍රියාත්මකවීම. මේ කියන අතිශය සාධාරණ හේතු මත තමයි අපි මේ ස්ථාන මාරුකිරීම් ක‍්‍රියාත්මක කරන්න උත්සාහ කළේ.

මේ ස්ථාන මාරුකිරීම්වලට හෙද හෙදියන්ගේ විරෝධය එල්ල වෙද්දී අපි හෙද වෘත්තීය සමිති ගෙනල්ලා ඒ පිළිබදව සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලදී අසනීප තත්වයන්ගෙන් පසුවෙන, සාමාන්‍ය පෙළ, උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට පෙනී ඉන්න දරුවෝ ඉන්න, විශ‍්‍රාමයාමට ආසන්න වෙලා ඉන්න සහ වයස්ගත මව්පියන් රැකබලාගන්න වෙලා තියෙන හෙදියන් මේ මාරුවීම්වලින් නිදහස් කරන්නත් අපි එකග වුණා. නමුත් අපිත් එක්ක කරපු ඒ සාකච්ඡාවලින් සෑහීමකට පත් නොවී මේ වෘත්තීය සමිති වයඹ ආණ්ඩුකාරතුමිය ළගට ගිහින් එතුමිය සමගත් සාකච්ඡා කළා. ඒ නිසා අවසන් වශයෙන් මේකට මැදිහත්වුණු ආණ්ඩුකාරතුමියට මේ ගැටඵවට විසදුමක් ලබා දෙන්න අපි භාර දීලා තියෙනවා. එතුමියගෙන් ලැබෙන උපදෙස් මත විෂය භාර අමාත්‍යවරයා ලෙස ඉදිරි කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

හෙද කාර්ය මණ්ඩල වර්ජනය කළත් වයඹ පළාතේ රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනවා. මේ වගේ දැඩි තීන්දු අරගෙන ප‍්‍රශ්නවලට විසදුම් දෙන්න පුඵවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. වසරකට පහකට වරක් නියමිත පරිදි ස්ථාන මාරුවීම් නිසා පරිදි ක‍්‍රියාත්මක කරවන්න කියලා පුත්තලමේ හෙදියොත් අනිත් පැත්තෙන් ස්ට‍්‍රයික් කරන්න ගත්තොත් මොන වගේ තත්වයක් ඇතිවෙයිද ? යැයි හෙතෙම පැවසීය.

අදාළ ගැටඵව පිළිබදව විමසීමට පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ නමුත් ඕ කොළඹ පැවැත්වෙන හදිසි සාකච්ඡාවකට සහභාගීවෙමින් සිටින බව වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු විසින් පැවසූ අතර මේ වන තුරුම ආණ්ඩුකාරවරය සම්බන්ධ කරගත නොහැකි වූවාය.

Db

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article