Saturday, January 18, 2025

නමටම ගැලපෙන්න වැඩෙත් කෙරී ඇති තබ්බෝවේ මෝඩ පාලම මෙන්න !

Must read

මිලියන දහසයකට ආසන්න මුදලක් වැය කරමින් තබ්බෝව ගොවි ජනපදය හරහා දිවෙන මාර්ගයේ ඉදිකර ඇති , තබ්බෝව නොම්මර 4 මෝඩ පාලම ඉදිකිරීමේදී එහි ඉදිකිරීම් භාරව සිටි කොන්ත්‍රාත්කරුවා සහ පුත්තලම වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් එක්ව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාව මෝඩයින්ට අන්දවා ඇතැයි එම පාලමෙන් ප්‍රයෝජන ගන්නා ප්‍රදේශවාසිහු චෝදනා කරති.

පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලවේ මෙහෙයවීමෙන් මෙම පාලම ඉදිකිරීම ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකුට භාරදී තිබූ බවත් පාලමේ ඉදිකිරීම් කටයුතු නිමකළ බව කියමින් එය පසුදිනෙක විවෘත කිරීමටද අදාළ කොන්ත්‍රාත්කරු විසින් කටයුතු කළ බව ප්‍රදේශවාසීහු කියති.

පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ අධීක්ෂණය යටතේ එම පාලමේ ඉදිකිරීම් සිදුවන බව පැවසූ නමුත් කොන්ත්‍රාත්කරු විසින් පාලමේ ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොරව සිදුකර ජනතාව මුලා කර ඇති බව මේ වන විට ඇස්පනාපිටම ඔප්පුවෙමින් ඇති බව ප්‍රදේශවාසී ජනතාව පෙන්වා දෙති.

ජනතා අයිතියට පත් කර සති කිහිපයක් ගතවෙද්දී පසුගිය දිනවල ඇදහැලුණු වර්ෂාවත් සමග පාලම දෙපස පස් යොදා සකස්කර තිබූ පැති බැමි සියල්ල ජලයට සේදී ගොස් ඇති බව ජනතාව කියති.

මේ හේතුව නිසාවෙන් අස්වනු වෙළද පොලට රැගෙන යාමට කෙටි මාර්ගයක් නොමැතිකමින් තමන්ට කිලෝ මීටර් 10ක පමණ අමතර දුරක් ගෙවා ඒවා ප්‍රවාහනය කිරීමට සිදු වී ඇති බවට තේවනුවර, ප්‍රදීපාගම, අම්බලම ඇතුලු ගම්මාන රැසක ගොවීහු මැසිවිලි නගති. ජල ගැලීම්වලින් පහළ මිටියාවතේ සියලුම මාර්ග හා පාලම් ජලයෙන් යට වී ගිය පසු තමන්ට ගමන් බිමන් යාම සදහා භාවිතා කළ හැකි එකම පාලම වන්නේ මේ මෝඩ පාලම බවද ගම්මුන් කියති.

පාලම ඉදිකිරීමෙන් අනතුරුව දෙපස පැති බැමි කොන්ක්‍රීට් දමා ඉදිකිරීම කළයුතුව තිබියදී කුඹුරු ඉඩම්වලින් කපාගත් වැලි සහිත පස්වලින් එම බැමි පුරවා තිබීම ඒවා වැස්සෙන් විනාශවී යාමට හේතු වී ඇති බවද ගම්වාසීහු කියති.

මේ සම්බන්ධව අප කල විමසුමක දී තබ්බෝව පදිංචි එම්.පී. නිමල් කරුණාරත්න මහතා පවසා සිටියේ මේ අකාරයෙනි.moda_palama7

”ඔය කියන මෝඩ පාලම හදන හැම අවස්ථාවකදීම මම එතන හිටපු කෙනෙක්. ඒ හැම අවස්ථාවකදීම මේකෙ කොන්ත්‍රාත්කාරයා කෙරුවේ ජනතාවගේ ඇස් වහලා මග හරින එකයි. කෙටියෙන්ම කීවොත් මේ පාලම අධික්ෂණය කරන්න පුත්තලම වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයෙන් ඇවිත් ඉන්නවා මම කවදාවත්දැකලා නෑ. මේ පාලමේ වැඩ සිද්ධ වුණේ බාස්ලගෙ හිතු මතේට. පාලම හදලා ඉවරවුනාට පස්සේ කුඹුරු වලින් කපපු වැලි පස් ට්‍රැක්ටර් ගණන් ගෙනල්ලා කරඹ මුලුත් එක්කම ඔය දෙපැත්තට පිරෙව්වා. අන්න ඒ පස් තමයි අද ඔය හේදිලා ගිහිල්ලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි මේ පාලම සම්බන්ධ වෙන පාරත් සම්පූර්ණයෙන් ගිලා බැහැලා. හල් හත්තට පුපුරලා ගිහින් . ඔන්න බලධාරින් ජනතාවට අන්දවලා මුදල් යටි මඩි ගහගන්න හැටි.”

මේ සම්බන්ධව අප කල විමසුමක දී තබ්බෝව පදිංචි ඒ.ජී. ශ්‍රියන්තා මහත්මිය පවසා සිටියේ මේ අකාරයෙනි.moda_palama1

”මගේ ගෙදර තියෙන්නෙ පාලම ළග ඉදලා අත් දිගු කෙරුවා වගේ දුරින්. දවසක් බාස්ලා වැඩ කර කර ඉද්දි මමත් නිකමට වගේ පාලම ළගට ගියා. ගිහින් බලද්දි බාස්ලා දඩි බිඩි ගාලා වැඩ කරගෙන කරගෙන යනවා .හැබැයි ඒ වැඩේ කිසි ප්‍රමිතියක් නැති බව මම එතනදිම බාස්ලාට කීවා .එයාලා ගත්තු කටටම මට කීවේ අක්කෙ අපි වැඩ කරන්නෙ පඩියට මිසක් ජනතාව වෙනුවෙන් නෙමෙයි කියලා. ඒක කොන්ත්‍රාත් ගත්තු කෙනා එක්ක කතා කර ගන්න කියලා. එතනදි මම කීවා අපි මේ පාලමෙන් අද විතරක් නෙමෙයි හෙටත් යන්න ඕනෑ කියලා. පාලම හදලා සති දෙකක් යන්න කලින් දෙපැත්ත හේදිලා ගියා . මම කිව්වා වගේම දැන් අපිට යන්න එන්න විදියක් නෑ. ඔයින් මෙයින් ආපහු අපි තමයි අසරණ වෙලා ඉන්නෙ.”

මේ සම්බන්ධව අප කල විමසුමක දී තබ්බෝව පදිංචි එම්.පී. කරුණාවතී මහත්මිය පවසා සිටියේ මේ ආකාරයෙනි.moda_palama8

”අපිට දැන් වෙලා තියෙන්නෙ අටුව කඩලා පුටුව හැදුවා වගේ වැඩක්. කලින් අපි පොල් කොටක් දැගෙන අමාරුවෙන් හරි එගොඩ මෙගොඩ ගියා. කිසි බයක් නැතුව දැන් මේ පාලම ඉදිකෙරුවාට පස්සෙ එහෙමවත් යන්න එන්න බයයි අපිත් එක්කම පාලම ගිලා බහියි කියලා. ජනතාවගේ මුදල් නිකං නිකරුනේ කාබාසිනා කරලා කොන්ත්‍රාත්කාරයා මල්ල පුරවගෙන බොරුවට පාලම හැදුවා කියලා ඔපේ දාලා මිනිහා මග හැරලා ගියා යන්න.

මේ සම්බන්ධව අප කල විමසුමක දී තබ්බෝව පදිංචි ඒ.ජී. විමලාවතී මහත්මිය පවසා සිටියේ මේ අකාරයෙනි.moda_palama9

”මම ලෙඩෙක්. මට යන්න එන්න අමාරුයි ඔය පාලම හදන දවස්වල මගේ ලෙඩට බෙහෙත් ගන්න ත්‍රීවිල් එකට විතරක් රුපියල් 500 ගානේ ගෙවලා සතියට දෙපාරක් ගියා අවා. ඊට පස්සේ පාලම හැදුවා කියද්දි මට ලොකු සතුටක් ආවා. මොකද අඩි දහයක් පයින් ගියත් පාලමෙන් යන එක අත් දිගු කෙරුවා වගේ කියලා. බලාගෙන යද්දි ඔන්න අයෙ පාලම තිබුණ තත්ත්වයටම පත්වෙලා. ඒ පාලම ඔය තත්ත්වයට පත්කෙරුවෙ කොන්ත්‍රාත්කාරයායි පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ බලධාරින් ටිකයි එකතුවෙලා කියලා මම නම් හිතන්නේ.”

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසුමක දී පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂක ඩී. එම්. ඒ. වෙහෙරගොඩ මහතා මෙසේ පැවසීය.

”ජනතාව හිතාගෙන ඉන්න විදිහ වැරදියි. අධික වර්ෂාවත් එක්ක මේ පාලමේ ඉදිකිරීම් සියල්ලම නිමකරන්න අපිට අපහසු වුණා. නමුත් හදලා තියෙන පාලමේ ගමනාගමන කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න අපි ජනතාවට ඉඩ සලස්වලා දීලා තියෙනවා‍. ඔය කියන පාලම ඉදිකෙරුවෙ ඔයක් තුල. නිතරම මේ ඔය හරහා ජලය ගලා එනවා. අපි ලොකු අපහසුවකට පත්වෙලා තමයි මේ පාලම ඔහොමවත් ඉදි කෙරුවෙ.මේ පාලමේ තව අඩු පාඩු රැසක් තියෙනවා. ඒක ජනතාව විතරක් නෙමෙයි අපි කව්රුත් දන්න කරුණක් . මේ දවස් වල අපිට පාලමේ ඉතිරි වැඩ කටයුතු නිමරන්න අපහසු වෙලා තියෙනවා. හේතුව තමයි පාලමට ගමන් කරන ප්‍රධාන මාර්ගය ජලයෙන් යට‍වෙලා. ඒ නිසා අපිට බර වාහන ගෙනියන්න අපහසු වෙලා තියෙනවා. මම ජනතාවට වග කීමෙන් කියනවා තව මාසයක් ඇතුලත අපි මේ පාලමේ වැඩ සියල්ල නිම කරලා ජනතා අයිතියට පත් කරන්න කටයුතු කරනවා කියලා. ”

සටහන සහ ඡායාරූප
වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන

moda_palama6 moda_palama5 moda_palama4 moda_palama3 moda_palama2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article